තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 අගෝස්තු 22, අඟහරුවාදා 10:37

ගැහෙන රිද්මය එකවුණත් හැදෙන ලෙඩේ ලක්ෂණ වෙනස් විශේෂාංග

ලිව්වේ  තුසිත මලලසේකර
අගයන්න
(0 මනාප)
හෘදයට නැතිනම් හදවතට ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැතිය. එහි පිහිටීම, ව්‍යූහය මෙන්ම කෙරෙන කාර්යභාරය ද එක හා සමානය. ඒ කෙසේ වෙතත් හදවතේ තවත් පැත්තක් ගැන කතා කරන විට ස්ත්‍රී - පුරුෂ භේදය තදින්ම මතුවෙයි. 

 

ඒ හෘදය රෝග ගැන කතා කරන විටය. හෘදයාබාධ දෙස බලන විට තරුණ හා මුල් මැදි වයස්වලදී පිරිමින්ට තරම් හෘදයාබාධයක් වැලඳීමේ අවදානම කාන්තාවන්ට නොමැති බව කලෙක සිටම පිළිගැනීමට ලක්ව තිබුණි. එයට හේතුව ලෙස දැක්වූයේ ඊස්ට්‍රජන් ලෙස හැඳින්වෙන ලිංගික හෝර්මෝනය හෘදය රෝග සඳහා යම් බාධකයක් ඇතිකරන බවට පිළිගැනීමය. කාන්තාවන්ගේ ආර්තවහරණය සිදුවී ඊස්ට්‍රජන් හෝර්මෝන ස්‍රාවයවීම අඩුවීමත් සමඟම මෙම ආවරණය අහෝසි වී ස්ත්‍රී - පුරුෂ දෙපාර්ශවයම එකම මට්ටමකින් හෘද රෝග තර්ජනයට ලක්වන බව ප්‍රකට වී තිබිණ.

එක හා සමාන දෙහදක් ලෙස හැඳින්වුවද ස්ත්‍රී හදවත සතු ව්‍යවච්ඡේදය සහ භෞතවේදීය වෙනස්කම්, ආහාර රටාවේ සහ ජීවන පුරුදුවල විෂමතා මෙන්ම චර්යයාත්මක, සමාජයීය සහ සංස්කෘතිකමය වෙනස්කම් හේතුකොට යම් නොසැලකීම් දැකිය හැකිය. මෙහිදී ප්‍රධාන වශයෙන්ම අසමානතාවයක් දැකිය හැකි වන්නේ හෘදයාබාධ හා සම්බන්ධවය.

නොසලකා සිටීමෙන් තත්ත්වය බරපතළ වෙයි

පපුවේ කැක්කුම කාන්තාවන්ට සුලබව ඇතිවුවද එය හෘදයාබාධයක් හේතුකොට ඇතිවන්නක් ලෙස සලකන අවස්ථා අඩුය. පිරිමි නම් පපුවේ හදවත පිහිටි පැත්තෙන් (වම් දෙසින්) දැනෙන වේදනාවත් තමන්ට හෘදයාබාධයක් වැලඳීගෙන එන බවට සැකකර වහා රෝහල්ගත වුවද කාන්තාවන් තම පපුවේ කැක්කුමට වෙනත් හේතු දෙමින් රෝහල්ගතවීම පමාවීම දැකිය හැකි ස්වභාවයකි.

එහි ප්‍රතිඵලය වන්නේ හෘදයාබාධයකට පිළියම් පතා වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් වීමේ පමාවක් සිදුවී තත්ත්වය වඩා අවාසනාවන්ත වීමය. මෑතදී සිදුකළ වෛද්‍ය අධ්‍යයනයක් මඟින් පෙන්වා දී ඇත්තේ හෘදයාබාධ හේතුකොට හදවතේ ‘ෂොක්’ නම් තත්ත්වය සහ හද අසරණය වීම කාන්තාවන් තුළ බහුලව දැකිය හැකි බවය.

පිරිමින්ට හෘදයාබාධයක් ඇතිවීමේ දී ඇතිවන සුලබ ලක්ෂණ වන අධික වේදනාව (කැක්කුම) පපුවට පීඩනයක් එල්ලවන හෙවත් තදකරන බවක් දැනීම පපුවේ අසහනකාරි තත්ත්වය, දහඩිය දැමීම වැනි සම්ප්‍රදායික ලක්ෂණ හෘදයාබාධයට ගොදුරුවන කාන්තාවන් තුළද සියල්ලම හෝ එකක් දෙකක් හෝ ඇතිවිය හැකිය. එහෙත් කාන්තාවන්ට ඇතිවන හෘදයාබාධයකදී ඇතිවන ලක්ෂණ පපුවේ කැක්කුමට නෑකම් නොකියන ඒවා වීම විශේෂත්වයකි.

මේ ලකුණු ඇත්නම් සැලකිලිමත් වන්න

එහෙයින් මෙහි පහත දැක්වෙන ලක්ෂණ පිළිබඳව කාන්තාවන් සැලකිලිමත් විය යුත්තේ ඇයව පමණක් නොව පවුලේ අයද, සමහර විට වෛද්‍යවරයාද නොමග යැවීමට මේ ලක්ෂණ සමත්විය හැකි බැවිනි. ඒ අතරින් ලක්ෂණ කිහිපයක් මෙසේය.

  • අසාමාන්‍ය ලෙස විඩාවක් හෝ වෙහෙසකාරි බවක් දැනීම
  • හුස්ම ගැනීමේ අපහසුව
  • ඔක්කාරය, වමනය සහ බඩ බුරුලට යාම
  • දැඩි කාංසාමය/ආතතිමය බවක් දැනීම
  • හකු පෙදෙස, ගෙල, උරහිස්, කන් සහ පිට රිදීම
  • ඇඟ සීතල කරමින් දහඩිය දැමීම
  • එක් අතක් හෝ අත් දෙකම හෝ රිදීම සහ බරගතියක් දැනීම
  • හිස කරකැවිල්ල
  • ඇඟ උණුසුම් බවක් දැනීම

හෘදයාබාධයකට ලක්වන පිරිමි තුළින් දැකිය හැකි ප්‍රධානම ලක්ෂණය වන පපුවේ කැක්කුම බොහෝ කාන්තාවන්ට නොදැනීම මෙහි ඇති විශේෂත්වයකි. මෙවැනි තත්ත්වයක් පැවතීම මත කාන්තාවන් හෘදයාබාධ පිළිබඳව සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයකි.

හෘදයාබාධකයකදී ඔබට දැනෙන රෝග ලක්ෂණ පිරිමින්ට වඩා වෙනස් බව දැන සිටින්න.

එහෙයින් පෙර සඳහන් කළ රෝග ලක්ෂණ කිහිපයක් හෝ පවතින්නේ නම් කල් මරමරා නොසිට වෛද්‍යවරයකු හමුවීම වැදගත්ය.

සම්ප්‍රදායික පරීක්ෂණ පල රහිත වීමට ඉඩ ඇත.

මෑතකදී සිදුකළ අධ්‍යන කිහිපයක්ම පෙන්වා දෙන්නේ සාමාන්‍ය ලෙස හෘදයාබාධ විමසන හා පිරිමින්ට සාර්ථක ප්‍රතිඵල ලබාදෙන වෛද්‍ය පරීක්ෂණ කාන්තා හෘදායාබාධ හා ඒවායේ තත්ත්වය විනිශ්චය සඳහා සාධාරණයක් ඉටු නොකළ හැකි බවය. උදාහරණයක් ලෙස ව්‍යායාම, ඊ. සී. ජී. පරීක්ෂණය සඳහා භාවිත කරන ‘ට්‍රෙඩ්මිල්’ (ඊපඥචඤථඪතත) උපකරණය වෙත ඇවිද යාමට හෝ එයට නැගීමටවත් වයස්ගත කාන්තාවන්ට නොහැකි වීම දැක්විය හැකිය. සුදුසු හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු හෝ පළපුරුදු කායික වෛද්‍යවරයකු හෝ වෙත යාම අවශ්‍යය.

මානසික රෝග විශේෂඥයකු ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරකුගේ පළපුරුදුකම් නොමැති හෝ සුදුසුකම් නොමැති හෝ වෛද්‍යවරයකු වෙත යෑමෙන් කාන්තාවකට සිය හෘද රෝග තත්ත්වය නියාකාරයෙන් හඳුනාගත නොහැකිවිය හැකිය. එහෙයින් හෘද රෝගයක් ගැන යම් සැකයක් ඇත්නම් ඒ සඳහා විශේෂඥ හෘද වෛද්‍යවරයකු හෝ පළපුරුදු කායික රෝග වෛද්‍යවරයකු වෙත යෑම නැණවත්ය.

ඔබේ සුවය ඔබ අතේමය

හෘද රෝගයක් ඇතිවීම වැළැක්වීමට පමණක් නොව හෘද රෝගයක් ඇතිවූ පසු එය යළි යළිත් ඇතිවීම වැළැක්වීමට හැක්කේ ද ඔබටමය.

වයස අවුරුදු 35 න් පසු වසර තුනකටවත් වරක් වෛද්‍යවරයකු මුණගැසෙන්න. රුධිර පීඩනය, රුධිරගත සීනි ප්‍රමාණය හා රුධිර කොලෙස්ටරෝල් ප්‍රමාණය නිසි මට්ටමක පවතින්නේදැයි විමසා බලන්න.

  • සිරුරේ බර උසට/වයසට ගැළපෙන ලෙසට රැකගන්න.
  • දිනපතා ඇවිදින්න. ව්‍යායාම කරන්න.
  • පැය 7 - 8 ක නින්දක් ලබාගන්න.
  • සිතට සහනය ලබාගන්න. අධ්‍යාත්මික කටයුතු/භාවනා ආදියෙහි නිරතවන්න.
  • තෙල් දැමූ ආහාර, මේදය බහුල සහ කොලෙස්ටරෝල් අධික ආහාර, ලුණු අධික ආහාර, සීනි සහිත හා පැණිරස ආහාර පාන හැකිතරම් සීමා කරන්න. නිවුඩු සහිත ධාන්‍ය, එළවළු, පලතුරු හා එළවළු (පලා ඇතුළු) වැඩිපුර ආහාරයට ගන්න.
  • දුම්පානයෙන් වලකින්න. දුම්පානය කරන පිරිමින් අසල ගැවසීමෙන් වළකින්න.
  • සායනයෙන් හෝ වෛද්‍යවරයාගෙන් හෝ ලද ඖෂධ නිසි ආකාරයෙන් නොකඩවා ගන්න. ඒවා නතරකළ හැක්කේ වෛද්‍ය උපදෙස් මත පමණමය. එවිට හදවතත් නිරෝගීය. ඔබත් නිරෝගීය.
417 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 22, අඟහරුවාදා 10:37
අදහස් එක් කිරීමට ලොග් වෙන්න