තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 මාර්තු 05, සඳුදා 13:46

ලොව බලගතුම ළඳුන් හමුවෙමු විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
ගැහැනිය සියුමැලිය. ළඳ බොළඳය. ඒ සොබාදහම ඇයට දායාද කර ඇති රූපයයි. විස්මිත ඉවසීමේ හා දරාගැනීමේ හැකියාවක් ඇති ඇයට ලොව බබළවන්නට මෙන්ම ලොව විනාශ කරන්නට ද හැකියි. එයට ලෝක ඉතිහාසය ද සාක්ෂි සපයයි. අතීතය දෙස පසුවිපරමක යෙදෙන ඕනෑම අයකුට එලෙස ලොව බැබළවූ කාන්තා චරිත සේම ලොව විනාශ කළ චරිත ද හමුවේ. අපි මේ කියන්නට යන්නේ අද ට ද ලොව බබළවන, බලවත් කාන්තා චරිත රැසක් අතුරෙන් කිහිප දෙනෙකු ගැනයි. තවත් එක් ජාත්‍යන්තර කාන්තා දිනයක් අභිමුව හිඳ මේ කතුන් ගැන කියැවීම ඔබේ දිවියට ද ආදර්ශ සපයනු ඇත.

 

 

සෝනියා ගාන්ධි

  1946 වසරේ දෙසැම්බර් 9 වැනි දින ඉතාලියේ ලුසියානෝ හි දී උපත ලද සෝනියා මායිනෝ ආසියාතික රටක ප්‍රබල චරිතයක් වේ යැයි කවුරුත් නො සිතන්නට ඇත. ඒ ආසියාවේ ප්‍රබල රට ඉන්දියාවයි. ඇය එහි හිටපු අගමැතිවරයෙකු වූ රජිව් ගාන්ධි ගේ බිරියයි. ඉන්දිරා ගාන්ධි මැතිනියගේ ලේළියයි. දේශපාලනයට පැමිණෙන්නට කිසිදු කැමැත්තක් නොදැක් වූ ඇය කාලයාගේ අවෑමෙන් අද ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සභාපතිනියයි. පියවිප්පයෝග සම සිතින් දරාගනිමින් තරුණ අවධියේම වැන්දඹුවක වූ සෝනියා දෙදරු මවකි. බටහිර රටක උපත ලැබුව ද තම සැමියාට ඇති සෙනෙහෙවන්තකම නිසාම අපරදිග ළඳක් සේ හැඩවෙමින් අපරදිග සම්ප්‍රදායන්ට ගරුකරමින් ජීවිතය හැඩගස්සවාගත් ඕ ගරු කළ යුතු කාන්තාවන් අතර පෙරමුණ ගන්නේ බටහිර ජේත්තුකාර ළඳකට මේ සා කැපකිරීම් කළ හැකිදැයි ආසියානුවන් සේම බටහිර ප්‍රජාව ද පුදුමයට පත්කරන නිසාය. ආසියානු රටක උපන් අපේ සමහර ළඳුන් සිය විවාහයෙන් පසු සැමියාගේ අභිමතයන්ට ගරුකරමින් වෙනස් වීමට නොහැකි යැයි පවසා විවාහයන් කඩා ඉහිරවාගෙන යයි. එවැනි ළඳුන්ට සෝනියා ආදර්ශයක් නොවේද? 71 වැනි වියේ පසුවෙන ඇය අද රාහුල් ගාන්ධිගේ සෙවණැල්ල සේ හිඳිමින් ඔහුට අත්වැලක් වෙයි.

අවුන් සාන් සූ කී

එදා බුරුමය, අද මියන්මාරය ලෙස හඳුන්වන දේශයේ යැන්ගුන් නුවරදී 1945 ජුනි 19 වැනි දින උපන් බිලිඳිය අවුන් සාන් සූ කී නම් විය. මියන්මාර් වැසියන් ජාතියේ පියා ලෙසින් හඳුන්වන මියන්මාරයේ හිටපු අගමැති අවුන් සාන්ගේත් ඉන්දීය තානාපතිවරියක ලෙස සේවය කළ කින් කයි ගේත් තෙවැනි දියණිය ඇයයි. 1964 දී මව ඉන්දියාවට පැමිණීමත් සමඟ එහි පැමිණි සූ කී සිය පළමු උපාධිය ලබාගන්නේ දිල්ලි විශ්වවිද්‍යාලයෙනි. 1968 දී එංගලන්තය බලා පිටත්වන සූ කී 1968 දී ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළත් වෙයි. එයින් පිටවන ඇය වසර තුනක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරන අතර කියුබාවේ හවානා හි උපන් මයිකල් හැරිස් සමඟ විවාහ වෙයි. 1972 වසරේ දී විවාහ වූ සූ කී ට දරුවන් දෙදෙනෙකි. 1988 වසරේදී මව මියයාමෙන් මවු රටට පැමිණෙන ඇය දේශපාලනයට එක්වෙයි. මියන්මාර් ඒකාධිපති ජුන්ටාවට එරෙහිව හඬ අවධි කිරීමේ වරදට 1989 වසරේ දී නිවාස අඩස්සියට පත්වන ඇයට සම්පූර්ණ නිදහස ලැබෙන්නේ 2010 වසරේ දී අවුරුදු 21 ක ට පසුවය. ඒ අතර කාලයේ පාලකයන් ඇයව නිදහස් කරන්නට කැමැති වන්නේ ඇය රටින් පිටව යන්නේ නම් පමණකැයි සඳහන් කරයි. එහෙත් තමා කෙරෙහි විශ්වාසයෙන් හිඳින අහිංසක ජනතාව අතැර යන්නට ඇය කැමැති වන්නේ නැත. එනිසාම ඇයට උරුම වූයේ නිවෙස තුළටම වී හිඳින්නටයි. මේ වසර 21දී ඇයට සැමියා හා දරුවන් මුණගැසෙන්නේ සීමිත වාර ගණනක දී පමණි.

සිය කාලය පොත් කියවීමට යොමුකරන මේ ධෛර්යවන්ත කාන්තාව ඒ අතරතුර පොත් කිහිපයක් ද රචනා කරයි.  'Freedom from fear', 'Letters from Burma', 'The voice of hope',  ආදී කෘති ලියැවෙන්නේ ඒ කාලයේ දීය. 1991 වසරේ දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ සූ කී ජවහලාල් නේරු, තෝරොෆ් රැෆ්ලෝ ආදී ලෝකයේ විවිධාකර සම්මානයන්ට හා ඇගැයුමට ද පාත්‍ර වන්නීය. අද ඇය නිදහස් දේශයක, නිදහස් කාන්තාවක ලෙස සිය රටටත් ජනතාවටත් සේවය කරයි. ඒ මියන්මාරයේ පළමු රාජ්‍ය උපදේශකවරිය ලෙසත් විදේශ කටයුතු අමාත්‍යවරිය ලෙසත්ය.

දෙවැනි එළිසබෙත් රැජින

ලොව බලවත් ළඳුන් පිළිබඳ කතා බහක දී කිසිදු හේතුවක් නිසා බැහැර කළ නො හැකි ළඳක් වේ නම් ඒ දෙවැනි එළිසබෙත් රැජිනයි. 1926 අප්‍රේල් 21 වැනිදා හයවැනි ජෝජ් රජතුමාටත් එළිසබෙත් ඇන්ජලා රැජිනටත් දාව උපන් කුලුඳුල් දරුවා දියණියකි. එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මාරි නමින් නම් ලද ඕ අවුරුදු 26 දී සිය පියාගේ මිය යාමෙන් පසුව බ්‍රිතාන්‍ය රජ කිරුළ හිස දැරීය.

එදවස පටන් අදටත් ඕ එංගලන්තයේ රැජිනයි. හිරු නොබසින අධිරාජ්‍යයේ රැජිනයි.

1934 වසරේදී 13 හැවිරිදි දැරියකව සිටියදී හමුවන පිලිප් මවුන්ට්බැට්න් සමඟ පෙමින් බැඳෙන එළිසබෙත් කුමරියගේ පළමු හා එකම ආදරයත් එයයි.

1947 දී එළිසබෙත් කුමරියට අවුරුදු 21 ක් වෙද්දී මේ ප්‍රේමණීය යුවළ විවාහ ගිවිස ගනී. එදා මෙදා තුර අදටත් ඔවුන් බොහෝ ප්‍රේමණීය යුග දිවියක් ගෙවයි.

විවිධාකාර සම්මානයන්ට නම්බුනාමයන්ට පාත්‍ර වූ රැජින ගෙවන යුගදිවිය ලොව සියලුම කතුන්ට ගෙනෙන්නේ ආදර්ශයකි.

බ්‍රිතාන්‍ය රජ කිරුළ වැඩිම කාලයක් දැරූ පුද්ගලයා ලෙසට ද වාර්තා පොතට එක්වී හිඳින ඇය දරුවන් හතර දෙනකුගේ මවකි.

මුණුපුරු මිනිබිරියන් අටදෙනකු හිඳින එළිසබෙත් රැජිනට අද මී මුණුබුරන්ගේ හා මී මිනිබිරියන්ගේ ආදරය ද විඳගන්නට වාසනාව ලැබී ඇත.

එංගලන්තයේ වින්ඩ්සර් මාලිගයේ දිවි ගෙවන ඇය දැන් 92 වැනි වියේ පසු වෙයි.

ශික් හසීනා

 බංගලාදේශයේ වත්මන් අගමැතිනිය ඇයයි. 1947 සැප්තැම්බර් 28 වැනිදා එවකට නැගෙනහිර පාකිස්ථානයේ (අද බංගලාදේශය) දී උපන් ශික් හසීනා මුස්ලිම් ජාතික කාන්තාවකි. ඇය බංගලාදේශයේ පළමු හා හතර වැනි ජනාධිපති වූ සික් මුඛර්ජි රහමන්ගේ දියණයයි. තෙවරක්ම අගමැති වන්නට හැකි වූ ශික් හසීනා මුස්ලිම් රටක මුස්ලිම් කාන්තාවක ලෙස ආ දුර පුදුම සහගතය. සමහර විට ඇය දේශපාලන පවුලකින් පැවත ඒම එයට හේතුව වන්නට ඇත. කුඩා කල සිය පියාගේ දේශපාලන මතවාද නිසා බොහෝ බියෙන් දිවි ගෙවූ ඇය පියා අත්අඩංගුවට පත්වීමෙන් ආච්චි අම්මා සමඟ දිවි ගෙවා ඇත. සිය පාසලට යන්නට ඇති මාර්ගයේ ගංගාවක් තිබී ඇති අතර එම ගංගාව තරණය කරන්නට ඇය බිය වී ඇත. ඒ එහි තිබූ ලී පාලමෙන් ඇය ගඟට වැටේ යැයි තිබූ බියයි. එලෙස බියට පත් ඇය අද රටක් මෙහෙයවන අගමැතිනියකි. ඩකා සරසවියේ ඉගෙන ගන්නා කාලයේ දී දේශපාලයනයට පිවිසෙන ඇයට කීපවරක්ම නිවාස අඩස්සියේ පසුවන්නට ද සිදුවිය. අවාමි ලීග දේශපාලන පක්ෂයේ නියිකාව වන ඇය පළමුව විපක්ෂ නායක ධූරයට පත්වූ අතර ඉන්පසු මහජන ඡන්දයෙන් තෙවරක් ම අගමැති විය. දියණියකගේ සහ පුතකුගේ මවක් වන ඇය ෆෝබර්ස් සඟරාව නම් කරන ලොව බලගතුම කාන්තාවන් සිය දෙනා අතර ද හිඳින්නීය. එපමණක් නොව ඇය ලෝක කාන්තා කවුන්සිලයේ ද සාමාජිකාවකි. විවිධාකාර සම්මාන හා ඇගැයුම් රැසකින් ඇය පිදුම් ලබා ඇත.

ඇන්ජලා මර්කල්

ජර්මනියේ වත්මන් චාන්සලර්වරිය වන ඇය එහි පළමු කාන්තා චාන්සලර්වරිය ලෙසින් ද වාර්තා පොතට එක් වී හිඳී. 1954 ජුලි 17 වැනි දින ආගමික නායකයකුට හා ඉංගී‍්‍රසි ගුරුවරිකට දාව ඇන්ජලා ඩොරති කැස්නර් ලෙස බටහිර ජර්මනියේ දී උපත ලබයි. 1989 දී දේශපාලනයට පිවිසුණු ඇන්ජලා කීපවරක්ම චාන්සලර් පදවිය සඳහා තරග කළ ද ඉන් පරාජයට පත් විය. එහෙත් අවසානයේ 2005 වසරේ දී ඉන් ජයග්‍රහණය කළ ඇන්ජලා හතර වරක්ම ඒ සඳහා තේරී පත් විය.යුරෝපා රටවල් අතර බලගතුම චරිතයක් ලෙසින් හැඳින්වෙන ඇය යුරෝපයේ මතය වෙනස් කළ හැකි කාන්තාව ලෙසින් ද හඳුන්වයි. ඉන්දියාවෙන් පිදෙන ජවහලාල් නේරු සම්මානය ඇතුළු සම්මාන හා ගරුබුහුමන් රැසකට හිමිකම් කියයි. එමෙන්ම උපාධි ගණනාවකින් ද ඇය පිදුම් ලබා ඇත.

1312 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 05, සඳුදා 13:47
අදහස් එක් කිරීමට ලොග් වෙන්න