රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 ඔක්තෝබර් 31, අඟහරුවාදා 13:04

රැකියාවක් කරන ඔබට පහසුවෙන් ගෙදර වැඩ කරගන්න සරල ක්‍රම විශේෂාංග

ලිව්වේ  යශෝදා ඉන්දීවරී
අගයන්න
(0 මනාප)
රැකියාවයි නිවෙසේ වැඩයි මේ හැමදේමත් එක්කම ගෙදර පිළිවෙළකට තියා ගන්නවා කියන එක නම් ඇත්තටම අමාරු වැඩක්. ඒත් ඔබ නොහිතන පුංචි පුංචි දේවල් මගින් මෙය පහසුවෙන්ම කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ගෙදර පිළිවෙළකට තියා ගන්න උදව් වන දේවල් කිහිපයකි.

 

සෑම දෙයකටම නිසි තැනක්

හරි දේ හරි තැන තියන්න කියලා කියනවා ඔබ අහලා ඇති නේ. ඒක හරියටම හරි. ඔබේ නිවෙසේත් සෑම දෙයකටම නිශ්චිත ස්ථානයක් වෙන් කර ගන්න. ඉතා කුඩා දෙයක් වුණත් එය නොසලකා හරින්න එපා. උදාහරණයක් ලෙස යතුරු වෙනම තැනක එල්ලන්න. ක්‍රීඩා භාණ්ඩ දරුවන්ගේ කෑම පෙට්ටි ආදිය වෙන වෙනම තියන්න. එවිට අවශ්‍ය විට හැම තැනම හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

වැඩ පවරා දෙන්න

ඔබේ වැඩකටයුතුත් සමඟ නිවෙස පිළිවෙළට තබා ගැනීම ඔබට තනිවම කළ නොහැකියි. එනිසා දරුවන් අතර වැඩ පවරා දෙන්න. එක් එක්කෙනාට නිවෙසේ විවිධ කොටස් බෙදා දී පිළිවෙළට සහ පිරිසුදුවට තබා ගන්නා ලෙස උපදෙස් දෙන්න. සතියක් අවසානයේ එක් එක්කෙනාට ලකුණු ලබා දී වැඩිම ලකුණු ලබා ගන්න කෙනා තෝරන්න. මෙයින් දරුවන්ට ද විනෝදයක් ලැබෙන අතර ඔවුන් පිළිවෙළට සිටීමට ද පුරුදු වේ.

ඕනෑවට වඩා පිළිවෙළ ගැන හිතන්නත් එපා

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියනවනේ. පිරිසුදුකම හා පිළිවෙළටත් මේක අදාළයි. ඔබ හැම දෙයක්ම සියයට සියයක් පිළිවෙළට තියන්න අමාරුයි. උදාහරණයක් ලෙස ඔබට දරුවාගේ සෙල්ලම් බඩු පිළිවෙළකට අසුරා තැබීමට අවශ්‍ය ඇති. එහෙත් දරුවන් මේ පිළිබඳ එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒ නිසා හොඳම දේ සෙල්ලම් බඩු දැමීමට විශාල පෙට්ටියක් ඔවුනට ලබා දී සියල්ල එයට දමා තබන ලෙස උපදෙස් දීමයි. එයින් ඔබේ ගැටලුව ද විසඳේ.

බල කිරීමකින් තොරව හුරු කරවන්න

ඔබේ දරුවන් සමඟ නිවෙස පිළිවෙළට තබා ගැනීම අසීරු විය හැකයි. ඒ සඳහා ඔබ ඔවුනට තරවටු කළහොත් ඔවුන් තවත් මුරණ්ඩු විය හැකයි. එනිසා බල කිරීමකින් තොරව ඔවුන්ව ඒ සඳහා හුරු කරවන්න. උදාහරණයක් ලෙස ඔවුන් පාසල් ඇරී එන විට පාසල් බෑගය, වතුර බෝතලය ආදිය තැබීම සඳහා ඔවුනගේ උසට සරිලන කුඩා මේසයක් තබන්න. නැතිනම් ඒවා එල්ලීමට ඔවුනගේ උසට සරිලන තැනක් සකසා දෙන්න. සපත්තු තැබීමට ලස්සනට සකස් කළ කුඩා රැක් එකක් තබන්න. එවිට ඔවුන් එයට ආස නිසා තමන්ගේ බඩු නිසි තැන තැබීමට හුරු වේවි.

බාස්කට්වල බඩු අසුරා තබන්න

ඔබේ කුළුබඩු අසුරා තැබීමට කුඩා බඳුන් භාවිත කරනවා සේම නිවෙසේ අනෙක් දේවල් අසුරා තැබීමට ද බාස්කට් භාවිත කරන්න. සබන් කුඩු, සබන්, කිලුටු ඇඳුම්, අතිරේක කෑම වර්ග හා අනෙකුත් ඕනෑම දෙයක් බාස්කට්වල දමා ලේබල් කර තැබීමෙන් ඔබට අවශ්‍ය වෙලාවට ඒවා සොයා ගැනීම ඉතාම පහසු වේ. එමෙන්ම දරුවන්ගේ බෝනික්කන්, බෝල ආදී සෙල්ලම් බඩු මෙසේ වර්ග කර තැබීම ඉතා පහසු වේ.

ප්ලාස්ටික් හා වීදුරු කෝප්ප වෙනම අසුරන්න

 

ප්ලාස්ටික් හා වීදුරු කෝප්ප ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය සියල්ල එකම තැන අසුරා තබන එක එතරම් නුවණට හුරු වැඩක් නෙවෙයි. මෙලෙස එකට තැබීමෙන් බොහෝ අවස්ථාවල ඔබ එක වීදුරු කෝප්පයක් ගන්න විට ප්ලාස්ටික් කෝප්ප සියල්ල පෙරලී එයි. මේ නිසා ප්ලාස්ටික් කෝප්ප කබඩ් එකේ හෝ රාක්කයේ යට කොටසේ වෙනම අසුරා තැබීම වඩා සුදුසු වේ. එවිට කෝප්ප විසිරී යාම වළකා ගත හැකයි. ප්ලාස්ටික් හා වීදුරු බඩු වෙනම අසුරා තැබීමෙන් ඔබට ද ඉතා පහසුවෙන් ඒවා පරිහරණය කළ හැකයි.

ගෘහ භාණ්ඩ ක්‍රමවත් ලෙස තබන්න

නිවෙසේ අනවශ්‍ය ලෙස ගෘහ භාණ්ඩ තබා ගැනීමෙන් ඉඩකඩ ඇහිරී යයි. එනිසා ඔබට අවශ්‍ය පමණට වඩා ගෘහ භාණ්ඩ මිලදී ගැනීමෙන් වළකින්න. අතිරේක මේස පුටු ආදිය තිබෙන්නේ නම් ඒවා ද ප්‍රයෝජනවත් ලෙස භාවිත කරන්න. උදාහරණයක් ලෙස ඔබේ නිවෙසේ වැඩිපුර මේසයක් ඇත්නම් එය නිවෙසේ කොනක තබා එදිනෙදා භාවිතයට ගැනෙන කුඩා, බෑග් හෝ පත්තර ආදිය තැබීමට භාවිත කරන්න.

 

 

කළ යුතු දේවල් ලයිස්තුවක්

ඔබ දිනකට වැඩ රාශියක් ඉටු කළ යුතුයි. මේ නිසා ඔබට යම් යම් දේ අමතක වීම සාමාන්‍ය දෙයකි. එනිසා ඔබ කළ යුතු වැඩ කටයුතු සියල්ල ලියා තබා ගැනීම වඩා පහසු වේ. එවිට ඔබ ඉවර කරන සෑම වැඩක්ම ලෑයිස්තුවේ ලකුණු කර ඔබට කිරීමට ඉතිරිව ඇති වැඩ මොනවාදැයි මතක තබා ගත හැකයි. දවසට කළ යුතු වැඩ, සතිය තුළ අවසන් කළ යුතු වැඩ මෙන්ම මාසයට අදාළ වැඩ ද මෙලෙස ලියා තැබීමෙන් ඔබට ඒවා නිසි වෙලාවට සම්පුර්ණ කර ගත හැකි වේ.

තොරතුරු ෆයිල් එකක්

හදිසි අවස්ථාවක දී අවශ්‍ය වන තොරතුරු ෆයිල් එකක් තබන්න.

ඔබට කුඩා දරුවෙක් ඉන්නවා නම් මෙය ඉතාම වැදගත් වේ. ඔබ නොමැති විට ඔබේ දරුවා බලා ගන්න කෙනාට අවශ්‍ය විය හැකි සියලු තොරතුරු වෙනම ෆයිල් එකක සකස් කර තබන්න. හදිසි දුරකථන අංක, දරුවාගේ අසනීප, බෙහෙත්, අසාත්මිකතා ආදිය සටහන් කර තැබීම හදිසි අවස්ථාවක දී ඉතා ප්‍රයෝජනවත් වේ.

 

කිලුටු ඇඳුම් සඳහා භාජන

සෑම කාමරයකම සහ නාන කාමරයේ කිලුටු ඇඳුම් සඳහා වෙනම භාජනයක් තබන්න. එවිට දරුවන් කිලුටු ඇඳුම් සෑම තැනම දැමීම වළක්වා ගත හැකියි.

අනවශ්‍ය දේ ගොඩගසන්න එපා

අනවශ්‍ය කිසිවක් නිවෙසේ තබා ගැනීමෙන් වළකින්න. ඔබත් කවදා හරි ඕනෙ වෙයි කියලා පරණ ඇඳුම්, පත්තර මේ හැමදේම ගෙදර තියාගෙන ඉන්නවා නම් ඒවා අදම අයින් කරන්න. අවශ්‍ය නම් මේ දේවල් අඩු ගාණකට විකුණලා ඔබට අමතර මුදලකුත් ලබා ගන්න පුළුවන්.

හැම දෙයක්ම නම් කරන්න

ඔබේ කුස්සිය ලස්සනට පිළිවෙළට තබා ගන්න. ඒ අතරම හැමදෙයක්ම වෙන් වෙන්ව නම් කරලා තියන්න. උදාහරණයක් ලෙස ඉවීමේදී භාවිත කරන බඩු වෙනම නම් කර තබන්න. බේක් කරන්න ගන්න බඩු වෙනම තබන්න. අමුත්තන් ආවම සංග්‍රහ කරන්න ගන්න බඩු වෙනම තියන්න. එවිට හැමදේම පිළිවෙළට තිබේවි.

විශේෂ අවධානයක්

නිතර අමතක වන බඩුවලට විශේෂ අවධානයක් දෙන්න.

බොහෝ නිවෙස්වල වාහනවල සහ නිවෙසේ යතුරු, කුඩ, පනා ආදී මේ සුළු සුළු දේවල් සොයා ගත නොහැකිව මුළු ගෙදරම අවුස්සන අවස්ථා ඇත. එයට හේතුව මේ දේවල් නිශ්චිත තැනක නොතැබීමයි. එනිසා මෙවැනි නිතර සොයා ගත නොහැකි වන දේවල් පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වී ඒ දේවල් තැබීම සඳහා නිසි ස්ථානයක් පිළියෙල කරන්න.

දවසේ කාලසටහනක්

ඇතැම් දවසක අමතර වැඩක් යෙදුණ ද අනෙක් දිනවල ඔබට ඇත්තේ එකම වැඩ කොටසකි. ඔබ එයට හුරු වූ විට ඔබේ පවුල ද එයට හුරු වේ. එවිට ඔබට සාර්ථක සහ සාමයෙන් යුතු පවුලක් ගොඩනගා ගත හැකි වේ.

පෙරදින රාත්‍රියේ සුදානම

පසුදාට අවශ්‍ය ඇඳුම්, සපත්තු, බෑග්, පොත් ආදී සියල්ල සුදානම් කර තැබීමට දරුවන්ව හුරු කරවන්න. එමෙන්ම ඔබ ද පසුදාට අවශ්‍ය කෑම, භාජන ආදී සියල්ල සුදානම් කර තබන්න. එවිට උදෑසනට ඔබට නිදහසේ ඔබේ වැඩ කටයුතු කර ගත හැකයි.

 

කළ නොහැකි වැඩ භාර නොගන්න

රැකියා කටයුතු සහ නිවෙසේ කටයුතු සමඟ ඔබ ඉතාම කාර්යබහුල අයෙකි. එනිසා වෙනත් බාහිර වැඩ භාර ගැනීමේ දී ඔබට එය කළ හැකිදැයි පළමුව තීරණය කරන්න. ඔබට කළ නොහැකි වැඩ භාර ගැනීමෙන් ඔබේ නිවෙසේ හා රැකියාවේ කටයුතු ද අඩාල වේ.

 

අන්තර්ජාලය ඇසුරිනි

 

 

 

452 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න