රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 අගෝස්තු 29, අඟහරුවාදා 10:56

මවගේ වැරැදි පුරුදුමළ දරු උපතකට මඟ පාදනවා විශේෂාංග

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
අගයන්න
(0 මනාප)
නව මසක් කුස දරා සිටි දරු පැටියා දෝත පුරා රැගෙන ළමැදට තුරුලු කරගන්නා තුරු මවකට ඉවසීමක් නැහැ. ගැහැනියකට මවු පදවිය ජීවිතයටත් වඩා වටිනවා.

 

එහෙත් දවසින් දවස මැවූ සිහිනය බොඳ වෙලා හිස් අතින් කුස හිස් කරගෙන නිවෙසට ඒමට සිදු වුණොත් එතරම් වේදනාවක් ජීවිත කාලයටම දැරීමට සිදු වන්නේ නැහැ.

2015 වසරේ ලංකාවේ සජීවි දරු උපත් තුන් ලක්ෂ තිස් හතර දහසකට මළ දරු උපත් 1728 ක් වාර්තා වී තිබෙනවා. එනම් ගර්භයට සති 28 පසු මෙලොවට බිහි නොවී කුසෙහිම 1728 ක් මිය ගොස් තිබෙනවා. තවත් දරුවන් 1555 ක් ඉපදී පළමු සතියේදීම මිය ගොස් තිබෙනවා. මෙතරම් වෛද්‍ය විද්‍යාව දියුණු වී තිබියදීත් ඉපදී සතියකින්ම දරුවන් ජීවිතයෙන් සමු ගැනීමට සිදු වී ඇත්තේ නිසි අයුරින් නොවැඩීම, අඩු බර, මවගේ ප්‍රසූත සංකූලතා නිිසයි.

සාමාන්‍යයෙන් මළ දරු උපතක් කියන්නේ සති විස්සේදී හෝ ඉන් පසු සිදුවන මරණයක්. සති විස්සට පෙර සිදු වන්නේ ගබ්සාවන්.

මෙලෙස මෙලොවට බිහිවීමට පෙර ජීවිතයෙන් සමු ගැනීමට හේතු ගණනාවක්ම බලපාන්න පුළුවන්. ඇතැම් විට හේතුවක් නැතිව ද මළ දරුවන් බිහි වෙනවා.

කලලය සෙමින් වැඩීම එක හේතුවක්. උදරය කුසෙහි වැඩෙන දරුවාගේ වැඩීමත් සමඟ විශාල වන නමුත් උදරයේ විශාලත්වයෙන් සෑම විටම දරුවාගේ විශාලත්වය මනින්න බැහැ.

උපතින් පසු පළමු දින 28 ඇතුළත සිදුවන ළදරු මරණවලින් සියයට හැටකට පමණම වාගේ හේතු වන්නේ කලලයේ වැඩීම බාලවීමයි.

දරුවා නිසි බරකින් නොවැඩෙන විට මවට මාස ගණනේ තරමට බරක් කුසට දැනෙන්නේ නැහැ. අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණයකින් දරුවාගේ වැඩීම බලාගන්න පුළුවන්.

කුසෙහි දරුවා සෙමෙන් වැඩීමට බලපාන එක් හේතුවක් වන්නේ මවගේ වැරැදි සෞඛ්‍ය පුරුදුයි. පෝෂණ ඌනතා, වැරැදි ඖෂධ භාවිතය, (වෛද්‍ය උපදෙස්වලින් තොරව ඖෂධ ගැනීම) ෆෝලික් අම්ලය නොගැනීම මේ කෙරෙහි බලපෑ හැකියි.

ගැබිනි වියේදී රුධිර පීඩනය මැන බැලීම පුරුද්දක් ලෙස කළ යුතුයි. රුධිර පීඩනය වැඩිවීම එක්ලැම්සියා තත්ත්වයට බලපායි. මෙහිදී දරුවාට වැදෑමහ හරහා රුධිරය ගලා යන්නේ අඩුවෙන්. එනිසා ඔක්සිජන් අඩුවෙන් ලැබෙන අතර වර්ධනය ද බාලවනවා.

රුබෙල්ලා එන්නත දරුවකු පිළිසිඳ ගැනීමට පෙර ලබා ගත යුත්තේ එමඟින් වැඩීම දුර්වල විය හැකි නිසයි. සිෆිලිස් වැනි වැරැදි කායික ඇසුර නිසා ඇතිවන රෝග ද වැඩීමට බලපානවා. ටොක්සොප්ලැස්මා, රෝග බීජවලින් අසාදිත මස් හොඳින් තම්බා ආහාරයට නොගැනීමෙන් ඇතිවන තත්ත්වයක්. ටොක්සොප්ලැස්මා රෝගයට ගොදුරු වූ පූසකුගේ මල තැවරීමෙන් ද රෝගය වැලඳීමට පුළුවන්. එය ද වැඩීම බාලවීමට බලපානවා.

එක් දරුවකුට වඩා ලැබෙන්න සිටීම තවත් හේතුවක්. දරුවන් දෙදෙනකු ලැබීමට සිටින විට මවක් ප්‍රීඑක්ලැම්සියා තත්ත්වයට පත්වීමේ ඉඩ එක් දරුවකු බිහිවීමට සිටින විටදීට වඩා වැඩියි. තුන් නිවුන් දරුවන් සිටිනවා නම් අවදානම තවත් වැඩියි.

වැදෑමහ නිසි ලෙස ක්‍රියා නොකිරීම ද, කලලයේ උපත් ආබාධ තිබීම, කලලාවාරික, තරලය අඩුවෙන් තිබීම, පෙකණි වැලේ අසාමාන්‍යතාව මීට බලපානවා.

යහපත් සෞඛ්‍ය පුරුදු ඇතිකර ගැනීම, ආතතියෙන් දුරුවීම, වෛද්‍ය උපදෙස් පරිදි ව්‍යායාම කිරීම, විවේකය, සමබල ආහාර ගැනීම දරුවා හොඳින් වැඩීමට හේතු වෙනවා.

වැදෑමහ දරුවා බිහිවීමට පෙර වෙන්වීම මළ දරු උපතකට සුලබ වශයෙන් බලපානවා. වරක් මළ දරුවකු බිහි කළ මවක් නැවතත් එවන් දරුවකු බිහි කිරීමේ ඉඩ වැඩියි. නියමිත මාස ගණනට පෙර දරුවා බිහි කළ මවුවරු ද දරුවා, පිළිසිඳ ගැනීමට පෙර අධික රුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග, තයිරොයිඩ් ආබාධ, රුධිර කැටි ගැසීමේ අක්‍රමිකතා වැනි තත්ත්ව තිබීම මවක් මේ ඉරණමට ගොදුරු කරන අනෙක් කාරණායි.

තරබාරුකම ගැබිනියක වීමට පෙරම නිවැරැදි කරගත යුතුයි. වෛද්‍යවරුන් එසේ පවසන්නේ මවගේත්, දරුවාගේත් සෞඛ්‍යයට තරබාරුකම කොහෙත්ම හිතකර නැති නිසයි. තරබාරුකමේ වරදට ගෙවීමට සිදුවන එක වන්දියක් වන්නේ නොමේරූ දරු උපතක්.

වයසත් මෙහිදී වැදගත් සාධකයක්. වයස විසි ගණන්වලදීට වඩා තිස් ගණන්වලදී මළ දරු උපතකට ඉඩ වැඩියි. ගැටවර වයසේදී ගැබ් ගැනීමත්, වයස අවුරුදු 40 පසු ගැබ් ගැනීමත් අවදානම වැඩි කරනවා.

මළ දරු උපත් වළක්වා ගැනීමට පිළිසිඳ ගැනීමකට සූදානමින් සිටින කාලයේම වෛද්‍ය උපදෙස් පතන්න.

අපේ රටේ ගර්භණී වී සති 12 ක් තුළ පූර්ව ප්‍රසව සායනවල සියයට 82 ක් පමණ ලියාපදිංචි වෙනවා. සායනවලින් මවුවරුන්ගෙන් සියයට 99 ක්ම වෛද්‍ය පරීක්ෂාව ලබනවා.

සියයට 99.9 ක්ම ප්‍රසූතිය සිදුවන්නේ රෝහල්වලයි. පසු ප්‍රසව සංරක්ෂණය සියයට 92 ක්ම ලබා ගන්නවා. මේ නිසා මළ දරු උපත් සෑහෙන්න සංඛ්‍යාවක් අඩුකර ගන්න පුළුවන්.

ගැබිනි විය පුරාම මවක් විමසිල්ලෙන් සිටිය යුතුයි. ගැබිනි වී දෙවැනි මාස තුනේ දී හෝ තුන්වැනි මාස තුනේ දී හෝ රුධිරය පිට වුවහොත් එය පෙකණි වැල විසන්ධිවීමේ ලකුණක් විය හැකියි. කොන්දේ වේදනාව, බබාගේ ක්‍රියාකාරිත්වය අඩුවීම සැලකිලිමත් විය යුතු ලකුණුයි.

ගැබිනි වියේ සති 28 දී පමණ දරුවාගේ පා පහරවල් ගණනය කිරීම ඇරඹිය යුතුයි.

පැය දහයකට සිඟිති පා පහරවල් 10 ක් වත් දැනුණේ නැත්නම්, වෙනදාට වඩා චලනයේ වෙනසක් දැකිය හැකි වූවා නම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.

 

උපදෙස් - ශ්‍රී ලංකා පරාජන්ම විශේෂඥ

වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති

 විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න

875 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 29, අඟහරුවාදා 10:58
අදහස් එක් කිරීමට ලොග් වෙන්න