රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 සැප්තැම්බර් 04, සඳුදා 15:07

බැඳෙනවාටත් වඩා බිඳෙන්නට හදිසි පවුල් ජීවිත විශේෂාංග

ලිව්වේ  ප්‍රසන්නී ගී තරංගමා
අගයන්න
(0 මනාප)
“දෙන්නා දෙමහල්ලන්ගේ ගැටුම් බත් හැළිය ඉදෙනකල් පමණයි.” මේ සොඳුරු කියමන අද නෑසෙන ගාණයි. සැබැවින්ම අද පවුලේ අඬදබරයක් මැද්දේ බත් හැළියක් ඉදවනවා වෙනුවට කරන්නේ ‘ඩිවෝන් පේපර්’ සූදානම් කිරීමයි. ළහි ළහියේම විවාහ වෙනවා. ළහි ළහියේම දික්කසාද වෙනවා. මේ දික්කසාද ව්‍යසනය අද අපේ සමාජයටත් වසංගතයක් වෙලා.

 

බැඳෙනවාටත් වඩා බිඳෙන්න හදිසි පවුල් ජීවිත කොහොම හරි එකට ගැටගසා තබන්න මා අතරමැදි වූ අවස්ථා බොහෝමයි. උපදේශනයට පෙර සාවදානවීමේදී දික්කසාද තීරණයට එළඹීමට තරම් ඔවුන්ට බොහෝ සාධාරණ හේතු තිබෙන බවත් මට පෙනී යනවා.

පසුගිය සතියේ දික්කසාද වීමට තීරණය කළ කලාකරුවන් යුවළක් මා ඉදිරියේ කරුණු දැක්වූවා. තම දරුවා වෙනුවෙන්වත් දික්කසාද තීරණයේ වෙනසක් කළ හැකිදැයි උපදේශනයක් ලබාදීමට මා මේ දෙදෙනාට ඇහුම්කන් දුන්නා.

“මට වඩා මගේ නෝනා අවුරුදු දහයක්ම වැඩිමහල්. කසාද බඳිද්දී මං ඒ ගැන ඒ තරම් හිතුවේ නැහැ. ඒත් දරුවා ලැබුණාට පස්සේ මට එයාව පේන්නේ මගේ නැන්දා කෙනෙක්, ලොකු අම්මා ගෙනෙක් වාගේයි. එයත් එක්ක විවාහ ජීවිතයක් ගෙවන්න නම් මං අන්ධයෙක් වෙන්න ඕනෑ.”

ඔහු මේ පවසන්නේ විවාහයකට ඉක්මන් වෙද්දී ඔහුට නොපෙනුණු වයස් පරතරය ගැනයි. ඇත්තටම ආදරය කරන කාලයේ දී අද අපේ තරුණ තරුණියන්ට විවාහ ජීවිතයකට අවශ්‍ය සාධක ගැන සැලකිල්ලක් නෑ. ඔවුන් එහි විපාකය ගෙවන්නේ දික්කසාදයකට එළඹීමෙනුයි.

ඔබ ආදරය ප්‍රේමය එකතු කරන්නේ විවාහයේ කායික සංසිද්ධියටයි. අපේ පාරම්පරික සංස්කෘතිය තුළදී වැඩිහිටියන් මනාලිය මනාලයාට වඩා බාල විය යුතු බව තරයේම සලකා බැලුවේ ඒ නිසායි. සොබා දහමේ නියමයට අනුව ස්ත්‍රියට පිරිමියාට වඩා ඉක්මනින් වියපත් පෙනුමක් ලැබෙනවා. ඒ නිසාම මිහිරි යුගදිවියක් සඳහා ඔහු ඇයට වඩා බොහෝ සෙයින් ළාබාල වීම බාධාවක් විය හැකියි.

ප්‍රේමය අන්ධ බව ඇත්තයි. ඒත් විවාහ ජීවිතයට අවශ්‍ය ගැළපීම් තීරණය කිරීමට බැරිතරම් අන්ධවීමෙන් සිදුවන්නේ ඉක්මන් දික්කසාදයකට ඉඩ තබා ගැනීමයි.

ගිය අවුරුද්දේ මහනුවර ප්‍රදේශයේ යුවළක් සයමසක දීගයක් දික්කසාදයකින් හමාර කරගෙන තිබුණා. තවත් මාස තුනකින් දික්කසාද සැමියා අලුත් විවාහයකුත් ගිවිසගත් ආරංචිය දික්කසාද තරුණියට ආරංචි වී තිබුණා. ඉන් සංවේගයට පත් වුණු ඇය සිත එකලස් කරගන්න විදිහක් අහන්න මට කතා කළා.

“අනේ සර්, එයාව මං හඳුනා ගත්තේ වැරැදිලා මගේ හෑන්ඩ්ෆෝන් එකට ආව මිස් කෝල් එකකිනුයි. ඒ වෙද්දී මං විද්‍යාපීඨ යන්න ඇෆ්ලිකේෂන් කෝල් කරනකල් මඟ බලාගෙනයි හිටියේ.

ඒත් ආමි එකේ වැඩකරන ඒ අයියා ටික දවසකින් මගේ පෙම්වතා වුණා. වැඩිකාලයක් ගියේ නැහැ අපි දෙන්නා තනිතීරණයට කසාද බැන්දා. ඒත් ඊට පස්සේ අපට අප අතරේ ඇති නොගැළපීම් පේන්න පටන් ගත්තා. සිතුම් පැතුම් අධ්‍යාපනය, සමාජ මට්ටම් මේ කිසිම දෙයක් ගැළපෙන්නේ නැහැ. දෙයියනේ මං මොකක්ද කරගත්තේ? මම මටම ශාප කරගත්තා. අන්තිමේදී අපි දික්කසාද වුණා. ඒත් සර්, පිරිමියකුට වඩා ගැහැනු කෙනෙකුට දික්කසාදයක් දරාගන්න අමාරුයි. මං දැන් දික්කසාද ජීවිතය විඳවනවා. එයා නම් අලුත් කසාද ජීවිතයකට හීන එකතු කරනවා.”

මේ දුව කියන කතාව බොහොම ඇත්තයි. පිරිමියකුට වඩා දික්කසාද තීරණයෙන් ගැහැනියකට දරාගන්න සිදුවන අලාභය වැඩියි. ඒ නිසාම අපේ ගැහැනු දරුවන් විවාහයට පෙර විවාහයේ පැවැත්මට අවශ්‍ය සාධක දෙදෙනා තුළම තිබෙන්නේදැයි යළි යළිත් සිතා බැලිය යුතුයි.

අපේ පාසල්වල දරුවන් අවුරුදු දහතුනක් පුරා ඉගෙන ගන්නවා. මේ අධ්‍යාපන ක්‍රමය විභාග ඉලක්ක කරගත්තාට ජීවිතය ඉලක්ක කරගන්නේ නැහැ. ඒ නිසා පාසලේදී විෂයමාලාව ඇතුළේ කොතැනකවත් විවාහයකදී සලකා බැලිය යුතු කාරණා ගැන ඉගැන්වෙන්නේ නැහැ. තවත් පසෙකින් වෙනදාට වඩා අද ප්‍රේමය සුලබයි. ජනප්‍රියයි.

මේ පසුබිමේදී දරුවන්ට විවාහයේදී සැලකිලිමවත් විය යුතු කාරණා ගැන කල්තබා අවබෝධකොට තැබීමේ වගකීම මාපියන්ට පැවරෙනවා.

පසුගිය අවුරුද්දේදී මං තරුණ දූලා පුතාලාගේ කසාද දහයකට ශාක්ෂි අත්සන් කළා. අද වෙද්දී ඒ කසාදවලින් අටක්ම කැඩිලා. මගේ අත්සනේ කිසිම වරදක් නැති බව මං හොඳහැටි දන්නවා. ආදරණීය දුවේ පුතේ, විවාහය විභාගයකට වඩා අසීරුයි. තීරණය වැරැදුණෝතින් පසුතැවීම ජීවිතය පුරාවටම ඉතිරි වෙනවා. විවාහ තීරණය ගන්නේ දවසකට දෙකකට නොවෙයි. ජීවිතය පුරාවටමයි.

ලස්සන මංගල උත්සවයක් වෙනුවෙන් හිත මොනතරම් වෙහෙසවනවාද? ඊට පෙර විවාහය වෙනුවෙන්කරන තොරාගැනීම මොනතරම් නිවැරැදිදැයි ආයෙමත් ආයෙමත් හිතා බලන්න. ඒ ඔබේ විවාහය අහඹුවක් නොව ඔබ ගන්නා බුද්ධිමත්ම තීරණය විය යුතු නිසායි.

 

 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

අත්තනායක එම්. හේරත්

තරුණීට පමණක්ම ලබාදෙන ජීවිතයට 

1178 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 04, සඳුදා 15:08
අදහස් එක් කිරීමට ලොග් වෙන්න