තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 සැප්තැම්බර් 26, අඟහරුවාදා 11:07

දෑතේ සුන්දරත්වය ඔප් නංවන නිය ආලේපන විශේෂාංග

ලිව්වේ  යශෝදා ඉන්දීවරී
අගයන්න
(0 මනාප)
නිය ආලේපන භාවිත කරන්නේ නියපොතුවල ආරක්ෂාවට සහ ආකර්ෂණීය බව වැඩි කරගන්නයි. අද වන විට ඕනෑම වර්ණයක නිය ආලේපනයක් මිලට ගත හැකි තරමට මේවායේ වර්ණ පරාසය ඉහළයි.

 

 

හැඩට වැඩට ඉන්න කැමැති කාන්තාවන්ට නැතුවම බැරි මේ නිය ආලේපනවල ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3000ටත් එහා ඈත අතීතයට දිවෙනවා. මුලින්ම නිය ආලේපන භාවිත කරලා තියෙන්නෙ ඊජිප්තුවේ සහ චීනයේ දී යි. බිත්තර සුදු මදය, මී ඉටි, ඇකේෂියා ගසේ ලාටු සහ සත්ත්ව ලාටු එක්කර සාදා ගත් මිශ්‍රණයක් අතීත චීනයේ නිය ආලේපනයක් ලෙස භාවිත කළා. මීට අමතරව ඕකිඩ් සහ රෝස මල්පෙති ඇලම් නම් ද්‍රාවණය සමඟ මිශ්‍ර කරලත් නිය මත ආලේප කරලා තියෙනවා. චීනයේ “චෝවු” රාජවාංශික කාන්තාවන් රන් සහ රිදී වර්ණ තම නිය ආලේපන ලෙස යොදාගත් බවටත් වාර්තා වෙනවා. රාජකීයයන් වැඩිපුරම භාවිත කරලා තියෙන්නෙ රතු සහ කළු වර්ණ.

අද ඔබ පාවිච්චි කරන නිය ආලේපන වාහනවල ආලේප කරන තීන්ත(car paint) වල අතුරුඵලයක්. ප්‍රංශ ජාතික රූපලාවණ්‍ය ශිල්පිනියක් වුණු මිෂෙල් මෙනාඩ් car paint නිපදවන ක්‍රමයටම නිය ආලේපනයක් නිර්මාණය කළ හැකිදැයි මුල්වරට අත්හදා බැලුවා. 1932 දී රූපලාවණ්‍යාගාරවල පමණක් විකුණන්නට තිබුණු නිය ආලේපන 1937 දී සාමාන්‍ය වෙළෙඳපොළත් ආක්‍රමණය කළා.

නිය ආලේපනවල අඩංගු ප්‍රධාන සංඝටකය වෙන්නේ “නයිට්‍රො සෙලියුලෝස්”. මෙය “බියුට්‍රයිල් ඇසිටේට්” සහ “ඊතයිල් ඇසිටේට්” ද්‍රාණවල දියවෙනවා. නිය ආලේපන නිෂ්පාදනයට යොදාගන්නා සංඝටක මිශ්‍රණය ව්‍යාපාරික රහසක්. ලේබලයේ ඒ සංයෝගවල නම් සඳහන් වුණාට ඒවායේ ප්‍රතිශතයන් කිසි දිනෙක ප්‍රසිද්ධ කරන්නෙ නැහැ.

නිය ආලේපන ඉවත් කරන nail polish remover වල අඩංගු වෙන්නෙ ඇසිටෝන්, ඊතයිල් ඇසිටේට් සහ ඇල්කොහොල් සංයෝග. Nail polish remover  බඳුනක් විවෘත කිරීමේ දී නිකුත් වන සැර ගන්ධය නිසා එය පාවිච්චියෙන් අතුරු ආබාධ තියෙනවා ද කියලා ඔබටත් හිතිලා ඇති. ඒත් ඇත්තටම එහෙම වෙන්නෙ නැහැ.

මෙහි ඇති ඇසිටෝන් විස සහිතයි කියලා ඇතැමුන් හිතන නිසා මීට වසර 15කට විතර කලින් ඇසිටෝන් රහිත remover  වර්ගයක් හඳුන්වා දුන්නා. තවමත් සැකයක් තියෙනවා නම් ඔබට සෝයා සහ ඉරිඟු යොදාගෙන සකස් කළ ස්වාභාවික remover  වර්ගයක් භාවිත කළ හැකියි. ඒත් මෙයින් නිය ආලේපන ඉවත් කිරීමට ගතවන කාලය සාපේක්ෂව ඉහළයි.

nail polish remover  භාවිතයේ දී ඔබ අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. පහසුවෙන් ගිනි ඇවිලෙනසුලු නිසා අධික උණුසුම ඇති ස්ථානවලින් මේවා ඉවත් කර තැබිය යුතුයි. නාසයට ළංකර ආඝ්‍රාණය කිරීමත්, ඇස්වලට ළං කිරීමත් නොකළ යුතුයි. මොනයම් විදියකින් හරි නිය ආලේපන හෝ Nail polish remover  ගිලුණොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි. පුංචි දරුවන්ගෙන් මේ දේවල් ඈත් කර තැබීම තමයි සුදුසුම දේ.

මේවායින් නිය ආලේපන ඉවත් කළාට පස්සේ නියපොතු වියළි ස්වභාවයකට පත් වෙන නිසා සාමාන්‍යයෙන් දnail polish remover වල විටමින් E, ලැවැන්ඩර් හෝ තේ දල්ලේ සාරය වගේ තෙතමනය රැකදෙන ද්‍රව්‍යද අඩංගු කරලා තියෙනවා. ඔබ නිතර නිතර නිය ආලේපන ගල්වන කෙනෙක් නම් වැඩි ආරක්ෂාවට nail polish remover  භාවිතයෙන් පසු නියෙහි ආලේප කරන ක්‍රීම් වර්ගයක් හෝ තෙල් වර්ගයක් (ඔලිව් තෙල් වඩාත් සුදුසුයි) ගැල්විය හැකියි.

නිය ආලේපන ඉවත් කිරීමේ දී nail removal වලින් පොඟවා ගත් පිරිසුදු කපු පුළුන් කඩක් තත්පර කිහිපයක් නිය මත තබාගෙන හිඳීමෙන් පහසුවෙන් නියපොතු පිරිසුදු කර ගත හැකියි. මෙම ඉවත් කිරීම නියපොත්තෙන් ඉවතට සිදු කළ යුතු අතර කිහිප වරක් nail polish remover  යොදා පිසදමනවාට වඩා එක්වරම එය ඉවත් කිරීම වඩාත් හිතකරයි.

මෙහදී නියපොතුවල නිරෝගී භාවය ගැන වගේම නිය වර්ණ ගැන්වීමට වැය කළ හැකි කාලය ගැනත් සැලකිලිමත් විය යුතුයි. දුර්වල, ඉක්මණින් කැඩී යන නියපොතු සඳහා ඒවා ශක්තිමත් කළ හැකි සහ වර්ධනයට උපකාර වෙන නිය ආලේපන වර්ග තියෙනවා.

නිය ආලේපනයක් ගැල්වීමෙන් පසුව නියපොත්ත බාහිර පරිසරය සමඟ තියෙන ගනුදෙනු අඩාල වෙන නිසා නියපොතුවලට ලැබෙන ඔක්සිජන් සැපයුමත් නවතිනවා. මේ නිසා දවස් හතරකට හෝ පහකට වඩා නිය ආලේපන ගල්වාගෙන සිටීම සුදුසු නැහැ. අඩුම ගණනේ දින දෙකක්වත් නියපොතු කිසිදු නිය ආලේපනයකින් තොරව නිදහසේ තැබිය යුතුයි.

අන්තර්ජාලය ඇසුරිනි

 

 

 

722 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 26, අඟහරුවාදා 11:09
අදහස් එක් කිරීමට ලොග් වෙන්න