තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 සැප්තැම්බර් 18, සඳුදා 12:00

සාධාරණත්වයට ඉඩ සලසන ගුරු මාරුව.. විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
ගුරු නැතිනම් බ්‍රහස්පතී සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සුවිශේෂී ග්‍රහයෙකි. ගුරු ග්‍රහයා මඟින් අපේ ජීවිතවලට එල්ල කරන බලපෑම පිළිබඳ ඡ්‍යොතිෂයෙන් විග්‍රහ කළ හැකිය. උසස් සිතුවිලි, ධාර්මික බව ආදිය ලබා දෙන ග්‍රහයා ලෙසින් ද හැඳින්විය හැකිය. කාලයෙන් කාලයට ග්‍රහයන්ගේ ගමන් මාර්ගය අනුව අපට බලපාන සුබ අසුබ ද වෙනස් වේ.

 

ගුරු ග්‍රහයා පසුගිය 12 වැනි දින තුලා රාශියට ගමන් කළ අතර තුලාව යනු විශ්ව කේන්ද්‍රයේ හත්වැන්නයි. හත්වැන්න අධිපති වන්නේ විවාහ කාරක සිකුරු ග්‍රහයා බැවින් විවාහය, හවුල් කටයුතු, පවුල් ජීවිතය ආදිය ගැන මෙයින් කියැවේ. සිකුරුට අයත් ස්ථානයට ගුරු පැමිණීම හේතුවෙන් කාන්තාවන්ට වැඩි වශයෙන් බලපෑම් ඇතිවන බව පැවසිය හැකිය. ලංකා කේන්ද්‍රයේ ලග්නය කුම්භ වන නිසා එහි ගුරු පැමිණෙන්නේ 9 වැන්න වූ තුලාවටයි. එය යුක්තිය, ධාර්මික බව ගැන කියැවෙන ස්ථානය මෙන්ම භාග්‍යස්ථානය ලෙසින් ද හැඳින්විය හැකිය.

එබැවින් නීතිය අකුරට ම ක්‍රියාත්මක වන කාලයක් උදා වේ. රටක නීතිය, යුක්තිය රැකෙන විට එය කාන්තාවන්ගේ සුබසිද්ධියට හේතු වන බව අමුතුවෙන් කිව යුතු නැත. කාන්තාව යනු තම බලයෙන් හෝ බාහුවල බලයෙන් ක්‍රියාත්මක වන පිරිසක් නොවේ. ගෞරවය, රැකවරණය, ආරක්ෂාව, හැදියාව ඔවුනගේ හිත සුව පිණිස අවශ්‍ය වේ. ඒවා පාලනය කිරීම සඳහා මෙන්ම අයුක්තියට එරෙහිව නීතිය නිසි සේ ක්‍රියාත්මක වීම මඟින් කාන්තාවන්ට සුබදායක කාලයක් උදා වේ. පසුගිය කාලයේ කාන්තාවන්ට හා දරුවන්ට එරෙහි හිංසනයක් දැඩිව ක්‍රියාත්මක වූයේ ගුරු ග්‍රහයා අටවැන්නේ ගමන් කිරීම නිසයි. පොදු ප්‍රවාහන සේවා ඇතුළත සිදුවන කාන්තා හිංසන ආදිය මින් ඉදිරියට අවම විය හැකිය. ශිෂ්ටත්වය අගේ කරන මෙම ග්‍රහයා එයට පටහැනි වන්නන්ට නීතිය අකුරට ම ක්‍රියාත්මක කිරීමට බලපෑම් කරයි. මේ නිසා දරුවන්ටත් කාන්තාවන්ටත් මේ ග්‍රහයා සිටින වසරක කාලය සුබදායක බව කිව හැකිය.

ගුරු මාරුව එක් එක් ලග්නයට ඇති කරන බලපෑම් ද එකිනෙකට වෙනස් වේ. අපි ලග්නයට අනුව ගුරු මාරුව කෙසේ ඔබේ ජීවිතයට බලපෑම් කරන්නේදැයි බලමු.

මේෂ - මේෂ ලග්නයෙන් උපන් අයට මෙය සුබදායක කාලයකි. මොවුනගේ තුලාව වන්නේ කේන්ද්‍රයේ හත්වැන්නයි. එමෙන්ම ගුරු ග්‍රහයා මේෂ ලග්න හිමියන්ගේ 9වැන්නේ හා දොළොස්්වැන්නේ අධිපතිත්වය දරයි. මේ නිසා යහපත් සම්බන්ධතා ඇතිවීම, හවුල් කටයුතු සාර්ථක වීම, ප්‍රමාද වූ විවාහ කටයුතු සඳහා මෙන්ම රෝග සුවය, සතුරු කරදර ඉවත්වීම , විදෙස්ගත වීමට වාසනාව ලබා දෙයි. මේ අනුව ලෞකික සතුට මෙන්ම අධ්‍යාත්මික සුවය ද මේ කාලයේ දී ඔබට ගුරු ග්‍රහයා විසින් ලබා දෙන බව කිව යුතුය.

වෘෂභ- මෙහි තුලාව වන්නේ හයවැන්නයි. ගුරු හයවැන්නට සුබදායක නොවේ. කොලෙස්ටරෝල්, දියවැඩියා තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් තම සෞඛ්‍ය තත්ත්වය ගැන වඩාත් සැලකිලිමත් වන්න. ඔබගේ කේන්ද්‍රයේ අටවැන්න අධිපති වන්නේ ද ගුරු බැවින් සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩි අවධානයකින් කටයුතු කිරීම වැදගත් වේ.

මිථුන- ගුරු පැමිණියේ ඔබගේ පස්වැන්නටයි. මේ අනුව තරුණ අයට ප්‍රේම සබඳතා, විවාහකයන්ට දරුවන්, බාලයන්ට අධ්‍යාපනයෙන් හා විනෝදාත්මක කටයුතුවලින් ද සුබදායක ප්‍රතිඵල ලැබේ. රැකියා ස්ථානයේ පැවැති පීඩාකාරී තත්ත්වයන් ද ඉවත්ව යයි.

කටක- ඔබගේ කේන්ද්‍රයේ සිව්වැන්නට ගුරු පැමිණෙන අතර මෙම ස්ථානයේ දී ගුරු උච්චත්වයට පැමිණේ. එම නිසා මේ කාලය ඔබට සුබදායකය. පසුගිය කාලයේ දී තුන්වැන්නේ ගුරු ගමන් කිරීම නිසා බලාපොරොත්තු කඩවීම්, සිත් කලකිරීම්, සැලසුම් බිඳ වැටීම් පැවැති අතර දැන් එම තත්ත්වය පහව යයි. මින් ඉදිරියට ගෘහස්ථ කටයුතු සුබදායක වන අතර ඉදිරි සැලසුම් මනාව ක්‍රියාත්මක කළ හැකිය. රාහු ග්‍රහයා විසින් ඇතිකරන නොරිස්සුම් සහගත බව ද මේ ග්‍රහයෝගය මඟින් ඔබගෙන් දුරස්ථ කරයි.

සිංහ- ඔබට මේ ගුරු මාරුව එතරම් යහපත් බව පැවසිය නොහැකිය. එහෙත් උත්පත්ති කේන්ද්‍රයේ සුබදායක ලෙස ගුරු පිහිටා ඇත්නම් අසුබදායක බව ඉක්මවා එම සුබපල ලැබිය හැකිය. මූල්‍ය දුෂකරතා, රෝගාබාධ, තමාට අවශ්‍ය ඉලක්කයට යාමට නොහැකි වී වැඩකටයුතු අවුල් වන තත්ත්වයන් ඇති විය හැකිය. මේ නිසා ඉවසීමෙන් හා ආගමානුකූලව කටයුතුකර මේ තත්ත්වයන් මඟහරවා ගන්න.

කන්‍යා- ඔබට මෙම ගුරු මාරුව යහපත් ප්‍රතිඵල ලබා දේ. ඔබේ කේන්ද්‍රයේ තුලාව වන්නේ දෙවැන්නයි. දෙවැන්න ධනස්ථානයයි. එබැවින් ඔබගේ තැන්පත් ධනය ඉහළ යාම, ධනෝපායන මාර්ග වැඩි දියුණු වීම මෙන්ම පවුල් සංස්ථාව තුළ යහපත් තත්ත්වයක් ඇතිවීම මඟින් සුබදායක බවක් ජීවිතයට ළඟා වේ.

තුලා- තුලාවේ දී ගුරු තැන්පත් වේ. ස්ථාවර වේ. එසේවන්නේ තුලා ලග්නයේ කේන්ද්‍රස්ථානයට නැතහොත් ලග්නයට ගුරු පැමිණීම නිසයි. මෙහිදී ගුරු ඔබට සුබ තත්ත්වයක් ලබා නොදුන්න ද අසුබ තත්ත්වයක් ද ඇති නොකරයි. මානසික වෙහෙසකාරී බව ඉහළ යයි. වැඩ රාජකාරි අධික වේ. මෙතෙක් පැවැති විශාල පීඩාවක් ඉවත් වී යයි.

වෘශ්චික - ඔබට මෙම ගුරු මාරුව සුබදායක නොවන බව කිව යුතුයි. මේ කාලයේ දී ඔබගේ රැකියාව හෝ ආදායම් මාර්ගය රැක ගැනීමට වෙහෙස විය යුතුය. අය මාර්ග හා තැන්පත් ධනය නිස්කාරණේ වියහියදම් විය හැකි නිසා එය රැක ගැනීමට කල්පනාකාරීව කටයුතු කරන්න. මේ කාලයේ දී ධාර්මිකව හා ඉවසීමෙන් කටයුතු කිරීම වඩාත් සුදුසු ය.

 

ධනු- මෙය ඔබට වසර 12 කට පසුව පැමිණි ස්වර්ණමය අවස්ථාවකි. ලග්නාධිපති හා සිව්වැන්නාධිපති ගුරු එකොළොස්වැන්න වන අයස්ථානයේ ගමන් කරන්නේ නිවාස, ඉඩම්, යානවාහන ආදියෙහි ප්‍රගතියක් ලබා ගත හැකිය. මූල්‍ය ලාභ, නව රැකියා අවස්ථා ආදිය ලැබේ. ඉතාම සුබදායක කාලයකි.

මකර- තුන්වැන්න හා දොළොස්වැන්නාධිපති වන ගුරු ගමන් කරන්නේ දහවැන්න වන රැකියාස්ථානයේ ය. එමනිසා රැකියාවේ දුෂ්කරතා ඇති වේ. ස්ථාන මාරු ලැබිය හැකිය. මෙම කාලය විදෙස්ගත වී රැකියා කිරීමට සුබ කාලයකි.

කුම්භ- සමස්ත ගුරු මාරුවේ ලාභය හිමිවන්නේ ඔබටයි. දෙවැන්න වූ ධනස්ථානය හා එකොළොස්වැන්න වූ අයස්ථානය අධිපති ගමන් කරන්නේ නව වැන්න වූ භාග්‍යස්ථානයේ ය. අවුරුදු 12 කට පසුව වේගයෙන් නැඟී සිටිය හැකි කාලයකි. ධනය ලැබීම්, නව රැකියා ලාබ ආදිය ඇති විය හැකිය. විදෙස්ගත වීමට ද සුබ කාලයකි.

මීන- ලග්නාධිපති ගුරු ග්‍රහයා ඔබට මේ වසරේ දී එතරම් සුබපල ලබා නොදේ. රැකියාව ආශි‍්‍රතව යම් දුෂ්කරතා ඇති විය හැකි අතර ඉදිරි සැලසුම්වලට මඳක් අහිතකර වේ. එම නිසා ධාර්මිකව හා ඉවසීමෙන් කටයුතු කිරීමෙන් මේ තත්ත්වයන්ගෙන් සහනයක් ලබා ගැනීමට කටයුතු කරන්න.

 

 

උපදෙස් - ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී

 

කේ. සී. ජේ. රත්නායක

478 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 18, සඳුදා 12:01
අදහස් එක් කිරීමට ලොග් වෙන්න