රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 සැප්තැම්බර් 04, සඳුදා 14:49

නිරෝගී ව සිටීමට නම් අනතුරු ලක්ෂණ දැන හැඳිනගන්න විශේෂාංග

ලිව්වේ  තුසිත මලලසේකර
අගයන්න
(0 මනාප)
අප කවුරුත් නිරෝගී සුවයෙන් සිටින්නට කැමැතිය. ලෙඩක්, දුකක්, කරදරයක් නැතිව සිටිනතාක් කල් අප සිටින්නේ සතුටිනි. මේ ප්‍රීතිය හා සතුට නිසාම සමහර විට යම් රෝග මතුකරන මුල් ලක්ෂණ අපට නොපෙනී - නොදැනී යා හැකිය. එවැනි ලක්ෂණ පිළිබඳ යම් අවධානයකින් සිටිය හැකිනම් සමහර ගැටලු පීදෙන කොටම කපා හැරීමට පුළුවන. මේ එවැනි තත්ත්වයන් කිහිපයකි.

 

ටිකක් කෑවත් - බඩ පුරවදාලා

සාමාන්‍යයෙන් හුරුව සිටි ආහාර ප්‍රමාණයට වඩා සුළු ආහාර ප්‍රමාණයක් ගත්ත ද සමහර විට ඔබට බඩ පිරුණ ගතියක් දැනිය හැකිය. සමහර විට ඒ හා සමඟම වමනය සහ ඔක්කාරය ද ඇතිවීමට පුළුවන. සතියකට වඩා වැඩි කාලයක් මෙම තත්ත්වය පවතී නම් වෛද්‍යවරයකු හමු වී විමර්ශනයක යෙදීම වැදගත්ය. මෙවැනි අසහනකාරී තත්ත්වයක් ඇතිවීමට බලපාන රෝග හා ආබාධ කිහිපයක්ම පවතියි. ආමාශ, ආන්ත්‍රික ආබාධමය ගැටලු අක්මාව, පිත්තාශය, අග්න්‍යාසය (ඇලදිව) ආශ්‍රිත රෝග තත්ත්වයන්, අග්න්‍යාසය, ආමාශය සහ ඩිම්බකෝෂවල පිළිකාමය තත්ත්වයන් ඒ අතර තිබිය හැකිය. එහෙත් රෝග නීර්ණය නිවැරැදිව කළ හැක්කේ නිසි පරීක්ෂාව හා පරීක්ෂණ සිදු කරන වෛද්‍යවරයකුට පමණය.

සන්ධියක දැවෙන ගතිය, රතු පැහැ ගැනීම සහ ඉදිමීම

මෙය ද නොසලකා නොසිට වහා වෛද්‍ය ප්‍රතිකාර පැතිය යුත්තේ එය අදාළ සන්ධිය ආසාදනයට ලක්ව තිබිය හැකි බැවිනි. සන්ධිය මුදා ගැනීම සහ ආසාදන කාරක බැක්ටීරියා පලවා හැරීම සඳහා ප්‍රතිජිවක ඖෂධ ඇතුළු ඖෂධීය ප්‍රතිකාර අවශ්‍යය. එසේ නොකළහොත් බැක්ටීරියා විෂබීජ වෙනත් අවයව හා ස්ථාන කරා පැතිරිය හැකිය. මෙයට අමතරව රුමටොයිඩ් ආර්තරයිටිස් වැනි සමහර ආර්තරයිටිස් තත්ත්වයන්හිද ගවුටය ලෙස හැඳින්වෙන රෝගයේදී ද මෙවැනි ලක්ෂණ මතුවිය හැකිය.

ඇසෙන් ආලෝක ධාරා විහිදීම

ඉංග්‍රීසියෙන් මෙම ලක්ෂණය හඳුන්වන්නේ ‘ෆැලෑසින් ඔෆ් ලයිට්’ ලෙසය. මෙය වහාම අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකුගේ අවධානයට යොමු කළ යුත්තේ ඇසේ දෘෂ්්ටි විතානය (කණනිකාව) ගැලවී යාමේ තර්ජනයක් එමඟින් පෙන්වන නිසාය. තත්ත්වය උග්‍රවීම වැළැක්වීමට ශල්‍යකර්මයක් අවශ්‍යවීමට ද පුළුවන.

මානසික තත්ත්වයේ හදිසි වෙනසක්

මෙය ද අවධානයෙන් සිටිය යුතු තත්ත්වයක් වන්නේ අප කිසිවෙක් මෙහි පහත සඳහන් කරන ලක්ෂණ රෝගී තත්ත්වයට සම්බන්ධ කිරීමට අසතුටු බැවිනි.

* හදිසියේ ඇතිවන හෝ ක්‍රමයෙන් උග්‍රවන හෝ සිතීමේ අවුල් සහගතභාවයක්

* වික්ෂිප්ත හෝ අන්ද මන්ද වූ බවක්

* හදිසියේම කලහකාරි හැසිරීම්වලට යොමුවීම

* පෙර කිසි දිනෙක විකාර රූපී දර්ශන නොදුටු අයෙකු එවැනි රූප දැකීම

සිතීමේ හෝ හැසිරීම් රටාවේ හෝ මේ ඇතිවන වෙනස්කම් ආසාදනයක්, හිසේ තුවාලයන්, ආඝාතය, රුධිරයේ සීනි මට්ටම අඩුවීම සහ මෑතකදී ගැනීම ආරම්භ කළ සමහර ඖෂධ නිසා ඇතිවන සංකූලතාවක් හෝ විය හැකිය.

මෙවැනි අනතරු ලක්ෂණ ඇති වූ විට එය දරුණු මානසික රෝග තත්ත්වයකට වර්ධනය වීමට ඉඩ නොදී ඉක්මනින් මමෝ වෛද්‍ය ප්‍රතිකාර පැතීම ප්‍රයෝජනවත්ය.

මල පහ කිරීමේ පුරුදුවල වෙනසක්

ඔබට හේතුව පැහැදිලි නැති යම් වෙනසක් මල පහ කිරීමේ හුරුපුුරුදුවල ඇති වුවහොත් පමා නොවී වෛද්‍ය උපදෙස් පැතීම නැනවත්ය. මේ වෙනස්කම් ලක්ෂණ කිහිපයක් මෙසේය.

* දින දෙකකට වඩා පවතින උග්‍ර පාචන තත්ත්වයක්.

* සතියකට වඩා පවතින මඳ පාචන තත්ත්වයක්

* සති දෙකකට වඩා පවතින බඩ වේලීම හෙවත් මලබද්ධ තත්ත්වයක්

* නිතර මලපහ කිරීමේ අවශ්‍යතාවයක් දැනීම

* මල සමඟ රතු පැහැ හෝ කළු පැහැ ලේ මිශ්‍රව තිබීම

මල පහ කිරීමේ වෙනස්කම් ඇතිවීමට මුල් විය හැකි හේතු රාශියකි. ආහාර අජීර්ණය, ආහාර පත්තියම් නොවීම, ආහාර සමඟ රෝග කාරක බැක්ටිරියා හෝ වයිරස හෝ විෂබීජ ඇතුළුවීම, ආහාර මාර්ගයේ පණු පරපෝෂිතයන් සිටීම, බඩ බුරුල් කරන හෝ බඩ වේලන ලක්ෂණ ඇති කරන ඖෂධ ගැනීම, මහාන්ත්‍රයේ පවතින ආසාදනමය තත්ත්වයන්, ආහාර මාර්ගය තුළ හෝ එයට සම්බන්ධ ඉන්ද්‍රියක (මහ බඩවැල, ගුදය, කුඩා බඩවැල, ගුද මාර්ගය, ආමාශය, අක්මාව, පිත්තාශය, අග්න්‍යාසය ආදි) ඇති පිළිකාමය තත්ත්වයන්, විශේෂයෙන් මල සමඟ ලේ පිටවන්නේ නම් මෙම පිළිකා තත්ත්ව ගැන වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යාවශ්‍යය.

ශරීරයේ බර අඩුවීම

හේතුවක් හෝ තේරුම් කළ හැකි පසුබිමකින් තොරව ශරීරයේ බර අසාමාන්‍ය ලෙස අඩු වන්නේ නම් ඒ පිළිබඳ විශේෂ අවධානයකින් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත්ය. එසේ නම්,

* මාසයක කාලයක් තුළ සිරුරේ බර 5% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අඩුවීම

* මාස 6 - 12 ත් අතර කාලයකදී සිරුරේ බර 10% කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් සිතාගත හැකි හේතුවක් රහිතව අඩු වේ නම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් පැතිම යෝග්‍යය. මෙසේ හේතු රහිතව බර අඩුවීමට මුල් විය හැකි සාධක කිහිපයකි. ඒවා අතර ප්‍රධාන වන්නේ,

1. තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරිත්වය හෙවත් අති තයිරොක්ෂිතාව

2. අක්මා රෝග

3. ක්ෂය රෝගය ඇතුළු ආසාදන

4. එච්. අයි. වී. ආසාදනය හා ඒඩ්ස් රෝගය

5. පිළිකා රෝගයක් පැවතීම

6. විෂාදය වැනි මානසික රෝග

මේ කවර තත්ත්වයක් වුව ද වෛද්‍ය පරීක්ෂණයක් මඟින් රෝග තත්ත්වය අනාවරණය කර ගැනීම වැදගත්ය.

කල් අල්ලා පවතින උණ

ඔබගේ ප්‍රතිශක්ති පද්ධතිය නිසි ලෙස ක්‍රියා කරන්නේ නම් සහ පිළිකා සඳහා ලබාදෙන කීෂ්මීයෝ තෙරපි ප්‍රතිකාර නොලබන්නේ නම් සතියක කාලයක් හෝ ඒ ඉක්මවා පවතින පැරන්හයිට් අංශක 100 වැනි උණක් වුවත් වෛද්‍ය නිරීක්ෂණයට ලක් කළ යුතුය. පැරන්හයිට් අංශක 103 ට වැඩි සහ තදින් ඇඟ වෙව්ලන ගතියක් සහිත තද උණක් ඇත්නම් එය පමා නොවී වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්ත්වයකි. දිගින් දිගටම පවතින උණ ශරීරය තුළ සැඟව පවතින ආසාදනයක් විය හැකිය. එය මුත්‍රා පද්ධතියේ ආසාදනයක සිට සෙම්ප්‍රතිශ්‍යාව හා ක්ෂය රෝගය දක්වා වන රෝග ආසාදන ගණනාවක් සඳහා කෙරෙන ඉඟියක් විය හැකිය. සමහර පිළිකා රෝග සමඟ ද දීර්ඝ කාලයක් පවතින සුළු උණ තත්ත්වයක් පවතියි.කෙසේ වෙතත් දීර්ඝ කාලයක් උණ පවතින විට එය වෛද්‍ය උපදෙස් පැතීම පමා නොකළ යුතු තත්ත්වයක් ලෙස ඔබ වටහා ගැනීම වැදගත්ය.

ලබන සතියේ - දරුණු රෝග හඟවන ලක්ෂණ

1185 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 04, සඳුදා 15:11
අදහස් එක් කිරීමට ලොග් වෙන්න