තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ජනවාරි 29, සඳුදා 12:27

කාන්තාවන්ට අතිශයින් අවශ්‍ය යකඩ සහ අයඩීන් විශේෂාංග

ලිව්වේ  තුසිත මලලසේකර
අගයන්න
(0 මනාප)
    කාන්තාවන් අතරින් වැඩිදෙනෙක් පෙළෙන පෝෂණ ඌනතා තත්ත්වයක් ඇත. එය හැඳින්වන්නේ යකඩ ඌනතා නීරක්තිය ලෙසයි. නීරක්තිය, රක්තහීනතාවය, ලේ අඩුකම ආදී කවර ලෙසකින් හැඳින්වුව ද එහි විද්‍යාත්මක පසුබිම වන්නේ රුධිරයේ අඩංගු හිමෝග්ලොබින් නම් වර්ණකයේ අඩුකමයි.

 

එසේ වීමට බලපාන හේතු රාශියක්ම තිබුණ ද ඉන් ප්‍රධානම හේතුව ලෙස සැලකෙන්නේ ආහාරයේ යකඩ ඛනිජය හිඟවීමයි.

පෙර සඳහන් කළ පරිදිම අප ශරීරය තුළ යකඩ වැඩි ප්‍රමාණයක් පවතිනුයේ රුධිරයේ රතු රුධිර සෛල තුළ අඩංගු හිමෝග්ලොබින් තුළය.

මිනිස් සහ සමහර සත්ත්ව රුධිර රතු පැහැයක් ගන්නේ මෙම හිමෝග්ලොබින් වර්ණකය පවතින නිසාය.

පෙනහලුවල සිට සිරුරේ සියලු සෛල කරා ඔක්සිජන් රැගෙන යන්නේත්, සෛලවල සිට පෙනහලු දක්වා කාබන්ඩයොක්සයිඩ් රැගෙන එන්නේත් මෙම හිමෝග්ලොබින් ය.

ඒ හැරුණ විට ශක්තිය මුදාහැරීමේ දී යොදන එන්සයිම, කොලෙස්ටරෝල් පරිවෘත්තිය, ප්‍රතිශක්ති ක්‍රියාකාරීත්වය හා සම්බන්ධක පටක නිෂ්පාදනය ආදී කාර්යයන් සඳහා ද යකඩ අත්‍යවශ්‍ය වේ.

යකඩ අපට ලබාගත හැකි හොඳම ආහාර ප්‍රභවයන් වන්නේ පීකුදු හා වෙනත් මස්වර්ග, මාළු, ඇටවර්ග, කොළ පැහැ පලා වර්ග වැනි ඒවායි. මේ අතින් පීකුදු සහ සත්ත්වමය ආහාරයෙන් ලැබෙන යකඩ “හීම් යකඩ” ලෙස හැඳින්වෙන අතර ශාක ප්‍රභවයන්ගෙන් සැපයෙන යකඩ “හීම් නොවන යකඩ” ලෙස හැඳින්වෙයි.

හීම් යකඩ ශරීරයට හොඳින් උරාගන්නා අතර හීම් නොවන යකඩ උරාගන්නේ සෙමින් සහ අඩුවෙනි. ඉහත සඳහන් කළ ආහාර ප්‍රභවයන්ට අමතරව බොහෝ නිෂ්පාදිත හා ටින්වල ඇසුරූ ආහාර යකඩවලින් බලකරණය කර තිබේ. ඒ බව එම ආහාර ඇසුරුම්වල සඳහන් කර ඇත.

වැඩිහිටියෙකුට සහ ආර්තවහරණයට පසු කාන්තාවකට අවශ්‍ය යකඩ ප්‍රමාණය දිනකට මිලිග්‍රෑම් 10 ක් පමණය. එහෙත් ප්‍රජනක වයසේ නැතිනම් සාඵල්‍ය වයසේ කාන්තාවකට දෛනිකව අවශ්‍ය යකඩ ප්‍රමාණය මිලිග්‍රෑම් 15ක් දක්වා වැඩිවෙයි.

ගර්භණී සහ ළදරුවකු සිය කිරෙන් පෝෂණය කරන මවකට දෛනිකව මීට වඩා යකඩ ප්‍රමාණයක් අවශ්‍යය. වර්ධනය සහ සංවර්ධනය වේගවත්ව සිදුවන ළමා හා යොවුන් වයස්වලදී ද වඩා වැඩි යකඩ ප්‍රමාණයක් අවශ්‍යය.

ශ්‍රී ලංකාවේ බොහෝ කාන්තාවන් යකඩ ඌනතාවයෙන් පෙළේ. මේ නිසා යකඩ බහුල ආහාර වැඩියෙන් ගැනීමටත් එයට අමතරව යකඩ පෙති හෝ පැණි වශයෙන් හෝ ගැනීමත් අවශ්‍යවෙයි.

ගර්භණී හා ළදරුවෙකුට කිරිදෙන මවකට එය අත්‍යවශ්‍යය. කාන්තාවන් යකඩ ඌනතාවයට ලක්වීමට ප්‍රධානම හේතුවන්නේ සමස්ත වශයෙන් ඔවුන් ගන්නා ආහාර ප්‍රමාණය (පිරිමින් හා සංසන්දනය කරන විට) අඩුවීමත්, ආර්තවයේදී රුධිර ප්‍රමාණයක් අහිමිවීමත් ය.

මේ අතර ආහාරයෙහි ඇතුළත් යකඩ ප්‍රමාණයෙන් උරාගන්නේ සියයට 10 ක් පමණක් වීම මෙම තත්ත්වයට තවත් හේතුවකි. තේ , කෝපි පානය ඇතුළු සමහර ආහාරපාන ද ආහාරයෙහි අඩංගු යකඩ

අවශෝෂණයට හරස්වීම ද මෙම තත්ත්වයට යම් දායකත්වයක් දක්වයි.

යකඩ ඌනතාවයේ ප්‍රධානම බලපෑම නීරක්තිය ඇතිකිරීමට , හිසරදය, හුස්ම ගැනීමේ අපහසුව, දුර්වලතාව, අලසබව, වෙහෙස දැනීම, හතිවැටීම, හද ගැස්ම වේගවත්වීම, දිව, ඇස් සහ නියපොතු තුළ වර්ණය ළාවීම, යනාදිය නීරක්තිය නිසා ඇතිවෙයි. නීරක්තියෙන් පෙළෙන අයෙකුට සුළු වැඩක් කළත්, සුළු ව්‍යායාම ගැනීමත්, කෙටි දුරක් ඇවිද ගියත් මහන්සිය දැනේ. හති වැටේ. පාසල් ශිෂ්‍යයන් ගැන කතාකරන විට මේ යකඩ ඌනතා නීරක්තිය පවා ඉගෙනීමට බාධාකරයි.

මතක තබා ගැනීම අපහසුකරයි. මතකය ආවර්ජනය කිරීම කළ නොහැකි වීමටත් පුළුවන.

යකඩ ඌනතාවය බොහෝ අය සුදුමැලිවීම සහ පාණ්ඩුව ලෙස හඳුන්වති.

මැටි, රටහුණු, හාල්, අළු ආදිය කෑමේ ලොල් බවක් මෙවැනි අය වෙතින් දැකිය හැකිය. මෙම ද්‍රව්‍යවල යකඩ නැතත් යකඩ ඌනතාවය ඇතිවිට ඒවා ආහාරයට ගැනීමේ ප්‍රියමනාප බවක් ඇතිවෙයි.

ගැස්ට්‍රයිටීස් රෝගය ඇතුළු රුධිරය වහනය වන රෝග පැවතීම, දීර්ඝකාලීනව ඇස්පී‍්‍රන් ගැනීම ආදී හේතූන් ද ආමාශයෙන් රුධිරය ගැලීම ආදී හේතූන් ද නීරක්තිය ඇති කිරීමට සමත්වෙයි. කිරි පෝෂ්‍ය ගුණයෙන් ඉතා උසස් ආහාරයක් වුව එහි අඩංගු යකඩ ප්‍රමාණය අඩුය.

කෙසේ වෙතත් මවුකිරි ලබන ළදරුවන්ට තමන්ට දෛනිකව අවශ්‍ය යකඩ ප්‍රමාණය මවුකිරි තුළින් ලද හැකි බව අවධාරණය කළ යුතුය. යකඩ එතරම් අඩංගු නොවූවත් සියලු ළමයින්ට කිරි ආහාර ලබාදීම අධෛර්යමත් නොකළ යුතුය. ඒ කිරි ඉතා පෝෂ්‍යදායක වූ ආහාරයක් නිසාය.

නිවෙස්වල තිබෙන යකඩ පෙති හා පැණි වර්ග කුඩා දරුවන්ට ළංවිය නොහැකි ස්ථානයක තැබීම ඉතා වැදගත්ය.

ඒ මෙම යකඩ නිෂ්පාදන පැණි රස ආහාරයක් හෝ පානයක් ලෙස සලකා දරුවන් භාවිත කළහැකි වීමය. එය විෂවීමේ තත්ත්වයන් ඇති කිරීමට සමත් ය.

අප සිරුරේ අඩංගු මුළු අයඩීන් ප්‍රමාණයෙන් භාගයක් පමණම හමුවන්නේ ගෙල ප්‍රදේශයේ පිහිටි තයිරොයිඩ් ග්‍රන්ථියෙනි. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවන තයිරොක්සීන් හෝර්මෝනයේ ප්‍රධාන සංඝටකයක් ලෙස අයඩීන් පවතියි.

ශරීරයේ ශක්ති පරිවෘත්තිය මෙන්ම ශරීර උෂ්ණත්වය, ප්‍රජනනය සහ වර්ධනය පාලනය කිරීම සඳහා තයිරොක්සීන් හෝර්මෝනය අත්‍යවශ්‍යය.

මුහුදු මාළු ඇතුළු මුහුදු ආහාර, අයඩීන් එක්කළ ලුණු අපට අයඩීන් සපයන ප්‍රධානම ප්‍රභවයන් ය.

නිසි ආකාරයෙන් අයඩීන් එක්කළ අයඩීකෘත ලුණු තේ හැන්දක මයික්‍රෝග්‍රෑම් 260 ක් තරම් අයඩීන් ප්‍රමාණයක් අඩංගුය. එම අයඩීන් දෛනික අවශ්‍යතාවයෙන් දෙගුණයක් පමණය. මේ නිසා අයඩීන් මිශ්‍ර ලුණු භාවිතය ඇරඹීමත් සමඟම අයඩීන් ඌනතාවය තුරන්වී යාමට හේතුවී ඇත.

ආහාරයෙන් ලැබෙන අයඩීන් ඌනවීම නිසා සිදුවන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය ප්‍රමාණයෙන් විශාල වී “ ගොයිටර්” නැතිනම් වායුගෙඩි තත්ත්වය ඇතිවීමයි. තයිරොක්සීන් හෝර්මෝන ඌනතාවයත් සමඟ මානසික සහ කායික බෙලහීන තත්ත්වයක් ඇතිවෙයි.

හද ගැස්මේ වේගය අඩුකරයි. ශරීරයේ බර වැඩිකරයි. මලබද්ධය ඇතිකිරීමට ද එය සමත්ය. සමහරවිට පැය 14-16 ක් තරම් කාලයක් හිඳීම අවශ්‍ය වීමට ද පුළුවන.

ගර්භණී සමයේ අයඩීන් ඌනතාවය ඉතා බරපතළ සංකූලතාවක් ලෙස කුස තුළ වැඩෙන බිලිඳාට ඇතිකරයි.

එය බිළිඳාගේ කායික හා මානසික වර්ධනය බොඳකරනවා පමණක් නොව ක්‍රෙටිනතාව්‍ය ලෙස හඳුන්වන බරපතළ වර්ධන ඌනතාවය ද ඇති කිරීමට සමත්ය.

1342 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 29, සඳුදා 12:33
අදහස් එක් කිරීමට ලොග් වෙන්න