තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 අප්‍රේල් 24, අඟහරුවාදා 13:19

මල් කැකුළුවලට විකසිත වන්නට ඉඩ දෙමු...... විශේෂාංග

ලිව්වේ  යශෝදා ඉන්දීවරී
අගයන්න
(0 මනාප)
මා මේ ලියන මොහොතේත් ලොව කොතැනක හෝ ළමා හිංසනයක්, ළමයින්ට සිදුවන අකටයුත්තක්, ළමා අපචාරයක් සිදුවෙනවා ඇති. කනගාටුවෙන් වුවත් එය ලිවීම අත්‍යවශ්‍යයි.

 

අනාගතය භාර ගැනීමට සිටින මේ ළමා පරපුර දිනෙන් දින විශාල ඛේදවාචකයන්ට මුහුණ දෙන බව නැවත නැවත කිව යුතුය. මේවාට වග කියන්නේ කවුද? මල් කැකුළු වන් ජීවිත අකාලයේ පරවී යන්නට ඉඩ නොදීම අපි කාගේත් වගකීමකි. යුතුකමකි.

ශ්‍රී ලංකාව කියන අපේ මේ උතුම් මවුබිමේ නැතිනම් බුදුන්ගේ සිරිපා පහස ලැබූ මේ භූමිය තුළින් එවන් අපරාධ ක්‍රියාඑනම් ළමා අපචාර, ළමා හිංසනයන්, අකටයුතුකම් සිදුවන බව අකැමැත්තෙන් වුව කිව යුතුය.

පසුගිය දිනවල එවැනි සිදුවීම් නිරන්තරයෙන්ම අසන්නට, දකින්නට ලැබුණි. මේවා අසන්නට, දකින්නට සිදුවීම පවා පාපයකි. මෙහිදී දෙමවුපියන් වශයෙන් පළමුව වගකීම පැවරෙන්නේ ආදරණීය අම්මේ, තාත්තේ ඔබටයි. ඔබගේ දරුවන්ගේ ආරක්ෂාව ගැන මෙතැන් පටන් හෝ තවත් වැඩියෙන් සැලකිලිමත් වෙන්න. කිසිවිටෙකත් ඔබගේ යුතුකම්, වගකීම් පැහැර හැරෙන්න දෙන්න එපා. එසේ වීමෙන් පසුකලෙක තැවෙන්නට සිදු වන්නේ ද ඔබටමය.

මේ පිළිබඳ අපේ රටේ සිටින ප්‍රවීණ ලේඛිකාවක, දේශිකාවක, තිර රචිකාවියක, කලාකාරිනියක මෙන්ම චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරියක ද වන තුෂාරි අබේසේකර මහත්මිය සමඟ වත්මන් ළමා පරපුර මුහුණ දෙන ඛේදනීය ඉරණම ගැන සාකච්ඡා කළෙමු.

දෙමවුපියන් අතින් තම දරුවන් සම්බන්ධ වගකීම ගිලිහෙනවා කියන්නේ දරුවාගේ විනාශය කැඳවීමක් වැනියි.

“ගොඩක් වෙලාවට පොඩි දරුවො විනාශ වන්න දෙමවුපියන්ගේ නූගත්කම, නොසැලකිල්ල බලපානවා. එවගේම ඒ දරුවා ගොඩනැඟෙන නැතිනම් හැදී වැඩෙන පරිසරය බලපානවා. උගත්, බුද්ධිමත් අම්මා, තාත්තා කෙනෙක් හිතන තරම් දුර නූගත් දෙමවුපියන්ට හිතන්න අමාරුයි. නමුත් මේ හැමෝටම පුළුවන් තමන්ගෙ දරුවන්ට ආදරය කරන්න. හැම අම්මෙක්, තාත්තෙක්ම තමන්ගේ දරුවන්ට ආදරෙයි. ඉතිං මේ ආදරය මත තමා ආරක්ෂාව රඳා පවතින්නෙ.”

“තාක්ෂණික පැත්තෙන් ලෝකය දියුණු වනවිට මිනිස්සු අතට එක එක මෙවලම් ලැබෙනවා. මේ නිසා ලෝකෙ පුරා ඇඟිලි දෙකකින් යන්න පුළුවන් වෙලා තිබෙනවා. මේ යන ගමනේ අපේ අය ගොඩක් දෙනා හොඳ දේ තියෙද්දී නරක දේ බලන්න පෙළඹෙනවා. ශිෂ්ටාචාරයක් විනාශ කරන, අසත්‍ය, අසභ්‍ය දේවල් පවා සීමාවක් නැතිව මේ තාක්ෂණික මෙවලම් හරහා බලන්න හැකිවෙලා තිබෙනවා. නූගත් මිනිසුන් අතට මේ දේවල් පත්වුණාම සිදුවන්නේ විනාශයක්ම පමණයි. බොහෝ විට මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ පුංචි මල් කැකුළු ඔවුන් අතින් විනාශ වීමයි”

“අද තරුණ දරුවො දිහා බලන විට දැනෙන්නේ මේ තාක්ෂණික මෙවලම් හරහා විවිධ අසභ්‍ය දෑ නරඹා ඔවුන්ගේ මනස විකෘති වී ඇති බවක්. ඔවුන් යම්කිසි අසහනයකින් මෙන් ජීවත් වන කොටසක් බවට පත්වෙලා. නමුත් අපේ කුඩා කාලයේ අපට හිතන්න හුදකලාවක් තිබුණා. නමුත් මේ වන විට තරගකාරීත්වය වැනි නොයෙකුත් ප්‍රශ්න නිසා හුදකලාවේ හිතන්න වෙලාවක් අද දරුවන්ට අහිමි වෙලා.

මෙයට විශාල වශයෙන් හේතුවී ඇත්තේ ජංගම දුරකථන වැනි තාක්ෂණික මෙවලම්. මේ උපකරණ මිනිසා විනාශයට ඇද දමලා. ජංගම දුරකථනත් සමඟ දරුවෝ වගේම මවුපියනුත් කාර්යබහුල වෙලා. මුහුණු පොතේ සැරි සැරීම, අන්තර්ජාල වීඩියෝ, ක්‍රීඩා නැරඹිම හැරුණම තවත් දෙයක් නැති තරම්. මෙහෙම වෙනකොට ඉතිං හුදකලාවේ සිතන්නට මොහොතක් කොයින් ද?

“මේ දේවල් අපේ මේ ලස්සන රටට ඇතුළු වෙලා, අපේ දරුවන්ගේ මනස විකෘති භාවයකට පත්වෙලා තියෙනවා.

අපි පුංචි කාලේ අපේ වැඩිහිටියෝ අපට කිව්වෙ හිරු නොබසින අධිරාජ්‍යයේ රටවල්වල අද දවස තමයි අපේ හෙට දවස කියලා. එයින් අදහස් කළේ අපිත් ඒ රටවල් සිටින තැනට ගමන් කළයුතුයි කියන එක. අපි මහන්සි වී දියුණුව කරා ළඟා විය යුතුයි කියලා. දැන් දරුවෝ ඒ තැනට ඇවිත් තියෙනවා එකවිටම මේ තාක්ෂණයත් සමඟ.

නමුත් කිසිදු දැනුමක් නොමැතිව මේ විකෘති දේවල් නරඹලා මොවුන්ගේ ආධ්‍යාත්මය තුවාල කරගෙන තියෙනවා. මේ තාක්ෂණික දේවල් යහපත් ලෙස භාවිත කරන්න පුළුවන්කම තියෙද්දිත් අපේ අය වෙන වෙන මාර්ගවල ගමන් කිරීම ඇත්තටම කනගාටුදායක කරුණක්.

මේ නිසා රට, සමාජය බොහෝ සෙයින් පිරිහිලා. කුඩා අවධියේ සිටම මත්කුඩුවලට, මත්ද්‍රව්‍යවලට දරුවෝ ඇබ්බැහි වෙලා. පෙම් සබඳතාවල පැටලිලා. කුඩා අවධියේම මේ විදියට නරක පුරුදුවලට ඇබ්බැහි වුණොත් රටක් ලෙස අපට ඉදිරියට යාම හීනයක් විතරයි.

“රටක් පිරිහීමට විවිධ හේතු ගණනාවක් බලපානවා. රට ඇතුළත තිබෙන විෂමභාවයත් සමඟ දරුවෙකුට තේරුම් ගන්න විදියක් නෑ මොකක්ද හොඳ දේ කියලා. ඒ ගැන කියලා දෙන්න කිසිම කෙනෙකුත් නෑ.

අපි කුඩා කාලයේ ගුරුවරුන්ට වෙලාව තිබුණා අපිට හොඳ දේවල් උගන්වන්න. නමුත් අද එහෙම දේවල් සිදු නොවන තරම්. යම්කිසි විෂයයක් උගන්වන ගුරුවරයා හිතන් ඉන්නෙ ඔහු/ ඇයගේ රාජකාරිය ඒ විෂයය පිළිබඳ උගැන්වීමක් විතරයි කියලා. කිසිදු වගකීමක් නෑ, තමන් යටතේ ඉගෙන ගන්නා දරුවො යහමඟ යවන්න. ඉතින් මං කියන්නෙ තමන්ගේ විෂයයට අදාළ නොවුණත්, දවසට එක වතාවක් හෝ මේ දරුවන්ට ජීවත් වෙන්න ඕන විදිහ කියලා දෙන්න කියලා. මේ සඳහා ගුරුවරයාත් හොඳ දැනුමකින් යුක්ත වෙන්න ඕන. කොහොමවුණත් මේ හැම ප්‍රශ්නයක් එන්නෙම හිතන්න බැරිකම නිසා. හිතන්න කාලයක් නැති නිසා. හිතන්න හිතන්න තමා හොඳ අදහස් ගලාගෙන එන්නෙ. හිත නිරන්තරයෙන් අභ්‍යාසයට ලක්කළ යුතුයි.

මේ හිතන්නැතිකම නිසා ඉක්මන් තීරණ ගන්නවා. පොඩි දේකටත් කලබල වෙනවා.

සියදිවි නසා ගැනීම වගේ දේවල්වලට යොමු වෙනවා. දෙමවුපියන් දරුවන් ගැන සිතිය යුතුයි. දරුවන් තමුන්ගේ අධ්‍යාපනය ගැන, වටපිටාව ගැන සිතිය යුතුයි. සෑම අයෙකුම අන් අය ගැන සිතිය යුතුයි. මානව හිතවාදී දේවල් අපෙන් ඉවත් වී යාමත් අද දවසේ දක්නට ලැබෙනවා. ප්‍රබල මානව සම්බන්ධතා බැහැර වෙමින් පවතිනවා. මේ හේතුව නිසා සෑම කෙනෙක්ම පුද්ගලීකරණය වෙලා.

මෙයට හේතුව අවිවේකී බව, කාලය කළමනාකරණය කරගැනීමට ඇති නොහැකියාවයි. තාක්ෂණයත් සමඟ මේ අවිවේකී බව ළඟා කරගෙන ඇත්තේ ද මිනිසා විසින්මයි. හිතන්න පුළුවන් මිනිස්සු බිහිවෙනවානම් ඔවුන්ට බොහෝ දුර ගමනක් යාමට හැකියි.

සමාජය, රට යහපත් කරන්නට අනිවාර්යයෙන්ම රජයට වගකීමක් තිබෙන බවත් අප අමතක කළ යුතු නැහැ.

“රජය කියන්නෙ රටක දැවැන්තයානෙ. රජයකට පුළුවන් මේ හැමදෙයක්ම හොඳ අතට හරවන්න. ඒ සඳහා ප්‍රබලව මැදිහත් වී කටයුතු කරන්න පුළුවන්. ඒකෙන් ගලවගන්න සමාජ සංවිධාන, ගුරුවරු, වැඩිහිටියෝ, අපේ රටේ සිටින බහුශ්‍රැතයෝ, විදග්ධයෝ බුද්ධිමත්ව ඉදිරිපත් විය යුතුයි. කරබාගෙන පැත්තකට නොවී අපි පුළු පුළුවන් විදියට අපේ මේ පුංචි රට, අපේ දරුවො, අපේ වටිනාකම් පරිස්සම් කරගත යුතුයි.

රජයට පමණක් නොව දෙමවුපියන්ටත් මෙහිදී විශාල වගකීමක් පැවරෙනවා. දෙමවුපියන් ලෙස තමන්ගේ වගකීම නිසි පරිදි දැරිය යුතුයි. දෙමවුපියන්ගේ තිබෙන අවිවේකීභාවය හා ආර්ථික සටනත් සමඟ මේ යුතුකම් හා වගකීම් අද දවසේ ගිලිහී යාම විශාල කනගාටුවක්.

ඒ වගේම පාසලට ද වගකීමක් පැවරෙනවා. දරුවන්ගේ මනස මුල් කාලයේ සිටම හදන්න. අතීතයේ ගුරුවරයා හා දරුවා අතර පැවතුණේ ඉතා ගැඹුරු හා සමීප සම්බන්ධතාවයක්. නමුත් මේ වන විට එම සම්බන්ධකම් ද ගිලිහෙමින්, දුරස්ථ වෙමින් පවතින බව මේ සිද්ධ වෙන දේවල්වලින් පැහැදිලි වෙනවා.

“මේ සියල්ලටම හේතුවෙලා තියෙන්නේ රට තුළ තිබෙන දේශපාලන, ආර්ථික, සමාජයීය කාරණා හා තත්ත්වයන්. ඒ අතරතුර පිටරටවලින් ගෙන්වන, සීමාවක් නැති හානිකර දේවලුත් බලපානවා. මේ දේවල්වලට සීමාවන් දමා, වගකීම රජය හා සමාජය භාරගෙන කටයුතු කරනවානම් මීට වඩා අපට ඉදිරියට ගමන් කළ හැකි වෙනවා.

ඒ වගේම දෙමවුපියන්ගේ වගකීම් කොටස හරියටම සිදුවෙනවා නම් අපේ දරුවන්ට අනතුරක් වෙන්නේ නෑ.”

 

 

 

 

485 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අප්‍රේල් 24, අඟහරුවාදා 13:22
අදහස් එක් කිරීමට ලොග් වෙන්න