තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 සැප්තැම්බර් 18, සඳුදා 14:36

කෑවට පස්සේ නො කළ යුතු දේ විශේෂාංග

ලිව්වේ  යශෝදා ඉන්දීවරී
අගයන්න
(0 මනාප)
කාලය මඳකම සමඟ ගෙවෙන අවිවේකී ජීවන රටා ඇතුළේ අපි කරන සමහර දේවල් සිදු කරන්නේ හැකි තරම් කාලය ඉතුරු කර ගැනීමේ අරමුණෙන්.

 

ප්‍රමාදයකින් තොරව රැකියා ස්ථානයට හෝ පාසලට හෝ යෑමේ අදහසින් බොහෝ දෙනෙක් කරන්නේ උදේ ආහාර වේල සමඟම උණු උණුවෙන් තේ කෝප්පයක් පානය කර කම්මැළිකම යන්නත් එක්ක ශීතල වතුරෙන් නාලා, ප්‍රමාදයක් නැතුව වැඩට දුවන එක යි. බැලූ බැල්මටම ඉතා අහිංසක සිද්ධි දාමයක් වගේ පෙනුනත් මේ මඟින් අපේ සිරුරට සිදුවන හානිය නම් බොහොම වැඩි යි. ඒ නිසාම අපි හිතුවා යහපත් සෞඛ්‍යයේ තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා ආහාර වේලකින් පසුව නොකළ යුතු දේවල් කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්නට.

 

ස්නානය කිරීම

නිරන්තරයෙන්ම තම සිරුර පිරිසුදුව තබා ගැනීම ඉතාමත් හොඳ දෙයක් වුණත් සිරුර පිරිසුදු කිරීමේ කාර්යය සඳහා තෝරා නොගත යුතු කාල සීමාවක් තමයි ආහාර වේලකින් පසු ගත වෙන මිනිත්තු 30 – 45 දක්වා වන කාල සීමාව. එයට හේතුව ආහාර වේලකින් පසුව ස්නානය කිරීමෙන් ආහාර ජීර්ණ ක්‍රියාවලිය අක්‍රමවත් කිරීම යි. ආහාර නිසි ලෙස ජීර්ණය වීම සඳහා සැලකිය යුතු මට්ටමේ ශක්ති ප්‍රමාණයක් වුවමනා වන අතරම, ඒ සඳහා ආමාශයට ප්‍රමාණවත් තරම් රුධිර සංසරණයක් ද පැවතිය යුතු යි. සාමාන්‍යයෙන් ස්නානය කිරීමෙන් පසු සිරුරේ උෂ්ණත්වය තරමක් පහළ යනවා. එය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා සමට ද මනා රුධිර සැපයුමක් අවැසි යි. එවිට සිදු වන්නේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි ලෙස සිදු නොවීම සහ පරිවෘත්තීය කටයුතුවල වේගය අඩාල වීම යි. මේ නිසා ආහාර වේලකට පෙර ස්නානය කිරීම සහ සැහැල්ලු ඇඳුමකින් සැරසීම වඩාත් සුදුසු වෙනවා.

 

තේ පානය කිරීම

ආහාර වේලකට පසුව තේ (හෝ කෝපි) පානය කිරීම ද එතරම් සෞඛ්‍යමත් පුරුද්දක් නෙමෙයි. එයට හේතුව තේ කොළවල අඩංගු වන අම්ල මඟින් ජීර්ණ ක්‍රියාවලිය සඳහා බලපෑම් එල්ල කිරීම යි. තේ මඟින් ආහාරවල අඩංගු ප්‍රෝටීන් සංඝටක දැඩි කිරීම මගින් ඒවා ජීර්ණය වීම අපහසු කරනවා පමණක් නොව යකඩ සිරුරට උරා ගැනීමටත් බාධා සිදු කරනවා. මේ නිසා ආහාර වේලක් අවසානයේ තේ කෝප්පයක් රස විඳීමට නම් ඒ සඳහා පැයක පමණ කාලයක් ඉවසා සිටීම නුවණට හුරු යි. එසේ ම ආහාර වේලකින් පසුව තේ පානය කිරීමෙන් වැළකීමට කුඩා දරුවන්, ගැබිනි මවුවරුන් සහ යකඩ ඌනතාවයෙන් පෙළෙන පුද්ගලයන් විශේෂයෙන් ම වග බලා ගත යුතු යි.

 

නින්දට යාම

රසවත් ආහාර වේලකින් පස්සේ නිදිමතක් දැනෙන එක හැමෝටම පොදු දෙයක් වුණත් සුවදායක සිරුරක් ලබා ගන්නට නම් ඒ සඳහා අඩු තරමේ පැය දෙකක කාලයක්වත් ඉවසිය යුතු යි. ආහාර වේලකින් පසුව තිරස් ඉරියව්වක සිටීම ආහාර ජීරණ ක්‍රියාවලිය ප්‍රමාද කරන අතර ම බඩ පුරවා දැමීමට මෙන් ම පපුවේ වේදනාවන් ඇති කිරීමට ද හේතු වෙනවා. මේ නිසා ආහාර වේලකින් පසුව කෙටි දුරක් සෙමින් ඇවිදීම හෝ ආහාර බඳුන් පිරිසුදු කිරීම වැනි සරල ක්‍රියාවන්හි නිරත වීම මඟින් නිදිමත නැති කර ගැනීම පමණක් නොව නිදා ගැනීම නිසා ඇති විය හැකි හෘද රෝග අවදානම ද අඩු කර ගත හැකි යි.

ව්‍යායාම කිරීම

නීරෝගි සිරුරක් පවත්වාගෙන යාම සඳහා ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය වුවත් ඒ සඳහා සුදුසුම අවස්ථාව එළැඹෙන්නේ ආහාර වේලක් අවසානයේ නම් නෙමෙයි. ආහාර වේලක් අවසානයේ ව්‍යායාම කිරීම නිසා ආමාශයේ වේදනාවන් සහ කෙණ්ඩා පෙරළීම් ඇති වීමට හේතු වෙනවා. මේ නිසා ව්‍යායාම කිරීම පැය දෙකක පමණ කාලයකින්වත් කල් දැමිය යුතු යි. එසේම රාත්‍රී ආහාරයෙන් පසුව ව්‍යායාම සිදු කිරීම මෙලටෝනින් (නින්ද ක්‍රමවත් කිරීමට උපකාරී වන හෝමෝනයක්) නිකුත් කිරීමේ ක්‍රි‍යාවලියට බාධා පමුණුවනවා. එහි ප්‍රතිඵලය වන්නේ රාත්‍රියේ නින්ද යාමේ හැකියාව අඩපණ වීම යි.

 

දුම් පානය කිරීම

දුම් පානය කිරීම කොහොමත් සිරුරට හිතකර පුරුද්දක් නෙමෙයි. එවැනි තත්ත්වයක් යටතේ ආහාර වේලක් අවසානයේ දුම් පානය කිරීම සිරුරට ඉතාමත් අනර්ථදායක යි. මේ නිසා දුම් පානයට ඇබ්බැහි වූ අයෙක් වුවත් ආහාර වේලක් රස විඳීමෙන් පසුව දුම් පානය කරන්න අවශ්‍ය නම් ඒ නිසා මිනිත්තු 20 ක්වත් ඉවසා සිටීම නුවණට හුරු යි.

ආහාර ජීර්ණ ක්‍රියාවලිය සඳහා සිරුරේ ඇති පද්ධතීන් සියල්ලක්ම පාහේ දායක වෙනවා. එවැනි විටෙක දී නිකොටින් මුසු වූ වාතය ආඝ්‍රාණ කිරීමෙන් සිදු වන්නේ ශ්වසන පද්ධතියේ කාර්යයන් දෙගුණකින් ඉහළ යාම යි. එවිට අවැසි වන ශක්ති ප්‍රමාණය ද ඉහළ යනවා. මීට අමතර ව ආහාරවල ඇති විටමින් සහ ඛනිජ (විශේෂයෙන් ම විටමින් සී, ඩී සහ කැල්සියම්) උරාගැනීම සඳහා දුම්කොළවලට හැකියාවක් පවතිනවා. ඒ නිසා ආහාර වේලක් අවසානයේ දුම් පානය කිරීමෙන් සිදු වන්නේ ඉතාමත් සෞඛ්‍යදායක ආහාර වේලක් පවා නිකරුණේ අපතේ යාම යි.

 

පලතුරු ආහාරයට ගැනීම

ආහාර වේලක් අවසානයේ අතුරුපස විදියට පලතුරු ආහාරයට ගැනීමට බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. නමුත් එය එතරම් හොඳ පුරුද්දක් නෙමෙයි. එයට හේතුව එවිට පලතුරු නිසි ලෙස ජීර්ණය නොවීම යි. ඒ නිසා ආහාර අනුභව කිරීමෙන් අඩු තරමේ පැයකට පමණ පසුව පලතුරු ආහාරයට ගැනීම වඩාත් සුදුසු යි.

සාමාන්‍යයෙන් අප ගන්නා ආහාර අතරෙන් වැඩිම වේගයකින් ජීර්ණය වන්නේ පලතුරු යි. කෙසෙල් සහ රටඉඳී හැරුණු විට අනෙකුත් පලතුරු සෑම එකක් ම පාහේ ජීර්ණය වී කුඩා අන්ත්‍රය කරා ගමන් කිරීමට ගත වන්නේ මිනිත්තු 20 ක් පමණ යි. මේ නිසා ආහාර වේලකින් පසුව පලතුරු ගැනීමෙන් ඒවා පමණ ඉක්මවා ජීර්ණය වීමට සහ ආමාශය තුළදීම නරක් වීම සිදු වෙනවා.

 

අන්තර්ජාලය ඇසුරිනි

770 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 18, සඳුදා 14:38
අදහස් එක් කිරීමට ලොග් වෙන්න