රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 නොවැම්බර් 21, අඟහරුවාදා 12:18

නිසි දැනුම නැතිනම් සැලෝන් දැමීම භයානකයි විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
ජීවිතයක වටිනාකම මැනිය නොහැකි ය. ජීවිතයේ දී අප සිදු කරන බොහෝ ක්‍රියාකාරකම් අපේ ජීවිතයේ වටිනාකම තීන්දු කරන අතර ම එය තවත් අයගේ ජීවිත සඳහා ද බලපාන්නකි.

 

එහෙත් මිනිස් ජීවිතයක වටිනාකම හරි හැටි අවබෝධ කරනොගත් අයකුට තම රැකියාව නිසි ලෙස කරගෙන යාමට මෙන්ම පවුල් දිවිය නිසි ලෙස රැක ගැනීමටත් අඩුම තරමින් තමාගේ ම ජීවිතය ගැන වගකීමකින් සිතීමටවත් නොහැකි ය.

ලෝකයේ පුරාවට ම මිනිසුන් නිරත වන දහසකුත් එකක් වෘත්තීන් අතර ඉහළ ම තැනක් ලැබෙන, ඉහළ ම ආදායම් ලැබෙන එමෙන්ම වඩා වැඩි වෘත්තියමය වටිනාකමක් ඇති වෘත්තියයක් ලෙස රූපලාවණ්‍ය වෘත්තිය හැඳින්විය හැකිය. ඒ බව අපි ද ඔබට නොයෙක් වර පවසා ඇත්තෙමු.

මේ වෘත්තියේ වැදගත්කම ගැන පුන පුනා ලියූ අපි ඔබව දැනුවත් කළේත්, ඔබට දුන් වටිනා ම පණිවුඩය වූයේත් රූපලාවණ්‍ය වෘත්තිය පදනම් වනුයේ ජීවමාන වටිනා ම සම්පතක් වූ ‘මිනිසා’ නමැති ජීවියා මත බවයි. මෙම වෘත්තියට අදාළව කෙරෙන්නා වූ කොණ්ඩා සැකසුම්, මේකප්, ආලේපන, ෆේෂල් වර්ග, දෑත් දෙපා අලංකාර කරන මැනික්‍යූ පෙඩික්‍යූ, නේල් ආර්ට් ආදී සියලුම සේවාවන් කෙරෙනුයේ පණ ඇති, ජීවී ගැහැනු හෝ පිරිමි සිරුරක් මත විනා රොබෝ යන්ත්‍ර මත නොවන බව අපි නොයෙක්වර විවිධ ලිපි ඔස්සේ ඔබව දැනුවත් කළෙමු.

රූපලාවණ්‍ය වෘත්තිය පිළිබඳ විෂය නිර්දේශය ද පුවත්පතෙන් ඔබට ලබා දුන්නා මතක ඇති. එහි පළමු අදියර ලෙස ඔබව දැනුවත් කළේ මෙම වෘත්තිය තුළ ඇති භාර දූර වගකීම අවබෝධ කරගන්නා ලෙසයි. රූපලාවණ්‍ය වෘත්තිය පිළිබඳ අධ්‍යාපනය ලබාදෙන පුද්ගලයා මෙන්ම එම අධ්‍යාපනය ලබා ගන්නා පුද්ගලයාට ද මිනිස් සිරුරක් මත කරන්නා වූ වෘත්තියේ වගකීම සුළුපටු දෙයක් නොවන බව තරයේ අවබෝධ කරගත යුතුය. එය යුගයේ අවශ්‍යතාවක් බව පසුගිය දා සිදු වූ අභාග්‍ය සම්පන්න සිදුවීමෙන් පැහැදිලි වේ. සැලෝන් එකක විදුලි සැර වැදී මිය ගිය තරුණියගේ ජීවිතය ඇයගේ පවුලේ අයට, රටට කොතරම් නම් වටිනවාද? මෙය මේ ක්ෂේත්‍රයට දැල්වුණු රතු එළියකි.

දශක දෙක තුනක් පමණ කාලයක් ස්ථාවර, ශක්තිමත් වෘත්තියක් ලෙස තිබූ මෙම ක්ෂේත්‍රයේ මෑත කාලීන පිරිහීම් ලකුණු පෙන්නුම් කෙරේ. මේ සඳහා තර්ක විතර්ක කිරීම නොව, දැන් අප කළ යුත්තේ මෙවැනි දේ සිදු වීමට හේතුව සොයා බැලීමයි. මෙවැනි නොසැලකිලිමත් බවක් නිසා සිදු වූ ජීවිත හානි මෙම ක්ෂේත්‍රය තුළ අප මෙයට කලින් අසා නැත. එහෙත් පසුගිය අවුරුදු කිහිපය තුළ මෙම භාරදූර වූ ක්ෂේත්‍රයට මුදල් පමණක් ඉපැයීමේ අරමුණින් සම්බන්ධ වූ පිරිස් බොහෝ වෙති. මේ නිසා ම මේ ක්ෂේත්‍රය තුළ ප්‍රමිතියක් සහිතව නියැළීමට ක්‍රමවේද, විෂයමාලා සැකසීම්, ගුරු පුහුණු වැඩසටහන් ආදී සියලු දේ සම්පාදනය කළත් ඒවායෙහි ප්‍රතිඵල වන්නේ මෙවැනි අභාග්‍ය සම්පන්න සිදුවීම් නම් ඉන් අපට හඟවන්නේ, ඒවා නැවත ප්‍රමිතිගත කිරීමේ කාලය පැමිණ ඇති බවයි.

රූපලාවණ්‍ය වෘත්තිකයන්ට ද අනෙකුත් වෘත්තිකයන්ට මෙන්ම ආචාර ධර්ම පද්ධතියක් විෂයමාලාවට ඇතුළත්. එහිදී සේවාදායකයාගේ ආරක්ෂාව, තමාගේ ආරක්ෂාව, හදිසි අවස්ථාවන්හි දී ඒවා පාලනය කරන ආකාරය, වහා ගත යුතු පියවර කුමක්ද යන්න ගැනත් රූපලාවණ්‍ය වෘත්තියට අදාළව කළ යුතු නොකළ යුතු දේ ආදියත් යන සියල්ල පැහැදිලිවම ඇතුළත් වේ. (මෙය අප පුවත්පතේ පළ වූ රූපලාවණ්‍ය පාඨමාලාවේදී ද ඔබට පැහැදිලි කළෙමු) ඒවා තමාගේ සිතේ සටහන් කරගත්තා නම් මෙවැනි අවාසනාවන්ත පුවතක් අපට අසන්නට දකින්නට සිදු වන්නේ නැත.

අද රූපලාවණ්‍ය වෘත්තිය ඉගෙන ගන්නා අයට වඩා වැඩි ප්‍රමාණයක් ඒවා උගන්වන මධ්‍යස්ථාන, හතු පිපෙන්නාක් මෙන් රට පුරා විසිර පවතී. නිසි දැනුමක් ලබා දෙන තැනකින් හිස සේදීමට භාවිත කරන වොෂ් බේසින් එක ළඟට හෙයා ඩ්‍රයරයක් ගෙන යාමට කිසිසේත් උගන්වන්නේ නැත. නිසි ප්‍රමිතියකින් ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා නම් එහා කෙළවරේ සිට මෙහා කෙළවර දක්වා විදුලිය ලබා ගැනීමට වයර් කෝඩ් ඇද ගන්නේ ද නැත. නිසි අධ්‍යාපනයක් ලබා සිටියා නම් හදිසි අනතුරක් වූ විට එයට බඳුන් වූ පුද්ගලයා එතැනම දමා ගොස් සැඟවෙන්නේවත්, ගෙන ගොස් ගඟක - මුහුදක දමන්නේවත් නැත.

රූපලාවණ්‍ය විෂය මාලාවේ අපගේ විශේෂතම පාඩමක් සම්පූර්ණයෙන් ම උගන්වන්නේ ඉලෙක්ට්‍රිසිටි නැතිනම් විදුලිය ගැනයි. මෙහිදී ඒ සම්බන්ධයෙන් මුල සිට අග දක්වාම විදුලිය, විද්‍යූත් ධාරාව, විදුලි කම්බි, සන්නාහකය, කුසන්නාහකය, විද්‍යූත් මිනුම් වර්ග

(වොල්ට්, ඇම්පියර්, මිලිඇම්පියර්) ඇතුළු තවත් ඒ හා සම්බන්ධ සියලු දේ උගන්වන්නේ සම පිළිබඳ හසල දැනුම මෙන්ම මෙවැනි දේත් රූපලාවණ්‍ය වෘත්තිකයකුට අවශ්‍ය ම වන නිසයි.

එහෙත් මේ වන විට දැනුමක් හරි හැටි නොලබා කෙසේ හෝ සහතිකයක් ලබා ගෙන රූපලාවණ්‍යාගාරයක් ආරම්භකර කෙසේ හෝ මුදල් සෙවීමේ පරමාර්ථයෙන් මේ වෘත්තියට පැමිණෙන පිරිසක් ද සිටින බවයි. එම පිරිස් ක්‍රම ක්‍රමයෙන් වැඩි වන බවක් ද පෙනෙන නිසා අයථා ක්‍රමවලින් සහතික පත් හා පළපුරුද්ද ඇති බවට දෙන සහතික ලබා දෙන පිරිස් ගැන ද සොයා මේවා වැළැක්වීමට නිසි ක්‍රියාමාර්ග ගත යුතුය. එසේ නොවුණ විට නුදුරු අනාගතයේ දී

 ‘සැලෝන් මරණ’ සංඛ්‍යාව වැඩි විය හැකියි.

එමෙන්ම විවිධ රූපලාවණ්‍ය ශිල්පීන් විසින් තමන්ට රිසි ලෙස ප්‍රමිතියකින් තොරව සාදන විවිධ ‘සුදු වනවාය’ කියා කුඩා ඩප්පිවල අසුරා විකුණන ක්‍රීම් වර්ග ආලේපකර මුහුණ විරූපී කරගන්නා අහිංසක ජීවිත ද කොතෙකුත් අප වෙත නිතර පැමිණෙයි. ඇහි බැම ත්‍රෙඩිං කිරීමට එන සේවාදායකයාට සම හිරිවැටෙන ආලේපන ගල්වා, පිරිටන් පෙත්තක් බීමට දෙන රූපලාවණ්‍ය ශිල්පීන් ද සිටින බව අසන්නට ලැබෙයි.

රූපලාවණ්‍ය ශිල්පියෙක් යනු වෛද්‍යවරයෙක් නොවේ. එම නිසා කෙසේවත් තමාගේ වෘත්තියට අදාළ නොවන කටයුතු සිදු කිරීමට නිසි පුහුණුවක් ලත් රූපලාවණ්‍ය ශිල්පියකු කටයුතු නොකරයි. මේ සිදුවීම සේවාදායකයන්ටත් වෘත්තියෙහි නියැළෙන්නන්ටත් ලබා දෙන්නේ මහඟු පාඩමකි.

 උපදෙස් - සම්මානිත මහාචාර්ය

රමණී අර්සකුලරත්න  

3871 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 21, අඟහරුවාදා 12:21
අදහස් එක් කිරීමට ලොග් වෙන්න