තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ජනවාරි 29, සඳුදා 12:07

මිනිසත් බවට අර්ථයක් එක් වූවොත් ජීවිතේ හරි ලස්සනයි විශේෂාංග

ලිව්වේ  සුපුන් ජයසිංහ
අගයන්න
(0 මනාප)
දුක, සතුට, ලැබීම්, නොලැබීම්, ආදරය ප්‍රතික්ෂේප කිරීම් ඔබට, මට අපි හැමෝටම හිමි වන්නක්. අඩු වැඩිව හිමිවන්නක්. ගලා යන ගංගාවක් නිසොල්මනේ ගලා යාමෙන් වන සොඳුරු බවක් ඔබ දැක තිබෙනවාද? නැහැ නේද? ගංගාවක් සුන්දර වන්නේ ගල් බොරලු මතින් ඇද හැලෙන විටයි.

 

කවුරුත් ආසා කරන අලංකාර දියඇලි සැකසෙන්නේ එවිටය. ජීවිතයත් එවැනිය. ඒකාකාරිත්වයෙන් මිදී බාධක, කම්කටොලු මතින් ඇවිද යන ජීවිතේ ලස්සනයි නේද?

ජීවිතය කියන්නේ?

ජීවියෙකුට ජීවිතය ආශිර්වාදයකි. මිනිසෙකුට වරමකි. තමා කැමැති දේ ඉටු කිරීමට ලැබෙන වරමකි. ජීවත්වීමේදී ඔබට හමු වුණ, හමු නොවුණ දහසකුත් දේ තිබෙන්නට පුළුවන. ජීවිතය විවිධය. සියලු දෙනාට සියලු දෙය ලැබෙන්නේ නැත. තම කැපවීම, අධිෂ්ඨානය එක් වූ වාසනාව මතින් ජීවිතය දිනිය හැකිය. ජීවත්වන විටදී නොයෙක් කැප කිරීම් කරන්නට සිදුවේ. මෙලොව වැඩි වශයෙන්ම කැප කිරීම කරනුයේ මවයි.

කළලයක් වී මවගේ කුස තුළ වැඩීම ඇරැඹි මොහොතේ සිටම ඇය මෙතෙක් ඉටුකර ඇති සේවයට, කැප කිරීමට කිසි දිනක මිලක් නියම කිරිමට නොහැකිය. පියෙකුගේ සේවය, කැප කිරීම ද අතිශය ප්‍රබලය.

අප අපේ යැයි කියමින් සිටින මේ ජීවිතය අපගේ නොවේය. එය දහසකුත් පිරිසකගේ කැප කිරීම් මතින් හිමි වූවකි. එබැවින් අප ජීවත් විය යුත්තේ සියලු දෙනාම වෙනුවෙනි. ලැබූ මිනිසත් බවට අර්ථයක් එක්වන ලෙසිනි.

ඇයි ඔබ අසමත් වන්නේ

ජීවිතය සොය සොයා යනවිට ඇයි මට නොලැබෙන්නේ යැයි කියමින් ඔබ දුකට පත්වනවා ඇති. මදක් සිතා බලන්න, ඔබ ලැබූ දේවල් කෙතරම්දැයි වටහා ගැනීමට හැකිවනු ඇත. නොලැබීම් ගැනම යොමු කරන සිතෙහි සෘණාත්මක ආකල්ප දළුලා වැඩේ. සෘණාත්මක වූ සිත සතුට හඳුනන්නේ නැත. නිරන්තරව දුකින් පසු වේ.

ජීවිතයෙන් ඔබට ලබා දී තිබෙනුයේ ඔබට උචිතම දෙයයි. ගැළපෙනම දෙයයි.

ඔබට ලොකු වාහන නැති වෙයි. ඒත් ඇවිදින්න කකුල් දෙකක් තිබෙනවා නේද? ඇතැම් වෙලාවට ඒ කකුල්වලට ලස්සන සපත්තු නැති වෙයි. ඒත්, ලස්සන සපත්තු තිබුණත් සපත්තු දමන්න පාද නැති මිනිසුන් මෙලොව සිටින වග ඔබට අමතකද?

ඉතින් ඔබ ජීවිතයේ අසමත් වී නැහැ නේද? නිරන්තරව සුබවාදී මනසින් ජීවිතය දකින්න. ඔබ කවුදැයි හඳුනා ගැනීමට එවිට හැකි වේවි.

ප්‍රශ්නවලට එළියට එන්න ඉඩ දෙන්න.

සිතේ සැඟවුණ ප්‍රශ්න පිළිලයක් වගේ. සැබැවින්ම අළුයට සැඟවුණ අක්‍රීය ගිනි කන්දක් මෙන්ය. අවස්ථාව ලද විගස බිහිසුණු විපත් ඇති කරමින් කම්පනයක් ඇති කළ හැකිය. ඔබ මෙන්ම ඔබ අවට සිටින්නන් ද විනාශයට පත් කළ හැකිය. එබැවින් ඔබේ ප්‍රශ්නවලට එළියට එන්නට ඉඩ දෙන්න. ඔබේ සමීපතමයකුට සිතේ ඇති ගැටලුව පවසන්න.

සිතේ ඇති වේදනාව අඩුවන තෙක් දුක පවසන්න. තම තොරතුරු පවසන පුද්ගලයා පිළිබඳව විශ්වාසදායී බව සනාථකර ගැනීම අත්‍යවශ්‍යය. නැතිනම් ඔබ තවත් වේදනාවකට පත්වීමට පුළුවන.

ඔබට එවන් විශ්වාසී සමීපතමයකු නැතිනම්, සිතේ දුක පහව යන තෙක්ම ලියන්න. ඉන් ඔබේ සිත සුවපත් වනු ඇත.

කාලය තරම් හොඳ විසඳුමක් නෑ

ජීවිතේ හරිම පුදුමයි. ඉක්මනින්ම වෙනස් වෙනවා. කිසිදු දෙයක් එක ලෙසම පවතින්නේ නැහැ. ඔබට විසඳා ගැනීමට නොහැකි ගැටලුවක් වුවහොත් එය කාලයට බාර දෙන්න. පෙර දී ඔබ දුකට පත් කළ කරුණම පසුව ඔබේ ප්‍රීතිය වන්නට පුළුවන. දුක, සතුට වගේම මානව හැඟීම් ද කාලය සමඟ වෙනසට ලක්වේ. සියලු දෙය දෙස අවධානයෙන්, අවබෝධයෙන් බලා සිටින්න.

ජීවිතේ ප්‍රශ්න පත්තරයක්. හොඳින් පිළිතුරු ලියන්නම වෙනවා

ජීවත්වීම කලාවක්. අප ජීවත්වනවා කියන්නේ ප්‍රශ්නවලට හොඳම පිළිතුරු සෙවීමයි. පිළිතුර හොඳ හෝ නරක වුවත්, අප ප්‍රශ්නවලට පිළිතුරු සපයනවා. අද එක ප්‍රශ්නයක්. හෙට තවත් ප්‍රශ්නයක්. දවසින් දවස අලුත් ප්‍රශ්නයක්. මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු දෙන්න ඔබට අපහසු වෙන්නත් පුළුවන්. නමුත් ඒ සෑම ප්‍රශ්නයකින්ම ඔබට ජීවිතය ඉගෙන ගන්නට ලැබේවි. මදක් ඉවසීමෙන් බලා සිටින්න. ජීවිතේ නියම ලස්සන දකින්නට ලැබෙන්නේ එවිටය.

 

 

1204 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න