තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 සැප්තැම්බර් 26, අඟහරුවාදා 11:15

විවාහ නැකත අතපසු වුණොත්? විශේෂාංග

ලිව්වේ  පමිතා කුමාරි ගුණතිලක
අගයන්න
(0 මනාප)
ඡ්‍යොතිර් විද්‍යාවට අයත් තවත් සුවිශේෂී අංගයක් නම් මුහුර්ත ශාස්ත්‍රය හෙවත් නැකැත් සෑදීමයි. නැකත ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්ත සාර්ථකවීමට සකසන ලදී. ඒත් ඊට පරිබාහිර කටයුතුවලටද පසුකාලීනව නැකැත් සැදීම කෙරුණි. ඡ්‍යොතිෂය විශ්වාස නොකරන අය පවා විවාහ කටයුතුවලදී නැකැත් බලති.

 

නැකතින් සියල්ල සිදුවන බව හෝ බාධාවන් අපල නැකතින් වැළකෙන බව හෝ ඡ්‍යොතිෂයේ කියා නැත. සුබ මුහුර්ථය යනු ධාවන තරගයකදී ධාවකයාට දෙන ග්ලූකෝස් පානයක් වැනි අතිරේක උත්තේජකයක් පමණි.

නැකැතකින් පටන් ගන්නා සියල්ල සාර්ථක වන්නේ ද නැත. නැකැත් නැතිව කරන සියල්ල අසාර්ථක වන්නේ ද නැත. එසේ නම් නැකැතක ඇති වටිනාකම කුමක්ද? මලළ ක්‍රීඩා තරගයකට පෙර ග්ලූකෝස් ලබාගන්නා හැම දෙනාම තරග නොදිනන අතර ග්ලූකෝස් නොගෙන තරග කරන අය පැරදෙන බවට න්‍යායක් ද නැති සේය.

ඒත් ග්ලූකෝස් සහ ධාවකයකුගේ තරග ජයග්‍රහණ අතර යම් අන්තර් සම්බන්ධයක් ඇත.

උපතින් බලවත් ග්‍රහයෝග ඇති අයෙකු අසුබ වෙලාවක වැඩක් ඇරඹුව ද අසාර්ථක වන්නේ කලාතුරකිනි. එසේම උපතින්ම අසුබ ග්‍රහයෝග ඇත්තකු ඉතා සුබ නැකැතකට වැඩක් ඇරඹුවත් උප්පත්ති ග්‍රහබලත් අදාළ අවස්ථාවේ ගතවන මහ දසා අතුරු දසා වැනි ග්‍රහ ගෝචර අනුවත් උක්ත කටයුත්ත අපේක්ෂිත තරම් සාර්ථක නොවීමට ඉඩ ඇත. නමුත් කේන්ද්‍රයක සුබපල වර්ධනයට හා අසුබ පල අවම වීමට සුබ නැකැත් භාවිත කරයි.

විවාහය යනු ජීවිතයේ සුවිශේෂීම අවස්ථාව නිසා විවාහ නැකැත්වලට විශේෂ වටිනාකමක් ඇත.

විවාහ දිවියට අදාළ නැති තෙල් වළං ළිප තැබීමට පවා සාමාන්‍ය ජනයා සුබ නැකැත් ඉල්ලන්නේ අනාගත යුවතිපතින්ගේ ජීවිත සාර්ථකවීමට ඡ්‍යොතිෂයෙන් ලද උපරිම පිටුබලය ලැබීමේ චේතනාවෙනි.

තත්ත්වය එසේ තිබියදී මංගල දිනට අදාළ පෝරුවේ චාරිත්‍ර දෙපාර්ශ්වයෙන් එක් පාර්ශ්වයකට මුහුණදීමට වෙන අනතුරක්, මාර්ග තදබදයක් වැනි අනපේක්ෂිත ගැටලුවක් නිසා හෝ නැකතේ බලපෑම කෙසේ වෙතත් අදාළ චාරිත්‍ර පමාවීම හේතුවෙන් නව යුවළ සේම ඥාතීන් ද අවිඥානික මනසට රිංගවන සෘණාත්මක අදහස් නිසා අනාගත යුගදිවියට විය හැකි අහිතකර බලපෑම සුළු පටු නැත.

මනෝ විද්‍යාව ගැන අංශුමාත්‍ර දැනුමක් ඇති අයෙකුවුව මා කියන දේ වැටහෙනු ඇත. එවැනි අනපේක්ෂිත බාධා මගහැරීම කල් තබා කළ නොහැක.

මීට විකල්ප කිහිපයකි. මාර්ග තදබද නොවීමට කල් ඇතිව කල් වේලා ඇතිව පිටත් වීමට නැකැත් සෑදිය යුතුය. එසේම විවාහ වීමට පංචාංග ශුද්ධිය ඇති බ්‍රහස්පතින්දාවක් යොදා ගැනීමයි. ඊට හේතුවක් ඇත.

පංචාංග ශුද්ධිය ඇති බ්‍රහස්පතින්දාවක දවල් 12.00 දක්වා තදබල අසුබ හෝරා නැත. විශේෂයෙන් ඉර උදාව උදේ හය සේ සැලකුවොත් උදේ 9 සිට 12 තෙක් කාලය තුළ බලපවත් වන්නේ බුධ, සඳු, සිකුරු යන සුබ ග්‍රහයන්ගේ කාල හෝරාවන්ය. එවැනි කාලහෝරාවක අදාළ සුබ මුහුර්ථය තරමක් ප්‍රමාද වීම ඉතා බරපතළ ගැටලු ඇති නොකරයි. සුබ ග්‍රහ කාල හෝරාවල යෙදෙන විෂ පංචමයන් ද අසුබ ග්‍රහ කාල හෝරාවල යෙදෙන විෂ පංචම සේ තද අසුබ ඇති නොකරන බව මගේ මතයයි. අනෙක් අතට බ්‍රහස්පතින්දාවක බොහෝ විට 10 - 12 අතර හෝ ඊට ආසන්න කාලපරාසවල කෝටියක් දෝෂ භංගකරමින් තත්කාල කේන්ද්‍රයේ රවි 11 භාවයේ පිහිටයි. එවැනි වේලාවක යම් හේතුවකින් සුබ මුහුර්ථය මගහැරි චාරිත්‍ර විෂ පංචමයකට වැටුණත් ඇතිවන දෝෂ බොහෝ භංග වේ.

බොහෝ විට එම ප්‍රමාදවීමකින් වෙනස් විය හැක්කේ අදාළ නැකතට ගනු ලබන කාල හෝරාව හෝ පංචම හෝරාව පමණි. නැකත තිථිය හෝ යෝගය කරණය වැනි පංචාංග ශුද්ධියට අදාළ සාධක එතරම් ඉක්මණින් වෙනස් නොවන නිසා අනවශ්‍ය කලබලවීම් කළ යුතු නැත.

ඒත් ඉතා බරපතළ නොගැලපීම් ඇති කේන්දර හිමියන් අතර සිදුවන ඡ්‍යොතිෂයට අනුකූලව නොගැලපෙන විවාහයක් නම් උදාහරණයක් සේ එක් කේන්ද්‍රයක කුජ දොස යෙදී අනෙක් කේන්දරයෙන් එම දෝෂය භංගවී නැති අවස්ථාවක් ගත හැකිය. එවැනි විවාහ කළ යුතු වන්නේ ඉතා බලවත් සුබ නැකතකින් පමණි.

එවැනි විවාහ අවස්ථාවක මෙලෙස නැකැත් පමාවක් වූ විට විවාහය වෙනත් දිනකට කල් දැමීම යෝග්‍යය. එසේ කිරීම ද බරපතළ ගැටලුවකි. උත්සව ශාලාවට හා අනිත් විශාල වියදම් අපතේ යයි.

ඒත් අසුබ වෙලාවක අසුබ විවාහයක් කිරීමෙන් දික්කසාද වීමට යන වියදම ජීවිතවලින් ගෙවන වන්දියට වඩා අදාළ අපතේ යන මුදල අඩු අගයක් ගනී.

තවත් යමක් කීවොත් මෙවැනි අසුබ කේන්දර විවාහ නැකැත් ප්‍රමාදයක් අසුබ පෙර නිමිත්තක් සේ සැලකීම තුළ යම් ඇත්තක් ද තිබිය හැක.

මා දන්නා එක් මිතුරියකුගේ විවාහයෙන් පසු කෙටි කලකදීම මංගල ඡායාරූපයේ වීදුරුව හරි මැදින් පුපුරා ගිය අතර එසේම ඒ විවාහය ද කෙටි කලකට සීමා විය. එය නොකළ යුතු විවාහයක් සේ ඡ්‍යොතිර්වේදීන් නම් කළ එකකි. ඒත් මෙය සැම විටම අදාළ නැත. නිදසුනක් සේ මාවන් අතපත්තුගේ පළමු ඉනිම් 4 ම ලකුණු 0 විය. එහෙත් ඔහු පසුව ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු විය.

නිමිති හැම විටම වත්මන් හෝ අනාගත සිද්ධියක් සංකේතාත්මකව පැහැදිලි කරන්නකි.

කාල් යූත් හා සිග්මන් ෆ්‍රොයිඩ් යනු ඉතා සමීප මිතුරන්ය. දෙන්නාම මනෝ විද්‍යාඥයෝය. මේ දෙන්නා අතරට ආ කාන්තාවක් නිසා දෙන්නා විරසක විය. යළි මිතුරන් නොවන පිණිස සමු ගත්හ.

ඒ මොහොතේ ඔවුන් සිටි ගොඩනැගිල්ලේ බාල්කය මැදින් ම කැඩී ගියේය. මෙය සත්‍යයකි. “ඩේන්ජරස් මෙතඩ්” නම් චිත්‍රපටය මේ සිදුවීම ගැන කෙරුණි. බාහිර පරිසරයේ සිදුවීමක් හා අප දිවියේ වත්මන් අනාගත සිදුවීමක් අතර අන්තර් සම්බන්ධයක් තිබිය හැකි බව කාල් යූත් කියයි. එය ඔහු හැඳින්වූයේ සමක්ෂණපාතීත්වය යනුවෙන්ය.

විවාහය හෝ අන් සුබ දෙයකට පිටත් වනවිට අසුබ නිමිත්තක් මුණගැසුන විට ද්වේෂ නොවිය යුතුය. එය වෙස්වලාගත් ආශිර්වාදයකි.

අසුබ බව තේරුම් ගෙන අයහපත් තත්ත්වය මගහැරීමට පියවර ගැනීම විනා කරන දේ කල් දැමීම හෝ අසුබ නිමිත්තට දොස් කීම බුද්ධිගෝචර නොවේ.

 

 

ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී ආධ්‍යාත්ම උපදේශක ඉන්දික තොටවත්ත විසිනි.

 

 

 

720 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 26, අඟහරුවාදා 11:17
අදහස් එක් කිරීමට ලොග් වෙන්න