තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 පෙබරවාරි 06, අඟහරුවාදා 11:22

ඔබට අවශ්‍ය ඛනිජ පෝෂක වර්ධනයට අත්‍යවශ්‍ය වූ සින්ක් විශේෂාංග

ලිව්වේ  තුසිත මලලසේකර
අගයන්න
(0 මනාප)
සිරුර තුළ තිබෙන සින්ක් ඛනිජයෙන් වැඩි ප්‍රමාණයක් පවතින්නේ අස්ථි තුළය. සම, කෙස්, රෝම, නියපොතු ආදියෙහි ද සින්ක් පවතියි. පිරිමි තුළ අනෙක් කවර ඉන්ද්‍රියකටවත් වඩා සින්ක් හමුවන්නේ පුරස්ථි ග්‍රන්ථි තුළදී ය.

 

 

ආහාරයෙන් අප ගන්නා කාබෝහයිඩ්‍රේට්, මේද, ප්‍රෝටීන් පරිවෘත්තියට හවුල්වන එන්සයිම 70 කට වඩා වැඩි සංඛ්‍යාවක් වන එන්සයිම තුළ ද සින්ක් අඩංගුය. මේ අතරින් සුපර්ඔක්සයිඩ් ඩයිමියුටේන් නම් එන්සයිමය සෛල තුළ ප්‍රතිඔක්සිකාරකයක් ලෙස කටයුතු කරයි. සංචිත තුළ සිට අක්මාව දක්වා විටමින් ඒ පරිවහනය කිරීම ද සින්ක්වල කාර්යයකි. ඉන්සියුලින් හෝර්මෝනය තුළ ද සින්ක් අඩංගුය.

මස්, කුකුල් මස් , බිත්තර, බෙල්ලන්, පීකුදු ආදිය තුළ සින්ක් සුලබය. ධාන්‍ය සහ පියළි ඇට තුළ සින්ක් පැවතියද ඒවායෙහි අඩංගු පයිටේට් රසායනිකය නිසා සින්ක් අවශෝෂණයට බාධා පැමිණෙයි.

පිරිමියෙකුට දිනකට මිලිග්‍රෑම් 15 ක් ද, ගැහැනියෙකුට මිලිග්‍රෑම් 12 ක් වශයෙන් ද අවශ්‍ය වන අතර ගර්භණී හා කිරිදෙන මවුවරුන් හට ඊට වඩා වැඩි සින්ක් ප්‍රමාණයක් අවශ්‍යය.

සින්ක් ඌනතාවය නිසා වර්ධනය බාලවන අතර ලිංගික වර්ධනයද පසු බෑමකට ලක්වෙයි. තුවාල සුවවීම පමාකිරීමට, ශුක්‍රාණු ප්‍රමාණය අඩුකිරීමට, ප්‍රතිශක්ති පද්ධතිය හා හැකියාව දුර්වල කිරීම, ආහාර රුචිය අඩුවීම, රස සහ සුවඳ දැනීම අඩුවීම යනාදී ගැටලු ඇති කිරීමට සමත් වෙයි.

 

දතට පණදෙන ෆ්ලෝරයිඩ්

 

දත්, අස්ථි සහ ශරීර තරල තුළ හමුවන තවත් ඛනිජ පෝෂකයක් ලෙස ෆ්ලෝරයිඩ් හැඳින්වීමට පුළුවන. අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර මූල ද්‍රව්‍යයක් ලෙස සැලකෙන ෆ්ලෝරයිඩ් ඇට, දත් සහ ශරීර තරල තුළ හමුවෙයි. ඇට සහ දත් සෑදීමේ දී ඒවායේ ව්‍යුහය තුළට ෆ්ලෝරයිඩ් එක්වී ඒවා ශක්තිමත් කරයි. ඇට සහ දත් නිරෝගීව රැකගැනීමට ද ෆ්ලෝරයිඩ් අවශ්‍යය. ෆ්ලෝරයිඩ්හි දෛනික අවශ්‍යතාවය ලෙස නියමයක් නැතත් දිනකට මිලිග්‍රෑම් 1.5-4 දක්වා වූ ප්‍රමාණයක් සෑහේ යයි සැලකේ. ජලය, මාළු සහ තේ අපට අවශ්‍ය ෆ්ලෝරයිඩ් සපයන ප්‍රභවයන්ය.

ෆ්ලෝරයිඩ් අඩුවූ විට දත් හා අස්ථිවල ශක්තිමත්භාවය පහළ බසියි. විශේෂයෙන්ම දත් ෆ්ලෝරයිඩ් ඌනතාවයෙන් මුදවා ගැනීමට දන්තාලේපවලට ෆ්ලෝරයිඩ් එක් කෙරේ. ජලයේ පවතින ෆ්ලෝරයිඩ් ප්‍රමාණය වැඩි ප්‍රදේශවල දත් දන්ත ෆ්ලෝරෝසියාව නම් දිරායාමේ තත්ත්වයට ලක්වෙයි.

 

කොපර් (තඹ)

 

දිනකට මිලිග්‍රෑම් 1.5- 3 දක්වා අවශ්‍ය වන කොපර් ද සිරුරට ඉතා සුළු වශයෙන් අවශ්‍යය. සිරුරට යකඩ උරා ගැනීමට සහ යකඩ භාවිතයට කොපර් අවශ්‍යය. හිමොග්ලොබින් සහ කොලැජන් තැනීමට අවශ්‍ය එන්සයිම තුළ කොපර් ද අඩංගුය. ඉස්සන්, කකුළුවන් වැනි මාළු, පීකුදු, පියළි ඇට, ඇට වර්ග, කොකෝවා, එළවළු හා පලතුරු තුළින් සිරුරට අවශ්‍ය කොපර් සැපයෙයි. ඉතා තදින් මන්දපෝෂිත වූ ළමයින් තුළ එසේ කොපර් ඌනතාවයක් දකින්නට ඇත.

 

ක්‍රෝමියම්

 

ඉන්සියුලින් හෝර්මෝනයේ ක්‍රියාව නියාමනය කරන සාධකය තුළ ක්‍රෝමියම් අඩංගුය. ක්‍රෝමියම් ඌනතාවය සහිත පුද්ගලයන් තුළ ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදුනොවේ. මිලිග්‍රෑම් 0.05-0.2 දක්වා වන දෛනික අවශ්‍යතාවය නිවුඩ්ඩ සහිත ධාන්‍ය මස්, චීස්, මල්ගෝවා සහ බිත්තර ආහාරයට ගැනීමෙන් සපයා ගත හැකියි.

 

මැන්ගනීස්

 

අපේ ශරීරය තුළ ඇති මුළු මැන්ගනීස් ප්‍රමාණය මිලිග්‍රෑම් 20 ක් පමණය. සම්බන්ධක පටක වර්ධනයට සහ නිසි ආකාරයෙන් අස්ථි සැකසීමට මැන්ගනීස් අවශ්‍යය. එසේම ශරීරය තුළ පරිවෘත්තීය ක්‍රියා නිසියාකාරයෙන් සිදුකරන එන්සයිම ගණනාවකම නියාමකයන් ලෙස මැන්ගනීස් කටයුතු කරයි. එය සුපර්ඔක්සයිඩ් ඩිස්මියුටේන් නම් එන්සයිමයේ අංගයක් වන නිසා එය ප්‍රතිඔක්සිකාරයක් ලෙස ද ක්‍රියාකරයි.

නොපාහින ලද ධානය, පියළි ඇට වර්ග සහ ඇට මැන්ගනීස් සපයන ප්‍රධාන මූලාශ්‍රයන්ය. දිනකට මිලිග්‍රෑම් 2.00 -5.00 ක් පමණ අවශ්‍යයැයි සැලකෙන මැන්ගනීස් ඌනතා සාමාන්‍යයෙන් වාර්තා නොවේ.

 

සෙලේනියම්

 

මිනිස් සිරුරේ අක්මාව, වකුගඩු, ප්ලිහාව, අග්න්‍යාශය සහ වෘෂණ තුළ වැඩි සාන්ද්‍රණයකින් හමුවන සෙලේනියම් සිරුරේ සියලු පටක තුළ සුළු වශයෙන් හමුවෙයි.

ග්ලූටතියෝන් පෙරොක්සයිඩ් එන්සයිමයේ පංගුකාරයෙක් වන සෙලේනියම් එමඟින් ප්‍රතිඔක්සිකාරකයෙක් ලෙස කටයුතු කරයි.

මුක්ත අංශු (ෆ්‍රී රැඩිලේන්) නිසා ඇතිවන සෛල හානි සමනය කිරීමට සෙලේනියම් සමත් ය.

සෙලේනියම් හිඟවූ විට එම හිඟය පිරවීමට ඡ් විටමිනය සමත් බැවින් සෙලේනියම් ඌනතාවය වාර්තාවන්නේ කලාතුරකිනි. කෙසේ වෙතත් සෙලේනියම් ඌනතාවයක් ඇති වුවහොත් එය හෘදය ක්‍රියාකාරීත්වයට බලපෑමට සමත් ය.

ධාන්‍ය, මස් සහ මාළු සෙලේනියම් සපයන ප්‍රධාන ආශි‍්‍රතයන්ය. එහි දෛනික අවශ්‍යතාවය මයික්‍රෝග්‍රෑම් 70 ක් (පිරිමි) සහ මයික්‍රෝග්‍රෑම් 55 ක් (කාන්තාවන්ට) ලෙස සැලකෙයි.

සෙලේනියම් විෂවීම් ඇතිකළ හැකි නිසා අතිරේකව සෙලේනියම් ලැබිය යුත්තේ වෛද්‍ය උපදෙස් අනුව පමණය.

 

මොලිබ්ඩිනම්

 

පිෂ්ඨය, මේද සහ ප්‍රෝටීන් පරිවෘත්තිය සඳහා ක්‍රියාකරන එන්සයිම සමූහය තුළ මොලිබ්ඩිනම් ඛනිජය හමුවෙයි. නිවුඩ්ඩ සහිත ධාන්‍ය, පැළවෙන ධාන්‍ය අංකුර, පියළි ඇට, පීකුදු ආදිය අවශ්‍ය මොලිබ්ඩිනම් සපයයි. දෛනික මොලිබ්ඩිනම් අවශ්‍යතාවය මිලිග්‍රෑම් 0.07 සිට 0.2 ක් පමණය. අප ගන්නා ආහාර තුළින් එය නොඅඩුව සැපයෙයි.

 

කොබෝල්ට්

 

මෙම ඛනිජ පෝෂකය හමුවන්නේ බී - 12 විටමිනය සමඟ සංයෝගවීය. එය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාකාරකම් සඳහා දායක වෙයි. විටමින් බී -12 සපයන සත්ත්ව මූලයන්ගෙන් සැපයෙන ආහාර කොබෝල්ට් ද සපයන නිසා එහි අඩුවක් ඇති නොවේ.

මේ හැරුණ විට තවත් ඛනිජ මූලද්‍රව්‍යය ගණනාවක් ඉතා සුළු වශයෙන් අපට අවශ්‍ය වේ. සමතුලිත මිශ්‍ර ආහාරවේල් ගන්නා විට මේ සියලු ඛනිජ පෝෂක නොඅඩුව සපයා ගැනීමට අපට හැකිවෙයි.

 

 

 

 

414 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 06, අඟහරුවාදා 11:25
අදහස් එක් කිරීමට ලොග් වෙන්න