තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 ඔක්තෝබර් 03, අඟහරුවාදා 10:41

හදවත විශාල වීම හෘද අකර්මණ්‍යතාවට හේතුවක් විශේෂාංග

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
අගයන්න
(0 මනාප)
හදවත ආදරයේදී විශාල වෙන්න ඕන. එහෙත් ශරීර සෞඛ්‍යයට නම් අත මිට මෙළ වූ ප්‍රමාණයට වඩා විශාල වීම නම් කොහෙත්ම සුදුසු නැත. ඒ ඉන්පසු අපට ජීවත්වීම ද අසීරු නිසයි. හදවත අපට හුස්ම ගෙන පොළොවේ පය ගසා ජීවත්වීමට කරන්නේ සුළුපටු මෙහෙයක් නොවේ.

 

ශරීරය පුරා සියලුම අවයවවලට ඔක්සිජන් ලැබෙන්නේ හදවත ක්‍රියාත්මක වූ විටය. මොළයේ සෛලවලට මිනිත්තු 3 ක් ඔක්සිජන් නොලැබුණොත් මොළයේ සෛල මිය යාමට ගනී. සිරුරට පෝෂක සැපයීම තවත් වැදගත් කාර්යයකි. මේ පෝෂක අතරේ සීනි, මේදය, විටමින්, ඛනිජ ලවණ, ප්‍රෝටීන යන සියල්ල අන්තර්ගතය.

රෝගවලින් ආරක්ෂාවීමට අවශ්‍ය රසායන, හෝර්මෝන ප්‍රවාහනය වගේම ශරීර උෂ්ණත්ව පාලනයට ද හදවතේ ක්‍රියාකාරිත්වය උපකාරීවේ. මේ සියල්ල හොඳින් සිදුවීමට හදවතේ ප්‍රමාණය නෙවෙනස්ව තිබිය යුතුය. හෘද ස්පන්දනය ද හොඳින් සිදුවිය යුතුය.

විවිධ රෝග තත්ත්වවලදී අපේ හදවත විශාල වේ. හදවත විශාලවීමත් සමඟ හැකිළීමේ හැකියාව අඩුවේ. හදවත හැකිළීමේ වේගය අඩුවීම හදවත විශාලවීමත් සමඟ අත්වැල් බැඳගත්

ලක්ෂණයකි. මෙහි අවසාන ප්‍රතිඵලය හෘද අකර්මණ්‍යතාවයයි. (හාට් ෆේලියර්). ඊට අමතරව හෘද ස්පන්දන රිද්මය අසාමාන්‍යවීමට, හෘද නාල ගැටලු ඇතිවීමට, ක්ෂණිකව හදවත මරණයට පත්වීමට මේ තත්ත්වය හේතුවේ.

කරුණු ගණනාවක් නිසාම අපේ හදවත විශාල වේ. එක් හේතුවක් වන්නේ හෘදයාබාධයක් සෑදී හදවතේ කොටසක් විනාශවීමයි.

හෘදයාබාධයක් නොවැලඳුණු අයකුට වුවත් කිරීටක ධමනි ඔස්සේ හෘදයට සැපයෙන රුධිර සැපයුම තදබල ලෙස අඩාල වුණු විට ද හෘද පේශී ඉදිමී හදවත විශාල වේ.

අධික රුධිර පීඩනය සැලකෙන්නේ නිහඬ මාරයකු ලෙසයි. ඒ බොහෝ දෙනෙක් තමන්ට මේ රෝග ලක්ෂණය ඇති බව නොදන්නා නිසයි. රුධිර පීඩනය මඟින් හදවත පොම්ප කරන රුධිර ප්‍රමාණයත්, රුධිරය නහර තුළින් නිදහසේ ගලා යනවා ද, පීඩනයක් යටතේ ගලා යනවා ද නැද්ද යන වගත් මින් තීරණය කළ හැකිය. රුධිරය හදවතින් වැඩිපුර පොම්ප කරන විට හෘද නහරවල පීඩනය වැඩිවේ.

රුධිරයේ පීඩනය ඉතා ඉහළම තත්ත්වයක තිබියදී පවා කිසිදු රෝග ලකුණක් දැනගැනීමට නොහැකිවීම අධි රුධිර පීඩනයේ ඇති භායනකකම වුවත් ඇතැමුන්ට රෝග ලක්ෂණ ඇතිවේ.

හිසරදය, හුස්ම ගැනීමේ ඇසීරුතාව, නාසයෙන් රුධිරය ගැලීම වැනි ලකුණු ඇතැම් විට රුධිර පීඩනය අධිකව පවතින බවට ඉඟියක් විය හැකිය.

වයස, කළු සමක් ඇතිව ඉපදීම, පවුලේ කිසිවකුට හෝ රෝගය තිබීම, ස්ථුල වීම, ව්‍යායාම නොකිරීම, ලුණු අධික ආහාර ගැනීම, පොටෑසියම් අඩු ආහාර ගැනීම, විටමින් ‘ඩී’ ඌනතාව, අධික ලෙස මත්පැන් පානය කිිරීම, ආතතිය, වකුගඩු රෝග, දියවැඩියාව ආදී දිගින් දිගට පවතින තත්ත්ව ද අධි රුධිර පීඩනයට හේතුවේ. ඇතැම් විට ගර්භණීභාවය ආශ්‍රිතව ද අධික රුධිර පීඩනය පවතී. තමන්ට අධික රුධිර පීඩනය තිබෙනවාදැයි කියා කෙනකු විමසිලිමත් විය යුත්තේ වයස අවුරුදු විස්සක් වැනි තරුණ වයසේ සිටය.හෘදයේ කපාටවල ඇතිවන දුර්වලතා ද හෘදයේ මාංශ පේශීන් ඉදිමී හෘදය විශාලවීමට බලපායි. විවිධ වෛරස් ආසාදන ද හෘදයේ මාංශ පේශි දුර්වල වී හෘදය ඉදිමී අකර්මණ්‍ය වීමට මුල පුරයි. හෘදයේ කපාට ඇරීම සහ වැසීම කාලයක් පුරා හොඳින් ඇරෙන්නේ සහ වැසෙන්නේ නැතිවීම තවත් හේතුවකි. මෙවිට ද හෘදය විශාල වී අකර්මණ්‍ය වේ.

හදවතේ සිදුරු ඇති අය සැත්කමක් මඟින් එම තත්ත්වයට ප්‍රතිකාර නොකෙරුණු විට ද හෘදය ඉදිමේ.

අධික ලෙස මත්පැන් පානය හදවතට පරම සතුරු ක්‍රියාවකි. අධික මත්පැන් නිසා හෘද පේශි ඉදිමේ. එවිට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවේ. දෙපා ඉදිමීම, පාද ඉදිමීම, වළලුකර ඉදිමීම, වෙහෙස, ශාරීරික දුබල බව, කරකැවිල්ල, ක්ලාන්තය, කෑම අරුචිය, සිත එකඟ කර ගැනීමට අසීරු වීම, නාඩි වැටීම වේගවත් වීම, රෝස පැහැති සෙම සමඟ කැස්ස, මුත්‍රා පිටවීමේ වෙනසක් සිදුවීම වැනි ලකුණු අධික ලෙස මත්පැන් පානය කරන්නකුට ඇතිවන්නේ නම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්ය.

හෘද මාංස පේශීන්වල යකඩ වැඩිපුර තැන්පත්වීම (හිමොක්‍රොමැටොසින්) මඟ පාදන්නේ හෘදය විශාල වීමටයි. මෙය පරම්පරාගතව ද උරුම විය හැකි තත්ත්වයකි. මෙවිට බොහෝ විට රෝග ලකුණු ඇති වන්නේ ද නැත. සන්ධි වේදනාව, උදර වේදනාව, වෙහෙස, දුබල බව වැනි ලකුණු ඇතමුන්ට ඇතිවේ.

 

 

හෘද් මාංසපේශි ඉදිමී හෘදය විශාල වීම පරපුරේ උරුමයක් වන අවස්ථා ද දැකිය හැකිය. අඩු වයසකදී මේ තත්ත්වයට ගොදුරු වූ (එනම් වයස අවුරුදු විසි ගණන්වලදී රෝගය වැලඳුණු) අයගේ දරුවන්ට ද ජාන මඟින් රෝගය උරුමවීමට පුළුවන. ජානමය තත්ත්වය නිසා හෘදය වස්තුවේ මාංශ පේශී තුනී වී, දුර්වල වී විශාලවේ. මෙය ෆැමීලියල් කාඩියෝමයෝපති ලෙස වෛද්‍ය විද්‍යාවේ හඳුන්වයි.

සම්බන්ධක පටක ආශ්‍රිත අක්‍රමිකතා, අසාමාන්‍ය ප්‍රෝටීනයක් වන ඇමිලොයිඩ් අවයවවල එකරැස්වීම වැනි හේතූන් ද මේ කෙරෙහි බලපායි. අසාමාන්‍ය ලෙස අවයව ආශ්‍රිතව ප්‍රෝටීන එක් රැස්වීම නිසා පාද, වළලුකර ඉදිමීම, තදබල වෙහෙස, හුස්ම ගැනිමේ අපහසුතා, අත් පාවල හිරිවැටීම, විශේෂයෙන් මැණික් කටුවේ වේදනාව (කාපල් ටනල් සින්ඩ්‍රෝම්) ඩයරියා හෝ මලබද්ධය, බර අඩු වීම, දිව විශාල වීම, සමේ ඇස් වටා වෙනස් ස්වභාවයක් ඇති වීම, අක්‍රමවත් හද ගැස්ම, ගිලීමේ දුෂ්කරතා වැනි ලකුණු සමහරුන්ට හට ගනී.

ඉතා කලාතුරකින් ගර්භණීභාවය ආශ්‍රිතව ද රෝග ලකුණු ඇතිවීමට පුළුවන. ගර්භණීභාවයේ මුල් සමයේදී හෝ දරුවා බිහි කළ වහාම මෙසේ සිදු විය හැකිය. ගැබිනි මවක මෙවැනි තත්ත්වයකට පත් වූ විට හඳුනා ගැනීම අසීරුය. දෙපා ඉදිමීම, හුස්ම ගැනීම මේ කාලයේදී ඉතා සාමාන්‍යය. වෙහෙස, හද ගැස්මේ වෙනස්කම් සිදු වීම, ක්‍රියාකාරීව සිටින විටත් විවේකීව සිටින විටත් හුස්ම ගැනීම අසීරු වීම, රුධිර පීඩනය පහළ බැසීම, සිටගෙන සිටියදී රුධිර පීඩනය පහළ බැසීම, ගැබිනි වියේදී හෝ ප්‍රසූතියෙන් පසු ඇති විය හැකි ලකුණුය.

හෘද මාංසපේශීන් ප්‍රදාහයට පත් වීම වැනි හෘද අක්‍රමිකතාවකට ගැබිනි වීමට පෙර ගොදුරු වී සිටියා නම්, තරබාරු නම්, දරුවන් කිහිප දෙනකු පිළිසිඳ සිටිනවා නම්, මන්ද පෝෂණයෙන් පීඩා වින්දා නම් හදවත විශාල වීමට යම් අවදානමක් පවතී.

ඉහත සඳහන් කළ කිසිදු හේතුවක් නැතිව ද හෘදය විශාල විය හැකියි. පපුවේ එක්ස් කිරණ ඡායාරූප ගැනීම, එකෝකාඩියෝග්‍රම්, ඊසීජී, ට්‍රෙඩ්මිල් ස්ට්‍රෙස් පරීක්ෂණය, එම් ආර් අයි, කාඩියැක් කැතීටරයිසේෂන්, රුධිර පරීක්ෂණ, ජාන පරීක්ෂණ ආදී පරීක්ෂණ රැසකින්ම රෝගය හඳුනා ගැනීමට පුළුවන.

 උපදෙස් - හෘද රෝග විශේෂඥ වෛද්‍ය

නාමල් විජයසිංහ

348 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 03, අඟහරුවාදා 10:45
අදහස් එක් කිරීමට ලොග් වෙන්න