රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 නොවැම්බර් 14, අඟහරුවාදා 13:54

ආදරේට වැඩි සීනි එපා! විශේෂාංග

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
අගයන්න
(0 මනාප)
ආගන්තුක සත්කාරයට උපන් හපන් අපේ කතුන් ගෙදරට එන අමුත්තන්ට වගේම ගෙදර සාමාජිකයන්ටත් උගුර කට ඇලෙන තරමේ පැණි රස සීනි හැඳි පුරවපු තේ කෝප්පයක් බාර දෙන්නේ ආදරයටය.

 

ඊට අමතරව රසකැවිලි පුරවපු බන්දේසියක් දෙන්නත් අමතක කරන්නේ නැහැ. අපේ දිව ඉල්ලන රසයත් පැණි රසම නිසා කවුරුත් බැහැයි කියන්නේ නම් නැහැ.

මෙසේ සීනිවලින් උතුරන්නේ ඇත්තටම ආදරය නොව වෙස්වළා ගත් වෛරයක් කියා තේරෙන කොට හොඳටම ප්‍රමාද වැඩියි.

මිතුරුකමේ තරම හඳුනා ගන්න

සීනි අපේ සිරුරට අවශ්‍යයි. එයින් සිරුරට ක්ෂණික ශක්තියක් ලැබෙනවා. අතිරේක සීනි සිරුරේ තැන්පත් වෙනවා.

සීනි නැතුව අපේ සිරුරේ කිසිදු ක්‍රියාකාරිත්වයක් නිසි ලෙස සිදුවන්නේ නැහැ. කිරි, එළවළු, පලතුරු සියල්ලකම සීනි අඩංගුයි. ඒ වගේම කෘත්‍රිමවත් සීනි නිපදවෙනවා.

පර්යේෂණ මඟින් සොයා ගෙන ඇති අන්දමට කෘති‍්‍රම සීනි ස්වාභාවික සීනි තරමටම ඉතා අහිතකරයි. බීට් ෂුගර්, බ්‍රවුන් ෂුගර්, කෝන් ෂුගර්, කෝන් සිරප්, ඩෙක්ස්ට්‍රින්, ඩෙක්ස්ට්‍රෝස්, ෆෘක්ටෝස්, ගැලැක්ටෝස්, ග්ලූකෝස්, පැණි, ලැක්ටෝස්, මෝල්ටෝස්, මැනිටෝල්, මාපල් ෂුගර්, මොලැසාස්, සෝර්බිටෝල්, සුක්‍රෝස්, වයිට් ෂුගර් මේ කුමන ක්‍රමයට හැඳින් වුවත් සීනි සීනිම තමයි.

කෙනකු දවසකට සීනි හැඳි 6 කට වඩා ගැනීම සුදුසු නැහැ. බොහෝ දෙනෙක් සීනි රසය කෘත්‍රිමව ඇති ආහාරපාන අහිතකර නැතැයි සිතා සිත සනසා ගැනීමට පෙලඹුණත් ඒවා සැබෑ සීනිවලටත් වඩා අගුණයි. මිනිස් සිරුරේ ස්වාභාවික සීනි නිපද වෙන්නේ නැහැ. සීනි පිටතින් ලබා ගන්නේ අපමය.

සීනි නිසා දත් නරක් වෙන බව නොදන්නා කෙනෙක් නැහැ. ඒ වගේම කිසිදු පෝෂකයක් නැති බවත් දන්නවා. අප ගන්නා වැඩි සීනි අක්මාවේ තැන්පත් වෙනවා. මේවා පමණට වඩා තැන්පත් වන විට ඒවා මේදය බවට පත් වෙනවා. දිගින් දිගටම සීනි වැඩි වැඩියෙන් ගන්නා විට මේද ද වැඩිපුර නිපදවෙනවා. එය අද ගැහැනු පිරිමි දෙපිරිසේම ජාතික රෝගයක් වී ඇති අක්මාවේ මේද හෙවත් ‘ෆැටි ලිවර්’ තත්ත්වය හේතු වෙනවා. ෆැටි ලිවර් තත්ත්වයට මඟ පාදන්නේ සිරෝසිස් තත්ත්වයටයි. අපට එළවළු, පලතුරුවලින් සිරුරට එක්වන මෙලෙස අහිතකර මේදය එක්වන්නේ නැහැ. එහෙත් සීනි පැට වූ, සීනි පිර වූ පැණි බීම, රසකැවිලි මඟින් මේද සිරුරට පැටවෙනවා. ඉන්සියුලින් ප්‍රතිරෝධීතාව පරිවෘත්තීය සින්ඩ්‍රෝමය, දියවැඩියාවට අමතරව අක්මාවේ මේද ද සීනි මඟින් ඇති කරන ලොකුම ගැටලුවක්. ඉන්සියුලින් ප්‍රතිරෝධීතාව මං පාදන්නේ දෙවැනි වර්ගයේ දියවැඩියාවටයි. එනම් වැඩිහිටියන්ට වැලඳෙන දියවැඩියාවයි.

පැණි බීම, කෝලා පාන දියවැඩියා අවදානම සියයට 83 කින් ඉහළ නංවනවා.

සීනි පිළිකා සෛලවලට ආහාරයක්.

එය ද අප සීනි සීමා කිරීමට හේතුවන තවත් කාරණයක්. මෙය මත්ද්‍රව්‍ය හා සමානයි. වරක් ගත්තොත් නැතිවම බැරි රසයක් වෙනවා. සීනි නිසා මොළයේ ඩොපමීන් රසායනය නිකුත් වෙනවා. සීනි හා ක්ෂණික ආහාර ඩොපමීන් රසායන මට්ටම ඉහළ නංවන අතර ඇබ්බැහිවීම තව තවත් වැඩි කරනවා.

වැඩිහිටියන් හා දරුවන් තරබාරු කිරීමට හේතුවන ප්‍රධාන සාධකය සීනියි. සීනි හා මහත අතර ඇත්තේ ගහයි පොත්තයි මෙන් සබඳතාවක්.

අහිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන්නේ තෙල් කියා සිතුවත් සැබෑවටම ඊට හේතු වන්නේ සීනිය. සන්තෘප්ත මේදයට වඩා සීනි හදවත් රෝගවලට බලපාන බව පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා. අපේ සිරුරේ ට්‍රයිග්ලිසරපිඩ්, අහිතකර කොලෙස්ටරෝල් සීනි නිසා වැඩි වෙනවා. එය හෘද රෝග ඇතිවීමට, උදරයේ තරබාරුකම ඇතිවීමට, මඟ පාදනවා. සීනි හා හදවත් රෝගවල ඇති බැඳීම ඉතා තදබලයි.

මෙවර නොවැම්බර් 14 වැනි දින යෙදෙන දියවැඩියා දිනයේ තේමාව ‘කාන්තාව හා දියවැඩියාවයි. කාන්තාව තරබාරු නම් සැමියා දියවැඩියා රෝගියෙක්’ යන්න මෙ වසරේ දියවැඩියා දිනය සමඟ ඇතිවුණු අලුත්ම කතාවයි.

අපේ වැඩිහිටියන් අතරින් සියයට 10 කට දියවැඩියාව. සියයට 11 ට පූර්ව දියවැඩියාව. කොළඹ ආශ්‍රිතව පදිංචි දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිශතය සියයට 25 ක්. නගරබදව පදිංචි සියයට 50 කටම දියවැඩියා අවදානම කාන්තාවන් 10 න් 1 කට දියවැඩියාව. මෙයින්ම අපට කාන්තාව හා දියවැඩියාව ගැන බොහෝ දේ සිතා ගැනීමට පුළුවන්.

නිවෙසේ හැන්ද ඇත්තේ ගාහණියගේ අතේයි. තේ කෝප්පයට සීනි හැඳි එක්වන්නේ, රසකැවිලිවලට සීනි ග්‍රෑම් එකතු වන්නේ ඇයගේ අතින්. පවුලේ සැමියා ඇතුළු අනිත් අයගේ තරබාරුවට වගකිව යුත්තේ ඇයයි. ඒ ඇයත් තරබාරු වෙමින්.

දරුවකු බිහි කළ හැකි වයසේ කාන්තාවන්ගෙන් 5 න් 1 ක් තරබාරුයි. ඉග සුඟ ගත හැකි මිටින කවියට පමණක් සීමා වෙලා. ඉණ දෑත් හතරකින්වත් ඇල්ලීමට නොහැකි තරම් තරබාරුයි. සාමාන්‍යයෙන් පිරිමියකුගේ ඉණ සෙ. මී. 90 ක් ද, ගැහැනියකගේ ඉණ සෙ. මී. 80 ක් ද විය යුතුයි.

තොටිල්ල පදවන අත සෑම තැනකම රජ කරයි. හොඳට මෙන්ම නරකට ද පොදුයි. කාන්තාවන්ගේ වැරැදි පුරුදු පවුලටම බලපායි. කාන්තාවන් පවුලේ සාමාජිකයන්ගේ සීනි පරිභෝජනය එක් අයකුට සීනි හැ ඳි 6 ට වඩා අඩු කරන්නේ නම්, දිනපතා ව්‍යායාම් කරන්නේ නම් පවුලේ සියල්ලන්ම නිරායාසයෙන්ම දියවැඩියාවෙන් තොර නීරෝගි පුද්ගලයන්ය.

 

 උපදෙස් - අන්තරාසර්ග රෝග

පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ප්‍රසාද් කටුගම්පල

විශේෂඥ වෛද්‍ය

මනිල්ක ද සුමනතිලක

115 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 14, අඟහරුවාදා 13:55
අදහස් එක් කිරීමට ලොග් වෙන්න