රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 ඔක්තෝබර් 23, සඳුදා 12:57

දඬුවම ලැබිය යුත්තේ ගැහැණිය ම පමණද? විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
එදාට වඩා අද සමාජය වෙනස් ය. එය හොඳ හෝ නරක කෙසේ වුවද වෙනසක් ඇති බව ඔබට ද වැටහෙනු ඇත. තරුණ වියේ දී විවාහ වීම බොහෝ තරුණ තරුණියන්ගේ සිහිනයකි. එහෙත් ඒ සිහිනයට අද අත් වී ඇති ඉරණම බැලිය යුත්තේ උසාවියක් අසලට ගොස් ය. ආදරය, ප්‍රේමය, මනුස්සකම් යනාදී හැඟීම් නීතියට අනුව විග්‍රහ කළ නොහැකි ය. නීතියට අනුව අපට සිදු වූ දේ හෝ සිදු විය හැකි දේ තර්කානුකූලව විග්‍රහ කළ හැකිය.

 

එහෙත් සමාජයේ වෙනසට තුඩු දී ඇති බොහෝ දෙයට නීතියේ හව්හරණක් ලැබීමට හැකියාව ඇති ද? යන්න අපට ද ඇති වූ ගැටලුවකි. ආදරයේ නාමයෙන් තම ගැහැනුකම පුද දෙන තරුණියන් ඇතැම් විට පියකු නැති දරුවකුට උරුමකම් කීමට බැරි වන තැන විවිධාකාර වූ තීරණයන්ට එලඹේ. ආසන්නත ම සිද්ධිය වනුයේ දරුවකු බෙහෙත් ශාලාවක දමා ගිය වෛද්‍ය ශිෂ්‍යාවයි. තරුණියන් මෙන්ම බාලවයස්කාර දැරියන් ද තමාගේ කැමැත්තෙන් මෙන්ම අකමැත්තෙන් දූෂ්‍ය වීමක ප්‍රතිඵලයක් ලෙස හෝ මවුවරුන් වන පුවත් කොතෙකුත් අසන්නට දකින්නට තිබේ.

මෙහිදී මේ වැරැද්දට වගකිව යුතු පිරිමින් සොයන්නට කිසිවකු ඉදිරිපත් නොවන අතර සෑම අතින් ම කාන්තාව පීඩනයට පත් වේ. රැවටීමකට හසුවීම, පියකු නොමැති දරුවකුගේ බරක් දැරීමට සිදු වීම, සමාජයේ නින්දා අපහාස ලැබීම ආදී කොතෙකුත් පීඩාවන්ට මුහුණ දීමට ඇයට සිදු වන්නේ තනිවම ය. මේ පිළිබඳ කතා කරන්නට අපි නීතිමය වශයෙන්, පෘථුල අත්දැකීම් සහිත වූ නීතිඥවරියක් හමුවුණෙමු. සන්ධ්‍යා තල්දූව නම් වූ ඇය ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමයේ වත්මන් සභාපතිනිය යි.

කාන්තාවකට අපහරණයක් හෝ දූෂ්‍ය වීමක් සම්බන්ධයෙන් නීතියේ පිහිට පැතිය හැකි ද?

සාමාන්‍යයෙන් කාන්තාවකට වයස් බේදයකින් තොරව දූෂ්‍ය වීමක දී නීතියේ පිහිට පතන්න පුළුවන්. ඒත් වැඩිහිටියකු ලෙස සලකන වයසේ දී, අවුරුදු 18 ට වැඩි නම් ඇය කැමැත්තෙන් පුරුෂයකු සමඟ ලිංගික සම්බන්ධතාවක් පැවැත්වීමෙන් පසු එම පිරිමියාට විරුද්ධ ව නීතිමය පියවර ගන්න හැකියාවක් නැහැ. එය රැවටීමක් වුවත් තමාගේ කැමැත්තෙන් සිදු වූවක් නම් ඒ සඳහා කළ හැකි පිළියමක් නීතියට අනුව නැති බව කිව යුතුයි. සම්බන්ධතාවක් පැවැත්වීමේ දී එහි ඇති අවදානම අපේ තරුණියන් වටහා ගත්තොත් මෙවැනි ගැටලු ඇති වීමට පෙරදී ම අපිට වළක්වා ගන්න පුළුවන්.

ඒත් බාලවයස්කාර දැරියක් එනම් වයස 18 ට අඩු දැරියක් තම කැමැත්තෙන් එවැනි සම්බන්ධතාවක් පැවැත්වුවත් එය නීතියට අනුව පිරිමියාට දඬුවම් කළ හැකි ආකාරයේ වරදක්. මෙහිදී උසාවියෙන් දැරිය පරිවාස භාරයට පත් කිරීමත් එම සබඳතාව පැවැත් වූ පුද්ගලයාට සිර දඬුවම් ලබා දීමත් සිදු කරන්න පුළුවන්. ඒ වගේම ඒ දෙදෙනාගේ ම කැමැත්ත තිබෙනවා නම් වයස සම්පූර්ණ වූ පසුව විවාහ වීමට හැකියාවක් තිබෙනවා.

බාල වයස්කාර දැරිය මවක් වන බව දැනගත් විටෙකවත් එයට සම්බන්ධ පුද්ගලයා සමඟ විවාහ විය නොහැකිද?

නීතිය වෙනස් විය යුතුයි කියා මම හිතන එක තැනක් තමයි මේක. අද අපේ සමාජයේ තියෙන එක ව්‍යවසනයක් තමයි ළමා මාතෘත්වය. බොහෝ වෙලාවට මෙවැනි මවුවරු පරිවාස භාරයට පත් කරනවා. මෙවැනි අයට වයස සම්පූර්ණ වන තෙක් දෙදෙනාගේ ම කැමැත්ත තිබුණත් විවාහ වීමට නීතියෙන් අවසර නැහැ. විවාහ වීමට නම් නිසි වයස එලඹෙන තෙක් සිටිය යුතුයි. සමහර වෙලාවට මේ දරුවන්ට තම දරුවා ලැබෙන්නේ නිසි වයස සම්පූර්ණ කිරීමට පෙරයි. එහෙමත් නැතිනම් වයස සම්පූර්ණ වෙනකොට විවාහයට අනෙක් පාර්ශවය අකැමැති වෙන්න පුළුවන්. එහෙම වුණාම මේ උපදින දරුවාගේ උප්පැන්නයේ මවුපියන් විවාහක ද? යන තැනට ‘නැත’ ලෙසින් යොදන්නට වෙනවා. ඒක ඒ දරුවාගේ මුළු ජීවිතයට ම බලපාන ගැටලුවක් බවට පත්වෙනවා. ඒ දරුවා තමා නොකළ වරදකට උපදින විට ම වන්දි ගෙවනවා. මේක අපි හිතනවාටත් වඩා ලොකු ව්‍යවසනයක් වෙන්නේ, මේ දරුවන් වයසින් වැඩෙද්දී හැම විටෙක දී ම ඔහුගේ චරිතයටත් මෙය කැළලක් බවට පත්වීම නිසයි. එවැනි වෙලාවක මේ දරුවන් සමාජයට ම වෛර කරන පුද්ගලයන් වීම වළක්වන්න බැහැ.

බාලවයස්කාර දැරියක් වුවත් ඇය මවක් වෙන ලකුණු තිබේ නම් එවැනි විටෙක එම දෙදෙනා ම විවාහයට කැමැතියි නම් විවාහ වීමට අවසර දිය යුතුයි යැයි මම හිතනවා. නැතිනම් මේ දැරිය තමාගේ වයස සම්පූර්ණ වනතෙක් සිටින්නේ ගිනි ගොඩක. දරුවා සිටින්නෙත් අනාරක්ෂිත තත්ත්වයක. ඒ දැරියගේ මවුපියන් ඉන්නෙත් ඉතාමත් අසරණ තත්ත්වයක.

අවිවාහක තරුණියක් යම් විටෙක මවක් වුවහොත් ඇයට නීතියෙන් ලැබිය හැකි පිළිසරණ මොන වගේ ද?

මම කලින් කිව්වා වගේ වයස 18ට වැඩි තරුණියක් අවිවාහකව මවක් වූ විට දරුවාගේ පියා ඇයව නොසලකා හරින්නේ නම් ඒ සඳහා විවාහ වීමට යැයි නීතියෙන් පවසන්නේ නැහැ. ඒ වගේම එම පුද්ගලයාට එරෙහිව කිසිම නීතිමය පියවරක් ගන්නත් බැහැ. කළ හැකි එකම දෙය වන්නේ යම් ආකාරයකට, ජාන තාක්ෂණයෙන් හෝ දරුවාගේ පීතෘත්වය ඔප්පුකර ඔහුගෙන් දරුවාට නඩත්තු මුදලක් ලබා ගැනීම පමණයි. ‘නඩත්තු ආඥා පනතේ දැක්වෙන්නේ මේ ආකාරයටයි.

‘විවාහකින් නූපන් ළමයකු සම්බන්ධයෙන් වන විටෙක මහේස්ත්‍රාත්වරයා සෑහීමකට පත්වන පරිදි ප්‍රබල සාක්ෂි මඟින් මවුපිය භාවය තහවුරු කරන්නේ නම් මිස....’ යනාදී ලෙසයි.

මෙවැනි සම්බන්ධතා උඩ උපදින දරුවන් මහ මඟ දමා යාම, ගංගා ඇල දොලට විසි කිරීම, කැලෑවට, කුණුගොඩට දැමීම් මෙන්ම මරා දැමීම් පිළිබඳ අපට අසන්නට දකින්නට ලැබෙනවා නේ ද?

ඔව්. ඒත් ඇයි එහෙම කරන්නේ.. තමන්ට දරුවා තනියම හදා ගන්න බැරි නම් ඒක මහ රෝහලට පැවසුවා ම දරුවන් නැති මවුපියන් මුණ ගස්වලා දරුවා හදා ගන්න දෙන්න පුළුවන්. එහෙම නැතිව ජීවිතයක් නැති කිරීම කොහෙත් ම අනුමත කරන්න බැහැ.

දැන් ගොඩක් අය හිතනවා දරුවන් හදා ගන්න ගැනීම හරි අමාරුයි නඩු යන්න ඕන කියලා.

ඹඒත් එහෙම දෙයක් නැහැ. ඉතාමත් කෙටි කාලීනව නිමා වන දරුකමට හදා වඩා ගන්නා නඩුවක් උපරිම පියවර පහකින් නිමා වෙනවා. ඒ නිසා දරුවන් නැති යුවළකට මෙවැනි දරුවකුට ජීවිතය දෙන්න පුළුවන් නම් ඒකත් දෙපාර්ශවයට ම යහපතක් වේවි.

ගැහැනිය යනු දරා ගන්නියයි. ජීවිතය දෙන්නියයි. එසේ වූ මාතෘත්වය, ගැහැනුකම සෙල්ලමකට නොගැනීමට පිරිමි දරුවන්ට කුඩා කල සිටම පුරුදු පුහුණු කිරීම ඔබ අම්මා කෙනකු ලෙස කළ යුත්තකි.

එමෙන්ම තමාට ලැබුණු ගැහැනු බව පීඩාවක් වන තැනට පත්කර නොගෙන අවබෝධයෙන් යුතුව ජීවත් වීමට අපේ දූවරු ද සිතට ගත යුතුය. අශ්වයා ගිය පසු ඉස්තාලය වසා වැඩක් නැත. යමක් වීමට ප්‍රථම ඒ පිළිබඳ අවබෝධයෙන් හා අවධානයෙන් සිටින්න.

  

අදහස් දැක්වීම

සන්ධ්‍යා තල්දූව

ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ, නිල නොලත් මහේස්ත්‍රාත්, සභාපති - ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමය

925 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 23, සඳුදා 13:02
අදහස් එක් කිරීමට ලොග් වෙන්න