තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ජූනි 04, සඳුදා 12:44

මාසික චක්‍රය සුවසෙතේ කැඩපත වාගෙයි විශේෂාංග

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
අගයන්න
(0 මනාප)
මාසයකට වරක් විඳින වේදනාව කාන්තාවන්ට යුද්ධයක් වගෙයි. විවාහ වූ කාන්තාවකට දරුවකු පැමිණීමේ හෝ නොපැමිණීමේ පෙර නිමිත්ත ගෙන එන්නේ ඔසප් චක්‍රයයි. එපමණක් නොව එය සුවසෙත ගැන ආර්තවහරණය වනතුරුම අපට බොහෝ අනාවැකි ගෙන එයි.

 

මේ නිසා පූර්ව ඔසප් චක්‍රයේ ලකුණු ලෙස බඩ කොරවීම්, මල බුරුලට පිටවීම, විඩාව ඇති විය හැකියි. මේ සියල්ල ගතට සිතට සැනසිලිදායක නැති වුවත් ඒවා කාන්තාවකගේ සරු බව හොඳින් පවතින බවට ලකුණුය. එහෙත් සමහරු ක්‍රමානුකූල ඔසප් චක්‍රයකට හිමිකම් නොකියති. එය යම් ගැටලුවකින් පීඩා විඳින බවට නිමිත්තකි.

තයිරොයිඩ් ගැටලු, පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම්, හෝර්මෝන අසමතුලිතතා හෝ අඩු බර වැනි හේතු රැසක් මේ නිමිත්තට බලපෑ හැකියි.

සියල්ලටම වඩා ඔසප් රුධිරයේ පැහැය පවා ශරීර සෞඛ්‍යය ගැන ඉඟි කරයි. එහෙත් එය බොහෝ දෙනකුගේ අවධානයට ලක් නොවෙයි.

* ළා රෝස පැහැති නම්

වෙනදාට වඩා ඔසප් රුධිරය ළා පැහැති නම් එයට හේතුව පමණට වඩා ව්‍යායාම කිරීම විය හැකියි.

අධික ලෙස ව්‍යායාම කරන විට ඊස්ට්‍රජන් මට්ටම පහළ බැස ඔසප් චක්‍රය අක්‍රමවත් වෙයි.

වෘත්තීය ක්‍රීඩිකාවන් අතර ක්‍රමානුකූලව ඔසප් නොවීම සුලබය. වරක් දෙවරක් ඔසප් නොවීම බරපතළ ගැටලුවක් නොවුණත් දිගින් දිගටම එසේ සිදු වන්නේ නම් ප්‍රතිකාර පැතිය යුතුය.

නැත්නම් ඔස්ටියෝපොරෝසිස් සෑදීමේ අවදානම වැඩිවේ.

ඔසප් රුධිරය ළා රෝස පැහැයෙන් පිටවීමට තවත් හේතු ගණනාවක් පවතී.

මන්දපෝෂණය, ආර්තවහරණය, පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් ඒ අතරින් ප්‍රධානය. ආර්තවහරණය ළං වී ඩිම්බ කෝෂ මඟින් අඩුවෙන් ඊස්ට්‍රජන් නිපදවෙන විට ද ඔසප් රුධිරය ළා රෝස පැහැතිය. සාමාන්‍යයෙන් ආර්තවහරණයට වසර හතරක්, පහක් තිබියදී මෙසේ සිදුවේ.

* ජලය ලෙස පිටවනවා නම් . . .

ළා රෝස පැහැයටත් වඩා ළා පැහැයට ජලය මෙන් පිටවනවා නම් තදබල රක්තහීනතාවෙන් පීඩා විඳියි. දිගින් දිගටම ළා පැහැය වැඩි වෙනවා නම් පෝෂණ විශේෂඥයකු හමුවන්න.

* තද දුඹුරු පැහැ නම් . . .

ඇතැම් විට ඔසප් රුධිරය ඉක්මනින් සිරුරින් බැහැර නොවේ. එවිට රුධිරය ඔක්සිකරණය වී තද දුඹුරු හෝ තද කළු වේ.

* කැටි සමඟ උකුවට ජෑම් රතු පැහැයෙන් පිටවනවා නම් . . .

ප්‍රොජෙස්ටරෝන් මට්ටම අඩු නම්, ඊස්ට්‍රජන් මට්ටම ඉහළ නම් මෙසේ විය හැකියි. ඇතැම් විට මෙසේ කැටි වශයෙන් පිටවීම සාමාන්‍යය. එහෙත් කැටි විශාල නම් එය බරපතළ හෝර්මෝන අසමතුලිතතාවකට ලකුණක් විය හැකිය.

මෙලෙස රුධිරය පිටවීමට ෆයිබ්‍රොයිඩ්ස් ද බලපායි. මෙවිට රුධිරය පිට වන්නේ ද වේදනාකාරීවය.

ෆයිබ්‍රොයිඩ්ස් බොහෝ විට අහිංසක තත්ත්වයක් වුව ද වෛද්‍ය ප්‍රතිකාර පැතීම නුවණට හුරුය. අල්ට්‍රාසවුන්ඩ් ආදී පර්යේෂණ මඟින් හේතුව සොයා ගත හැකියි.

* අළු හා රතු නම් . . .

ආසාදනයක් ඇති විට දුගඳ අළු, රතු පැහැයට රුධිරය පිටවේ. ගබ්සාවක් සිදුවන විට ද මෙලෙස රුධිරය පිටවීමට පුළුවන.

* දීප්තිමත් රතු පැහැති නම් . . .

නිරෝගී, ක්‍රමානුකූලව ඔසප් සිදුවන කාන්තාවකි.

ඇතැම් විට අධික ලෙස රුධිරය පිටවීම රක්තහීනතාවේ ලකුණකි. පින්ලන්ත අධ්‍යයනයක අනුව කාන්තාවන් 236 ක් ඇසුරින් කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ඉන් 27% ක් රක්තහීනතාවෙන් ද 60% ක් උග්‍ර නීරක්තියෙන් ද පෙළෙන බවයි. පැයකදී සනීපාරක්ෂක තුවා මාරු කිරීමට සිදුවනවා නම්, එය රුධිරයේ යකඩ ප්‍රමාණය මැන බැලීමට හේතුවකි.

ඔසප් රුධිරය පිට වන්නේ සෙමින් නම් ඔසප් චක්‍රය අවසානයේ කැටි මෙන් රුධිරය පිට විය හැකිය. දරුවකු ප්‍රසූත කළ පසු ද කැටි මෙන් රුධිරය පිටවේ. ස්වාභාවික ප්‍රසූතියෙන් පසු පළමු තෙදිනේදී තද රතු පැහැයට කැටි සහිතව රුධිරය පිටවේ.

සිසේරියන් සැත්කමට ලක් වූ මවකට නම් දරුවා බිහිකර පළමු පැය 24 තුළ දී පමණක් බොහෝ දුරට මේ අත්දැකීම ලබන්නට සිදුවේ.

ඇතැම් විට ඔසප් චක්‍රයේ ආරම්භයේ සිට අවසානය දක්වා රුධිරයේ පැහැය එකම පැහැයක් ගන්නේ නැත. එහෙත් නුහුරු නුපුරුදු අළු පැහැය වැනි වෙනස් පැහැයක් ඇත්නම් වෛද්‍ය උපදෙස් පතන්න.

උපදෙස්

නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ

ගාමිණී පෙරේරා

250 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 04, සඳුදා 12:46
අදහස් එක් කිරීමට ලොග් වෙන්න