රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ජනවාරි 02, අඟහරුවාදා 11:28

නව වසරේ දැල්වෙන එළිවලට වඩා සිරුරේ දැල්වෙන රතු එළි බලන්න විශේෂාංග

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
අගයන්න
(0 මනාප)
ආයුබෝ වේවා කියා නව වසරට සුබ සිතිවිලිවලින් ප්‍රාර්ථනාවලින් හද පුරවාගෙන පිවිසෙන ඔබ ඒ සිතිවිලි පල දැරීමට නම් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් විය යුතුයි.

 

එහෙත් දින දසුනේ කොළ පෙරළෙනවාටත් වැඩි වේගයෙන් කිරීමට රාජකාරි ගොන්නක් ඇති.

ඔබට සිරුරේ වෙනස්කම් ගැන විමසිලිමත් වීමට වේලාවක් නැතිව ඇති. එසේ වුව ද නොසලකා හරින ලකුණු වසර පුරාම වේදනාබර මතකයක් වීමට තිබෙන ඉඩකඩ හොඳටම වැඩියි.

හේතුවක් නැතිව බර අඩුවීම

අද කාලයේ සිහින් වීම විලාසිතාවක්. උසට සරිලන බරක් පවත්වා ගැනීම සකල සෞඛ්‍යයටම හිතකර නමුත් විලාසිතාවේ සිහින්කම නම් සෞඛ්‍ය ආරක්ෂිත නැහැ. ඒත් මේ සිහින්කම එසේ සිහින්වීම නෙවෙයි, කිසිදු හේතුවක් නැතිව සිදුවන අසාමාන්‍ය බර අඩුවීමයි. සුපුරුදු පරිදි ක්‍රියාකාරී වෙද්දී පුරුදු පරිදි ආහාර ගනිද්දී හිටි හැටියේම අසාමාන්‍ය ලෙස බර අඩුවීම බලා සිටිය යුතු ලකුණක් නොවේ. බර අඩුවීමත් සමඟ මහන්සිය, නොරිස්සුම් සහගත බව ඇත්නම් සැලකිල්ල දෙගුණ තෙගුණ කරගත යුතුය.

බර අඩුවීමක් කියන්නේ සිරුරේ බරින් සියයට පහක් මාස හයකට නොඅඩු කාලයකදී අඩුවීමයි. (රාත්තල් 175 ක් බර කෙනකුගේ රාත්තල් 8 ක් අඩුවීම සැලකිලිමත් විය යුතු බර අඩුවීමකි).අහේතුකව ඉක්මනින් සිදුවන බර අඩුවීම සැඟවුණු සෞඛ්‍ය ගැටලුවක අනතුරු ඇඟවීමක් වීමට පුළුවන්. මේ ලක්ෂණය සමඟම වැඩි දෙනකුගේ මතකයට එන්නේ පිළිකාය. එහෙත් බොහෝ විට හේතුව පිළිකා නොවෙයි. අන්ත්‍ර ගැටලුවක් ද මේ කෙරෙහි බලපෑමට පුළුවන්. ආහාරවල පෝෂක උරා ගැනීමේ ගැටලු, තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරිත්වය, හඳුනා නොගත් දියවැඩියාව, විෂාදය වැනි බොහෝ හේතු බලපානවා.

දන්ත ගැටලු, හෘද අකර්මණ්‍ය වීම, තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරිත්වය, ඇතැම් ඖෂධ, පාකින්සන් රෝගය, ආමාශ තුවාල, ක්ෂය රෝගය, එච්අයිවී අසාදනය වීම, ඩිමෙන්ෂියා වැනි බොහෝ හේතු ක්ෂය වීමට බලපානවා.

සමේ ඝනවීමක් හෝ ගැටයක් සිරුරේ කොතැනක හෝ තිබීම

පියයුරේ ගැටිත්ත කාන්තාවක විශේෂයෙන්ම අවධානය යොමු කරන ස්ථානයකි. එය ඉතා වැදගත් වගේම සිරුරේ කොතැනක තිබෙන ගැටිත්තක්, ඝනවීමක් ගැන වුණත් විමසිලිමත් විය යුතුයි. බොහෝ ගැටිති අහිංසකයි. එහෙත් අහිංසක ද නැද්ද යන්න සොයා බැලීම වැදගත්. එම ගැටිති හෝ ඝනවීම්වල ජීව පටක ගෙන පරීක්ෂා කිරීමෙන් පවතින තත්ත්වය වෛද්‍යවරයාට තීරණයකට එළඹීමට පුළුවන්. ඇඟිල්ල සම මත දිවවීමෙන් ඝනවීම් හෝ ගැටිති දැනගත හැකියි.

පපුවේ වේදනාව

පපුවේ වේදනාව පළමුව සිහි ගන්වන්නේ හෘදයාබාධයක්. ඒත් ඊට හේතු රැසක් බලපානවා. ඇතැම් ඒවා ඇත්තටම තදබලයි. උදා: හෘදයාබාධ වගේම පෙණහලුවල රුධිර කැටි හිරවීම තදබල තත්ත්වයන්. ඇතැම් ඒවා එතරම් බරපතළ නැහැ. ඉල ඇට අතර මාංසපේශීවල ආදීමක්, ඉල ඇට කාටිලේ්ජවල ප්‍රදාහය වැනි එතරම් බරපතළ නොවන තත්ත්වය ද මේ කෙරෙහි බලපානවා. ආම්ලික යුෂ උගුරට ඒම හෙවත් ආමාශ දාහය වැඩිපුරම හෘදයාබාධ කියා වටහා ගන්නා තත්ත්වයක්. එහෙත් අම්ල උගුරට ඒමෙන් ඇතිවන තත්ත්වයත් හෘදයාබාධ තත්ත්වයත් වෛද්‍යවරුන්ට පවා පැටලෙන අවස්ථා තිබෙනවා. හෘදයාබාධ හා හෘද වේදනාව දෙකක්. වයස , ගැහැනු පිරිමි බව අනුවත් ලක්ෂණ වෙනස් වෙනවා. පපුවේ වේදනාව, පපුවේ තද ගතිය ගැහැනු පිරිමි දෙපිරිසටම ඇති වෙනවා. අලියකු පපුව මත සිටිනවාක් මෙන් වේදනාවක් හට ගන්න පුළුවන්. හදිසියේ ඇතිවන පපුවේ වේදනාව කිසිසේත්ම නොසලකා නොසිටිය යුතුය. පපුව තෙරපන තද ගතිය මිනිත්තු 15 ක වඩා දිගු කාලයක් පැවතීම, අත් හකු දක්වා පැතිරීම, හුස්ම ගැනීමට අසීරුවීම, ඔක්කාරය, දහදිය, රුධිරය සමඟ කැස්ස වහාම වෛද්‍ය ප්‍රතිකාර පැතිය යුතු තත්ත්වයක්.පපුවේ වේදනාව සුළු වුවත් වෛද්‍ය උපදෙස් පතන්න. හෘද මාංසපේශීන් නිසි ලෙස ඔක්සිජන් නොලැබුණොත් ඇන්ජිිනා නම් වේදනාකාරී තත්ත්වයක් ඇති වෙනවා. මෙය අනාගතයේ හෘදයාබාධ ඇතිවීමේ පෙරනිමිත්තක්. ඒ නිසා මේ තත්ත්වයටත් ඉක්මන් ප්‍රතිකාර කිරීමත් වැදගත්.

මලපහ කිරීමේ රටාව වෙනස් වීම

කුමන දේ ගැන කතා කළත් මල පහ කිරීමේ වෙනස්වීම් ගැන වැඩි දෙනෙක් කතා කිරීමට පෙලඹෙන්නේ නැහැ. එහෙත් එයත් තදබල ගැටලුවක් ඇති බවට ලකුණක් වෙන්න පුළුවන්. ආන්ත්‍රික පිළිකා ද මීට හේතුවක් විය හැකියි. මල පහ කිරීම අසාමාන්‍ය ලෙස වැඩි වාර ගණනක් හෝ අඩු වාර ගණනක් පිටවීම බඩවැල් ගැටලුවක් ඇති බව පෙන්වන ලකුණක්. උදර වේදනාව, මල සමඟ රුධිරය තිබීම ද ගැටලුවක්.

සිරුරේ කොතැනකින් හෝ රුධිරය පිටවීම

කහින විට රුධිරය පිටවීම ඇතැම් විට පෙණහලුවල රුධිර කැටි හෝ පෙණහලු පිළිකාවක ලකුණු විය හැකියි. ආමාශයේ රුධිරය ගලන තුවාල ඇති විට වමනය සමඟ රුධිරය පිටවීමට පුළුවන්.

මල සමඟ රුධිරය පිටවීම අන්ත්‍රයේ රුධිර වහනයේ ලකුණු විය හැකියි. ඔසප් චක්‍ර අතර අසාමාන්‍ය ලෙස රුධිරය පිටවීම, ගැබ්ගෙලේ, ගර්භාෂයේ රුධිර වහනයක ලකුණක් වීමට පුළුවන්. මෙයට ගැටිති හෝ පිළිකාමය ගැටිති හේතු විය හැකියි. ඇස්වලින්, නහයෙන්, දෙසවනින් රුධිරය පිටවීමට ද පුළුවන්. එයත් සැක කළ යුතු ලකුණක්.

ගිලීමේ අපහසුතාව

උගුරේ රෝගී තත්ත්වයක්, සෙම් ගෙඩි වැනි තත්ත්වයක් ගිලීමේ අපහසුතාවට හේතු වෙනවා. වේදනාවක් ඇතිව හෝ නැතිව මෙය විය හැකියි. උගුරේ, අග්නාශයේ, උදරයේ ගැටලු මේ කෙරෙහි බලපානවා. වයස් ගතවීමත් සමඟ මාංස පේශි දුබල වීම වැනි අහිංසක හේතු ද ගිලීම අපහසු කරනවා.

ආහාර කුඩා ප්‍රමාණයක් ගත්තත් පමණටත් වඩා කුස පිරී ඇති බව දැනීම ද හොඳ ලකුණක් නෙවෙන්න පුළුවන්. මෙවිට ද වෛද්‍ය උපදෙස් පතන්න. දිගින් දිගටම පවතින කැස්ස ද උපදෙස් පැතිය යුතු තත්ත්වයක්. කැස්ස සති 3 න් පමණ හරියන තත්ත්වයක් වුවත් දිගට පැවතීම සුදුසු නැහැ. හුස්ම ගැනීමේ අපහසුව, කැස්ස, ඇදුම, පෙණහලු ආබාධ, හෘද අකර්මණ්‍යතාවක පවා පෙරනිමිති වීමට පුළුවනි.

 

උපදෙස් - කායික රෝග විශේෂඥ වෛද්‍ය

වරුණ ගුණතිලක

2213 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 02, අඟහරුවාදා 11:31
අදහස් එක් කිරීමට ලොග් වෙන්න