රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 පෙබරවාරි 06, අඟහරුවාදා 10:55

අසාමාන්‍ය නොවන ආර්තව වේදනාව සුබ ලකුණක් විශේෂාංග

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
අගයන්න
(0 මනාප)
කාන්තාවකගේ ජීවන චක්‍රය පෙරැළිකාරයි. පෙරැළියේ පළමු පියවර මල්වරවීමයි. සතුටු සිතිවිලි උතුරායන මේ පුංචි සුබ නිමිත්ත ඇය මනාලියක, මවක, මිත්තණියක ලෙස පරිපූර්ණ වීමේ මංගල පියවරයි.

 

මල්වර වූ පසු දැරියකට මාසයකට දින කිහිපයක් තම දඟකාර දිවියෙන් ඈත් වී සිටීමට සිදුවේ. ඒ ඔසප් වීම නැත්නම් ආර්තවය නිසයි.

මල්වර වුණු අලුත ඔසප් චක්‍රය අක්‍රමවත් වීම ස්වාභාවිකය. එනිසා එය කිසිසේත්ම ගැටලුවක් කරගත යුතු නැත. එහෙත් පසුව ඔසප්වීම ක්‍රමානුකූලව සිදුවේ.

සාමාන්‍යයෙන් නිරෝගී කාන්තාවකට දින 28 - 30 කට වරක් ආර්තවය සිදුවේ.

මෙහිදී සිදුවන්නේ කාන්තා හෝර්මෝනවල වෙනස්වීම් නිසා ගර්භාෂය ආස්තරණය කරන ශ්ලේමල පටල (එන්ඩොමෙට්‍රියල් ලයිනිං) බිඳ වැටී රුධිරය පිටවීමය.

ඔසප්වීම ඇරැඹී පළමු දින කීපයේදී යටි බඩේ වේදනාවක්, අපහසුතාවක් දැනීම සාමාන්‍යයි.

එහෙත් ඇතැමුන්ට ඇතිවන්නේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාමට අපහසු තරම් උග්‍ර වේදනාවකි.

මල්වර වූ පසු දැනුණු වේදනාවට වඩා, සාමාන්‍ය ඔසප් වේදනාවට වඩා ක්‍රමයෙන් වැඩිවන වේදනාවක් ඇත්නම්, මින් පෙර නොවූ විරූ අන්දමේ දැඩි වේදනාවක් ඇත්නම් එය එන්ඩොමිට්‍රියෝසිස් නම් රෝග තත්ත්වය ඇති බවට ඉඟියක් විය හැකියි.

තදබල වේදනාව ආර්තවයේදී ඇතිවන රුධිර වහනයට දිනකට හෝ දින කීපයකට පෙර හට ගැනීමට පුළුවන.

ඇතැම් අයට ඔසප්වීම සිදුවන දිනවලදී ද ඉන් පසුව ද වේදනාව පවතී.

එදිනෙදා කටයුතුවලට සම්පූර්ණ බාධාවක් වන තරමට වේදනාව බරපතළය.

පාසල් යන වයසේ දැරියෝ පාසල් නොයති. රැකියාවට යන කාන්තාවෝ ද මේ ලෙඩ නිවාඩු ගන්නා කාලයකි. අධික යටි බඩේ වේදනාවට අමතරව දිගටම වමනය යාම, තුනටියේ වේදනාව හටගනී.

විවාහක කාන්තාවකට නම් සබඳතාවලදීත් වේදනාවක් ඇතිවීමට පුළුවන.

එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වයේදී මෙවැනි වේදනාවක් ඇති වන්නේ ඇයි?

ගර්භාෂය ආස්තරණය කරන ශ්ලේෂ්මල පටලය බිඳ වැටීමත් සමඟ වේදනාවක් ඇතිවේ. සාමාන්‍යයෙන් මේ ශ්ලේෂ්මල පටලය සාදන ශ්ලේෂ්මල සෛල (එන්ඩොමෙට්‍රියල් සෙල්ස්) පිහිටන්නේ ගර්භාෂයේය.

එහෙත් රෝගී තත්ත්වය ඇති කාන්තාවන්ගේ මේ සෛල ඉතා සුළු වශයෙන් ගර්භාෂයෙන් පිටත ශ්‍රෝණි කුහරයේ ද පිහිටීමට ඉඩ තිබේ.

ඊට අමතරව ඩිම්බකෝෂ, මුත්‍රාශය, අන්ත්‍ර, ගුද මාර්ගය ආශ්‍රිතව ද ශ්ලේෂ්මල සෛල තැන්පත් වී ඔසප්වීමකදී මෙන් ක්‍රියා කරන අවස්ථා ඇත. ගර්භාෂයෙන් පිටත සිදුවන රුධිර වහනය දැඩි වේදනාකාරීය.

ශ්‍රෝණි ඇතුළත බිත්තියේ තැන්පත් වී රුධිර වහනය වනවිට කැළැල් පවා ඇතිවේ. පරීක්ෂණවලින් සොයාගෙන ඇති අන්දමට කැළැල් ඇතිවන තැන වේදනාව ඇති කරන රසායන ඇත. අධික වේදනාව පිටුපස ඇති රහස එයයි.

කෙතරම් උග්‍ර ලෙස රෝගය තිබුණ ද මෙය පිළිකාමය තත්ත්වයක් නම් නොවෙයි.

 රෝගය හඳුනා ගැනීම හා ප්‍රතිකාර

රෝගය ඇති බවට සැකයක් ඇත්නම් ඩිම්බකෝෂ ආශ්‍රිත ස්කෑන් පරීක්ෂණයක් සිදුකරයි. ඇතැම් කාන්තාවන්ගේ ඩිම්බකෝෂවල එන්ඩොමෙට්‍රියල් සිස්්ට් / චොකලට් සිස්ට් ලෙස හඳුන්වන රුධිරය පිරුණු ගෙඩි දැකිය හැකියි. ස්කෑන් පරීක්ෂණයෙන් මේ තත්ත්වය හොඳින් හඳුනාගත හැකියි. ගර්භාෂයේ කැළැල් ස්වභාවය වැඩිනම් ඩිම්බකෝෂ ගර්භාෂයට ඇලී තිබෙන්නට පුළුවන.

ප්‍රතිකාර වශයෙන් මොවුන්ට හෝර්මෝන පෙති (උපත් පාලන පෙති) ලබා දෙයි.

මෙහිදී සිදු කරන්නේ හෝර්මෝන පෙති මඟින් ආර්තව චක්‍රයේදී සිදුවන හෝර්මෝන වෙනස්වීම පාලනය කිරීමයි. මීට අමතරව පවුල් සංවිධානය සඳහා දෙනු ලබන ඩිපොප්‍රොවේරා එන්නත දින 28 කට වරක් ලබාදීම ද ප්‍රතිකාර වශයෙන් සිදු කෙරෙන්නෙකි.

මෙයින් සිදු කරන්නේ ආර්තව චක්‍රයේ හෝර්මෝන වෙනස්වීම තාවකාලිකව නැවැත්වීමයි.

ලැපරස්කොපි මඟින් රෝගය අකුරටම නිවැරැදිව හඳුනා ගැනීමට හැකිවෙනවා සේම සැත්කම් ද කළ හැකියි. රෝගියා නිර්වින්දනයට ලක්කර උදරයේ ඉතා කුඩා සිදුරක් ඇතිකර සියුම් කැමරාවක් උදරයට ඇතුළු කිරීම මෙහිදී සිදු කෙරෙයි.

ගර්භාෂයේ ඇති වූ කැළැල් තත්ත්වය සුව කිරීමටත්, ඩිම්බකෝෂයේ ඇති රුධිරය පිරුණු ගෙඩි ඉවත් කිරීමටත් හැකිවීම ලැපරස්කොපි පරීක්ෂණයේ සුවිශේෂී වාසියකි. එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය දරුණු ලෙස පැවතීම මඳසරුභාවයට හේතුවකි.

රෝගී තත්ත්වය නිසා ඩිම්බකෝෂ, පැලෝපීය නාල හා ගර්භාෂයට හානි සිදුවීමට ඉඩ ඇත.

එම ඉන්ද්‍රීය හා අවයවවල ඇතිවන විකෘතිතා හේතුවෙන් ශ්‍රෝණියේ සාමාන්‍ය ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරිත්වයන්ට පවා බාධා සිදුවීමට ඉඩ තිබේ.

විවාහක කාන්තාවක මඳසරු බවින් පීඩා විඳිනවා නම්, සම්බන්ධවීමේදී වේදනාවක් ඇත්නම් වහාම නාරි හා ප්‍රසව වෛද්‍ය පරීක්ෂණයකට යොමු විය යුතුයි. ඉහත අවස්ථා දෙකේදීම රෝගියා සැත්කමකට ලක් කිරීමට ඉඩ ඇත.

රෝග ලක්ෂණවලින් බරපතල ලෙස පීඩාවට පත් කාන්තාවන්ගේ ඩිම්බකෝෂ හා ගර්භාෂය ඉවත් කිරීමට සිදුවන අවස්ථා ද තිබේ. එහෙත් එසේ කිරීමට සිදුවන්නේ ඉතා කලාතුරකිනි.

  මහරගම පිළිකා රෝහලේ හා අපේක්ෂා කාන්තා සෞඛ්‍ය

මධ්‍යස්ථානයේ නාරි හා ප්‍රසවවේද විශේෂඥ

වෛද්‍ය සමන්ති ප්‍රේමරත්න

 

 

1309 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 06, අඟහරුවාදා 10:59
අදහස් එක් කිරීමට ලොග් වෙන්න