තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 අගෝස්තු 22, අඟහරුවාදා 11:44

යුවතියකගේ පිරිසුදුබව මනින මිම්ම හරියටම හරිද? විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
පාසල් වියේ පටන් දලු ලා වැඩුණු චමත්කා හා පහන්ගේ ආදර සම්බන්ධය ගලා ගියේ හරිම සෞන්දර්යාත්මක විදිහටයි. ඔවුන් උසස් අධ්‍යාපනයේ යෙදී සමාජයේ පිළිගත් වෘත්තිකයන් බවට පත් වූ පසු සිතුයේ කුරුලු කැදැල්ලකට ඒමේ දිනය ළං ළං කරවීමටයි.

 

මාපිය ආශිර්වාදය නොඅඩුව ලැබූ ඔවුන්ට සැලසුම් කළ පරිදිම චමත්කාරජනක මංගල උත්සවයක් පැවැත්වීමට හැකි විය. කාලයක් පුරාවට දැන හැඳිනගනිමින් පෙම්වතුන් ලෙස ගතකළ ජීවිතය මනරම් එකක් විය. ඉතාම සංවරශීලි පෙම්වතුන් යුවළක් වූ ඔවුන් අනෙක් පෙම්වතුන්ට ආදර්ශයක්ම විය. මේ ගෙවී යන්නේ ඔවුනගේ ජීවිතයේ අතිශය හැඟුම්බර හෝරා කිහිපයයි. ඔවුන් මධුසමය ගත කිරීම සඳහා පැමිණියේ නුවරඑළිය ප්‍රදේශයටය. දිගු ගමනක විඩාව දෙදෙනාගේම ගත වෙහෙසවූවා යැයි කීම මුසාවක් නම් නොවේ. පහන්ට චමත්කාගෙන් බලාපොරොත්තු වුණු ඒ කිරුළුපළන් ලෝකය එක්වරම සුනුවිසුනුව ගියාදෝ යැයි ඔහුට සිතුණා. චමත්කාට තම පිරිසුදුබව පහන් ඉදිරියේ පෙන්වීමට නොහැකිවීම පිළිබඳ ඇය දස දහස්වාරයක් සිතින් හඬා වැටුණි. තමාට මේ කුමක්ද සිදුවුණේ දැයි චමත්කාට සිතා ගන්නටවත් නොහැකි විය. තම කුලුඳුල් පෙමෙහි පුදසුන පහන් ඉදිරියේ පමණක් තැබූ බව දන්නේ ඇගේ හෘදසාක්ෂියම පමණි.

වසර ගණනාවක් තිස්සේ අතිනත පටලවාගෙන සුමියුරු වදන් පැවසූ පහන් ම ද මේ ඉන්නේ.... ඇයට සිතුණු වාර අනන්තය. තමා අන් පිරිමියකු වෙත තම පිරිසුදුකම පූජා නොකළ බව චමත්කා හැකි සෑම අන්දමින්ම පැවසුවත් එය පිළිගන්නට තරම් හිතක් පහන්ට තිබුණේම නැත.

කෙසේ වෙතත් මේ කිසිවක් නෑ හිතමිතුරන් අතරට නොගෙන ගිය පහන් දෙවැනි ගමන සඳහා පිටත්ව ගියේ චමත්කාට සමාව දෙමිනි. නොකළ වරදකට සමාව ලබමින් දෙවැනි ගමන දා පතිනියක ලෙස ඔහුගේ අතගෙන ඔහුගේ නිවෙසේ පැවැත්වූ මංගල සාදයට සහභාගි වූයේ හඬාවැටෙන හදවතිනි.

අද වනවිට චමත්කා හා පහන් දරු දෙදෙනකුගේ මවක පියකු වුවත් වරින්වර ඔවුන් අතර හටගත් අඬදබරවල නම් නිමක් නැත. “උඹට බැරිවුණා නේ උඹේ පිරිසුදුකම මා ඉදිරියේ පෙන්වන්න. මාත් පෙර කරුමයකට ද කොහේදෝ කර ගැහුවා.” පහන් කිසිසේත්ම චමත්කාගේ බහට ඇහුම්කන් දීමට පවා කැමැති වූයේ නැත.

මේ පෙරදිග රටවල බොහොමයක් යුවතියන් මුහුණදෙන සැමියන්ට කිසිසේත්ම පිළිගත නොහැකි සත්‍යයි. යුවතියකගේ පිරිසුදුකම තම සහකරු හමුවේ කියා පෑ හැකි එකම සාධකය කන්‍යාභාවය බවත් එය යුවතියක සතු විය යුතුම බවත් මුල්බැසගත් මතයයි.

කන්‍යාපටලය යනු නැමුණු හම් කොටසකි. එය සිනිඳු හම් කොටසක් ද වේ. මෙය යෝනි විවරයේ සිට සෙන්ටි මීටර් 1 ක් 2 ක් ඇතුළට වන්නට පිහිටයි. ඇතැම් යුවතියන්ගේ මෙය යෝනි විවරය ආසන්නයට වන්නට පිහිටයි. එය සම්පූර්ණයෙන් නොවැසුණු මැද සිදුරක් සහිත එකකි.

මෙය උපතින්ම පිහිටන දෙයක්වන අතර කුඩා ගැහැනු දරුවකුගේ සිනිඳුවට පිහිටන කන්‍යාපටලය ඇය වැඩිවියට පැමිණීමත් සමඟින් පෙර තිබුණාට වඩා තරමක් ගොරෝසු භාවයට පත්වේ. මැද සිදුරක් පිහිටා ඇත්තේ මාසිකව ඔසප් ලෙය පිටව යෑමටයි. කලාතුරකින් කෙනකුගේ මෙහි සිදුරක් නොමැතිවීමට පුළුවන. එවිට ශල්‍යකර්මයක් සිදුකරමින් සිදුරක් සාදන්නේ කන්‍යාපටලයට කිසිදු හානියක් සිදු නොකරමිනි.

එහෙත් ඔබ දන්නවාද? සියයට 5 ක පමණ යුවතියනට උපතින්ම කන්‍යාපටලයක් හිමි නොවන බව. කන්‍යාපටලය ඉතාම ඝණව සහ තුනිවට පිහිටන අය ද සිටියි. මේ අතුරින් සියයට 35 ක පමණ පිරිසකගේ පළමු එක්වීමේ දී රුධිරය පිටවීමක් නොවේ. ඒ ඉතාම තුනීවට පටලයක් සේ පිහිටද්දී රුධිරය ගලායෑමක් සිදුනොවන නිසයි. ඒ අවට ප්‍රදේශයේ පමණක් තැවරීමට ප්‍රමාණවත් රුධිරයක් පමණක් ඔවුන් සතුය.

සයිකල් පැදීම, අශ්වයන් පිට යෑම, ජිම්නාස්ටික් ක්‍රීඩාවේ නියැළෙන බොහොමයක් යුවතියන්ගේ කන්‍යාපටලය බිඳීමකට ලක්විය හැකියි. ඒ අනුව එය සයිකල් ශූරියක්, ජිම්නාස්ටික් ශූරියක් නම් කන්‍යාපටලය අහිමිවීමට ඇති ඉඩකඩ වැඩිය.

තවත් යුවතියකගේ මාසික ශුද්ධවීම් සිදුවන දිනවල පලඳින පෑඩය යෝනි මාර්ගය ඇතුළට තදවීමෙන් යෝනි විවරය ආසන්නයේ පිහිටි කන්‍යා පටලයක් නම් බිඳීමට පුළුවන. නාරි හා ප්‍රසව වෛද්‍යවරුන් ඒ ආශ්‍රිත ප්‍රදේශය උපකරණ දමා පරීක්ෂා කරන්නට යන අවස්ථාවලදීත් ඇතැමකුගේ කන්‍යාපටලය බිඳීමට ඇති ඉඩකඩ ද බොහෝ සේ වැඩිය. සුදයෑම වැනි තත්ත්ව නිසා තවත් පිරිසක් එම ප්‍රදේශය තදින් අතුල්ලා සේදීමට යයි. මෙවැනි අවස්ථාත් යමකුගේ කන්‍යාපටලය බිඳීමට හේතුවිය හැකියි. ඒ ආශ්‍රිත ප්‍රදේශය පිරිසුදව තබානොගත යුතු යැයි වරදවා වටහා ගත යුතු නොවේ.

ලිංගික එක්වීම් සිදුවුවත් දැඩිව කන්‍යාපටලය පිහිටන කෙනකුගේ කන්‍යාපටලය බිඳීමක් සිදු නොවන්නට පුළුවන. එබැවින් කන්‍යාපටලය සුරැකිව තිබීම යනු එම යුවතිය කිසිදා පිරිමියකු සමඟ යහන්ගත නොවූ කෙනකු බවට සාක්ෂි සපයන්නක් ද නොවේ.

කන්‍යාපටලය පිළිබඳ බොහෝදෙනා අතර ඇත්තේ මිත්‍යා මත බව දැන් ඔබට හොඳින්ම වැටහී යනු ඇති.

තම පිරිසුදු බව සැමියා හමුවේ ඔප්පු කරගත නොහැකිව මුළු ජීවිතයම දුකක්, කඳුළු ගංගාවක් බවට පත්කරගත් කතුන් අප සමාජයේ කොතෙකුත් සිටිති. ඔවුහු නිරන්තරයෙන් සැමියන්ගේ තාඩන, පීඩනවලට හසුවෙති. මේ නිසාම සදාචාර සම්පන්න නීතිවලින් ඔබ්බට ගොසින් තම පිරිසුදුකම විදහා දක්වමින් සැමියන් මුලාවට පත්කරන්නට පෙලඹෙන යුවතියන් ද නැතුවා නොවේ.

කන්‍යාපටලයක් ස්වාභාවිකව හෝ කෘත්‍රීම ක්‍රම භාවිතයට ගනිමින් නැවත ස්ථාපිත කරගන්නට උත්සාහ දරන කතුන් ද නැතුවා නොවේ.

ජීවිතයටම එකම එකවරක් බිඳේ යැයි සිතෙන කන්‍යාපටලය එක්වීමකදී පවා නොකැඩෙන යුවතියන් ද සිටියි.

විවාහ මංගල්‍යයදා ඇතිවන ආතතීන් අතරට කන්‍යාපටලය පිළිබඳ ආතතියක් ද එක්වුවහොත් මට මෙය ඔප්පු කරන්න බැරිවේවිද වැනි දේ සිතට වදයක් ගෙන දේවි.

අලුත විවාහ වූ පිරිමියකු, විවාහවන්නට සූදානම්වන පිරිමියකු යුවතියකගේ කන්‍යාපටලය පිළිබඳ දැනුම්වත්ව සිටීම බෙහෙවින්ම වැදගත් වේ. එසේ නොමැතිවීමෙන් මගේ ප්‍රියම්බිකාව මැය මගේමැයි අවබෝධ කරගන්නේ පළමු එක්වීමෙන් නිසැකවම රුධිරය පිටවිය යුතුමයි යන අදහසේ සිටය. එසේ නොවීම ඔහුට කිසිසේත්ම දරාගත නොහැකි දෙයක් වේවි. මුළු ජීවිතයම කඩා වැටුණා යයි සිතාවි. මාපියනුත් මේ පිළිබඳ සැලකිලිමත් වද්දී තමා ඔවුනට මුහුණ දෙන්නේ කෙසේදැයි ළතැවේවි. සුන්දර කැදැල්ලක් තනන්නට ගත් උත්සාහය ලත් තැනම ලොප් වේවි.

කන්‍යාපටලය නොතිබීම යනු යුවතියක කෲර වදහිංසාවලට, අමානුෂිකකම්වලට ලක්කිරීමට, සැකකිරීම්වලට හේතුවක් නොවන බව වෛද්‍ය විද්‍යාත්මකව පවා සනාථ කොට තිබෙන්නකි.

සැමියා සතු අවබෝධය නිවැරැදි එකක් වූයේ නම් පහන්ට හෝ චමත්කාට කිසිදු සිත් රිදවීමක් නොමැතිවන්නට තිබිණි. කිසිදු ආරවුලකට මුල පිරීමක් නොවන්නට තිබිණි.

 

 

 

උපදෙස්

මනෝ වෛද්‍ය විශේෂඥ

එච්. ඒ. බුද්ධි ජයසේකර

747 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 22, අඟහරුවාදා 11:45
අදහස් එක් කිරීමට ලොග් වෙන්න