රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 අගෝස්තු 22, අඟහරුවාදා 11:09

ක්‍රිෂ්ණ මූර්ති ජ්‍යෝතිෂයට අනුව මේෂ ලග්න හිමි ඔබේ ප්‍රේමය සහ විවාහය විශේෂාංග

ලිව්වේ  පමිතා කුමාරි ගුණතිලක
අගයන්න
(1 මනාපය)
හඳහනකින් පුද්ගල දිවියකට හිමි විවාහය, දරු සම්පත්, ආර්ථික දියුණුව, ලෙඩ රෝග, දුක් කම්කටොළු වැනි හොඳ නරක සියලු දේ ගැන විස්තර කිව හැකියි. එහෙත් ඒ සියලු කරුණු එක්වනම ජ්‍යෝතිෂානුකූලව විග්‍රහ කිරීමත් දළ හෝ භාව කේන්ද්‍ර ගැන අවබෝධයක් නැති බහුතරයක් පාඨක පිරිසට භාව ස්ඵුට, ග්‍රහ ස්ඵුට සේ අංශක කලා, විකලා සේ ගණනයකර භාව කේන්ද්‍ර ජ්‍යෝතිෂය ශාස්ත්‍රයෙන් පලා පල කීමත් පාඨකයන්ට මානසික මෙහෙයක් වෙනු ඇත.

 

 

එබැවින් ප්‍රථමකොට ලග්න දොළහට යම් යම් භාව පිහිටීම් මත ප්‍රේමය හා විවාහය ගැනත් සහකරු හෝ සහකාරිය ගැනත් කිව හැකි ජ්‍යෝතිෂමය කරුණු පමණක් මෙහිදී පෙන්වා දේ.

මේෂ ලග්නය හිමි ඔබේ ප්‍රේමය හා විවාහය සහ සහකරු, සහකාරිය ගැන තොරතුරු පළමුව විමසා බලමු.

ජන්ම පත්‍රයේ 5 භාව ස්ඵුටයේ උපස්ථානය අධිපති ග්‍රහයා මේෂ රාශියේ තැන්පත්ව ඇති විට මේෂ ලග්න පුරුෂයන් සහ ස්ත්‍රි පක්ෂය ගැන ක්‍රිෂ්ණ මූර්ති ඡ්‍යොතිෂයෙන් කියවෙන කරුණු මෙසේය.

පුරුෂයන් ඔබ ප්‍රේමයට ඉතා අවංක උනන්දු කෙනෙකි. ඔවුන්ව විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ලක්වෙයි. නිදහසේ ස්ථිර ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන ප්‍රේමාන්විතව ප්‍රීතියෙන් කටයුතු කිරීමට මේ අය කැමැතිය. නමුත් ගැළපෙන ළඳක් ප්‍රේමයට විවාහයට තෝරා නොගත්විට, ප්‍රති ප්‍රේමය මේ පුරුෂයන්ට නොලත් විට මේෂ රාශිය හිමි පිරිමි නොබියව දරුණුව ක්‍රියා කරති. එවිට ඔවුන් බිරියන් සමඟ අමනාප වී නම් කිසිදු පැකිළීමක් නැතිව වෙනත් ස්ත්‍රීන්ගෙන් ආදරය, තෘප්තිය ලබා ගනී. නමුත් බිරියන් ප්‍රති ප්‍රේමය ලබා දේ නම් විවාහය බිඳ නොගෙන යහපත් සහකරුවකු ලෙස බිරියට අවශ්‍ය ආලය සැපසම්පත් කෙසේ හෝ දෙයි. මේෂ ලග්න පිරිමි හොඳ මුත් පෙම් බැඳුම්වලදි වැරැදිත් කරති. තෘප්තිය ලබා දේ නම් පමණක් අවංකව පෙම් කරයි. කඩිනමින් විවාහ වී හෙමිහිට විවාහය ගැන පසුතැවිලි වීම ද කරයි.

ස්ත්‍රීන්

මේෂ රාශියේ හිමිකාරිත්වය ලබන ස්ත්‍රීන් ගත් කල ඔවුන් ද රසය, තෘප්තිය සහකරුගෙන් උපරිමව පතනු ලබයි. විවාහයට පෙර පෙම් සබඳතා කීපයක් පැවැත්වීම සිදු වේ. ප්‍රේමයේදීත් විවාහයේදීත් ඔබට ප්‍රධාන තැන මිස දෙවැනි තැන ගැනීමට කැමැති නැත. සහකරු ඔබගේ පාලනයට යටකර ගැනීම ඔබේ රුචියයි. සහකරු අවංක නැති බව වැටහුණොත් මෙම රාශිය හිමිකාරියන් තදින් වේදනා විඳී. ප්‍රේමයේ දී විවාහයේදී උඩඟු බව ඉවත් කිරීම ප්‍රේමය විවාහය සතුටින් පුරවන බව මේ අයට කිව හැකියි.

මේෂ ලග්න ඔබට විවාහයට ලැබෙන අයගේ බාහිර පෙනුම හා ගතිගුණ ගැන විමසා බලමු. ජන්ම පත්‍රයේ 7 භාව ස්ඵුටයේ අධිපති රවි ග්‍රහයා හෝ උපස්ථානය අධිපති ග්‍රහයා තැන්පත්ව සිටි නක්ෂත්‍රය හිමියා රවි ග්‍රහයා නම්, මේෂ රාශිය හිමි අයට ලැබෙන්නේ මධ්‍යම උසක් ඇති ඉතාමත් දීප්තිමත් ඇස් ඇති පෙනුමක් හිමි අයෙකි. උසස්වීම් සහ ජයග්‍රහණ ලබන අතර කපටිකමත් අහංකාරකමත් හිමි සමාජශීලි කෙනෙකි.

ජන්ම පතේ 7 භාව ස්ඵුටයේ උපස්ථානය අධිපති සඳු ග්‍රහයා නම් හෝ සඳු තැන්පත්ව සිටින නක්ෂත්‍රය හිමි ග්‍රහයා සඳු ග්‍රහයා නම් එවැනි පිහිටීම් ඇති මේෂ ලග්න ඔබට විවාහයට හිමි වෙන්නේ තර, සුදු, හිතුවක්කාර වාද කරනා හා ඇති බලය පවත්වාගෙන යන අයෙකි. ජන්ම පත්‍රයේ 7 භාව ස්ඵුටයේ උපස්ථානය අධිපති කුජ ග්‍රහයා නම් හෝ කුජ තැන්පත්ව සිටින නක්ෂත්‍රය හිමියා කුජ නම් එවන් මේෂ ලග්න හිමියන්ට නූස් නොමිටි මැදි උසක් සහිතව මනාව වැඩුණ රැලි කෙස් ඇති පෙනුමක් ඇති අපේක්ෂා පිරිණු සටන්කාමී, හිතුවක්කාර, වාදයට දක්ෂ අයකු විවාහයට ලැබේ. ජන්මපතේ 7 භාව ස්ඵුටයේ උපස්ථානය අධිපති බුධ ග්‍රහයා නම් හෝ බුධ තැන්පත්ව සිටින නක්ෂත්‍රය හිමියා බුධ වූ මේෂ ලග්න හිමි අයට මධ්‍යම උසක්, කෘෂ ශරීරයක්, දුඹුරු කෙස්, අඳුරු සමක් තිබෙන ඉගෙනීමට දක්ෂ හා කැමැති නිර්මාණශීලී එහෙත් පිළිවෙළකට වැඩ නොකරන අයෙක් විවාහයට හිමිවේ.

මේෂ රාශිය හිමි ඔබේ ජන්ම පතේ 7 භාව ස්ඵුටයේ උපස්ථානය අධිපති ගුරු ග්‍රහයා නම් හෝ ගුරු ග්‍රහයා තැන්පත්ව සිටින නක්ෂත්‍රය හිමියා ගුරු වේ නම් විවාහයට ලැබෙන සහකරුගේ පෙනුම හා ගතිගුණ මෙසේය.

එනම්, උස් වූ නාසයක් හා තරබාරු නැති, මධ්‍යම උසක් ඇති, මුහුණේ කුරුලෑ ඇති ක්‍රීඩාශීලි වාසනාවන්ත, දර්ශනවාදී කෙනකුය. ජන්මපතේ 7 භාව ස්ඵුටයේ උපස්ථානය අධිපති සිකුරු නම් හෝ සිකුරු ග්‍රහයා තැන්පත්ව සිටින මේෂ අයට සිහින් සිරුරක් ඇති, මෘදු හිසකේ ඇති, යහපත් වූ එසේම සංගීතයට කැමැති සමාජ සේවයට ළැදි, විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වෙන ජනප්‍රිය කෙනකු ලැබේ. හඳහනේ 7 භාව ස්ඵුටයේ අධිපති ශනි ග්‍රහයා නම් හෝ ශනි තැන්පත්ව සිටින නක්ෂත්‍රය හිමියා ශනි නම් ඒ පිහිටීම ඇති මේෂ ලග්න හිමි අයට කළු කෙට්ටු එහෙත් යහපත් පෙනුමක් ඇති, මුඛරි, කරදර උරුම වෙන්නකු විවාහයට ලැබේ.

මේෂ ලග්න ඔබේ ජීවිතය සාර්ථක කරගැනීමට ඡ්‍යොතිෂ්‍යමය උපදෙසක් මෙන්න. අනුන්ගේ අදහස්වලට ගරු නොකරන ගතිය දුරු කරගන්න. අහංකාරය හදිසි කෝපය අත්හරින්න. දීර්ඝකාලීන ප්‍රතිපත්ති ඇතිකර ගැනීමෙන් ඔබට යහපතක් උදා වෙන බව සිතට ගන්න.

 ප්‍රවීණ ඡ්‍යොතීර්වේදී

ඉන්දික තොටවත්ත 

1135 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 22, අඟහරුවාදා 11:10
අදහස් එක් කිරීමට ලොග් වෙන්න