රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ජූනි 12, අඟහරුවාදා 12:21

අඳුරෙන් ආලෝකයට යන්න සිත, කය, වචනය සංවර කරගන්න

Written by 
අගයන්න
(0 මනාප)
    උසස් මනසක් ඇති මිනිසාගේ සාරධර්ම සකස් වී ඇත්තේ බෞද්ධ දර්ශනයේ පසුබිම ඇතිවය. කිසිවකුට කරදරයක් නොවන අයුරින් ජීවිතයක් ගොඩ නගා ගැනීමට බුදු දහමේ තරම් ආචාර ධර්ම පද්ධතියක් අනෙකුත් ආගම්වල දක්නට නැති තරම්. බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වන්නේ මාර්ගය පෙන්වාදීමට පමණි. තම තමන් සිය කාර්යයන් සාර්ථකකර ගැනීමට එම මාර්ගයේ ගමන් කළ යුතුය. අන් කිසිවකුට එය කරදීමට නොහැකිය. ආලෝකයෙන් අඳුරට නොව, අඳුරෙන් ආලෝකයට යා යුතුය. බුදු දහමේ ඇතුළත්ව ඇත්තේ ඔබට මෙලොවත් පරළොවත් සාර්ථකකර ගැනීමට හැකි පිළිවෙත්ය. මෙලොව යහපත් වූ තරමටම පරලොව ද යහපත් වේ. එබැවින් ඔබ ඔබේ ආධ්‍යාත්මික ගුණ ධර්ම ගොඩනගා ගැනීමට උත්සුක විය යුතුයි. තරුණී අපි සදහම් සෙවණ දහම් සාකච්ඡාවෙන් බලාපොරොත්තු වන්නේ ද එයයි. පින්වත්නි, ලොව්තුරා අමා මෑණී බුදුරජාණන් වහන්සේ උදාර මනුෂ්‍යයෙක් වීමට අවශ්‍ය කරුණු කාරණා විවිධ සූත්‍ර දේශනාවලින් අප හට ගෙන හැර දක්වා තිබෙනවා. මෙත්තානිසංස සූත්‍රයත් එවැන්නකි. යහ ගුණැති මනුෂ්‍යයෙක් වීමට, දීර්ඝායුෂ ලැබීමට දෙලොවම ජය ගැනීමට අවැසි උපදෙස් එහි ඇතුළත්. මෙත්තානිසංස කියන්නේ මෛත්‍රියේ අනුහස්. බලන්න අද විද්‍යුත් මාධ්‍ය ඔස්සේත් හිමිදිරි උදෑසන විකාශය වන්නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! යන අරුත් ගත් සූත්‍රයි. මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් වනුයේ 'මනුස්සානං පියෝ හෝතී' මෛත්‍රිය තිබෙන අයට, දයාව කරුණාව ඇති අයට මනුෂ්‍යයෝ ප්‍රියයි. අමනුස්සානං පියෝහෝතී මේ ලෝකයේ යක්ෂයෝ, ප්‍රේතයෝ ආදී නොයෙක් භූත කොට්ඨාශ ඉන්නවා. අමනුෂ්‍යයෝ පවා දයා කරුණාව ඇති මිනිස්සු සමඟ හිතවත්කමින් සිටිනවා. ඒ අයගේ ආශිර්වාදය ලැබෙනවා. දේවතාරක්ඛන්ති. ඔවුන්ව දෙවියෝ ආරක්ෂා කරනවා. අපි දන්නවා මහානුභාව සම්පන්න දෙවිවරුන් අපව ආරක්ෂා කරනවා. ලංකාවේ ඇතැම් දේවාලවල දෙවියන් උදෙසා මස් මාංශ පූජා කරනවා. දෙවියන් වෙනුවෙන් මස් මාංශ පූජාව සුදුසු නොවේ. එසේ වුවහොත් දෙවිවරු යකුන් බවට පත්වෙනවා. එබැවින් දෙවියන්ගේ ආශිර්වාදය අපට ලැබෙන්නේ දෙවියන්ට චිත්ත ශක්තිය දියුණු වෙන්න යමක් සිදුකිරීමෙනි. ගින්දරවලින්, සොබා දහමින් සිදුවන විපත්ති අපට අඩුකර ගැනීමේ ශක්තිය ආශිර්වාදය ලැබෙන්නේ එවිටයි. 'මුඛ වන්නෝ විප්ප ශීලීති' ඒ මෛත්‍රී සහගත මනුෂ්‍යයා නිවැරැදිව ගමන් කරන මනුෂ්‍යයා තුළට ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ඇති වෙනවා. සැබැවින්ම නිතැතින්ම හෙතෙම සමාජයට අනුශාසකයෙක් උපදේශකයෙක් බවට පත්වෙනවා. ඇත්ත ඇති සැටියෙන් දත් එම මනුෂ්‍යයා ජීවිතයේ කෙලවර මියගියායින් පසුව බ්‍රහ්ම ලෝකවල උපදිනවා. මේ සියල්ලෙන්ම පෙනී යන්නේ මනුෂ්‍යයාගේ මනුෂ්‍ය ධර්ම දියුණු කළ යුතු බවයි. මිනිසා තිරිසනාගෙන් වෙන් වන්නේ ශිෂ්ට සම්පන්නකමිනි. මිනිසා ආහාර පාන ගන්නේ බොහොම ශිෂ්ට සම්පන්නවයි. වැඩිපුර පිඟානකට බෙදා ගන්නේ නැහැ. 'චපුගාර ඉස්සාමිචි....' තලු ගගහ කන්නේ නැහැ. කතා කරකර කන්නේ නැහැ. ආහාරයක් ලැබුණාම පොර කාලා බදාගෙන රණ්ඩු වෙවී කන්නෙ නැහැ. බුදුහාමුදුරුවෝ සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කරනවා 'උට්ඨාන සම්පදා අති සීතං...' දැන් සීතලයි, දැන් උෂ්ණයි, දැන් බඩගිනියි කියා කාලය කා දමමින් කම්මැලිකමින් සිටීම පිරිහීමේ හේතුවක් බව. ඔබ අනිවාර්යෙන්ම උත්සාහයෙන් යුක්තව මහන්සි වී වැඩකර ආර්ථිකය සකස්කර ගත යුතුයි. ඒ සකස්කරගත් ආර්ථිකය පරිහරණය කරන නිවැරැදි මඟ අපේ බුදුරජාණන් වහන්සේ හරි අපූරුවට විග්‍රහ කරනවා. 'ඒතේන භෝජේන බුංජ්‍යෙය...' තමන්ට ලැබෙන මුදලින් කොටසක් එදිනෙදා පරිහරණයට ද තවත් කොටසක් තමන්ගේ හදිසි අවශ්‍යතාවයකට ද ගැනීමට තැන්පතුවක් වශයෙන් ද තබා ගත යුතුයි. පළමු වැනි කොටසින් ඥාති බලී, ප්‍රේත බලී, රාජ බලී වශයෙන් නැතිබැරි අඟ හිඟකම් ඇති තම ඥාතීන් වෙනුවෙන් සංග්‍රහයක් කළ යුතුයි. ඔවුන් යම් තැනකට ගෙන ඒමට තම ශක්ති පමණින් වියදම් කළයුතුයි. රාජ බලී යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පාලකයන් විෂයෙහිය. ඔවුන් මලෙන් රොන් ගන්නා වගේ රටවැසියා තලා පෙළා බදු අය නොකරන්නටත් කටයුතු කළ යුතු වෙයි. තවද දරු දැරියන් සමාජයට ගැළපෙන අයුරින් හදා වඩා ගන්නටත් මා පියන්ට උපදෙස් ලබා දී ඇත. ඒ දරුවා අති ජාත දරුවෙකු විය යුතුයි. මෙසේ උන්වහන්සේ දරුවන් පිළිබඳ තුන් ආකාරයකින් දේශනා කොට තිබේ. එනම් අති ජාත, අනුජාත, අවජාත වශයෙනි. අතිජාත යනු අම්මා තාත්තාටත් වැඩියෙන් ඉහළින් ජීවත් වන දරුවකුයි. අනුජාත යනු අම්මා, තාත්තා හා සමානව ජීවත් වන දරුවෝයි. අවජාත යනුවෙන් අදහස්කර සිටියේ අම්මා තාත්තා බොහොම වැදගත් ආකාරයට හිටියත් දරුවා මත්පැන්වලට ගිජුවෙලා, අපචාරවලට යොමුවෙලා අම්මා තාත්තාගේ ආත්ම ගරුත්වය නැති කරන ආකාරයෙන් හැසිරෙන දරුවෝයි. හොඳ යහපත් ලෙසින් හැදුණ දරුවෙක් සමාජයට දායාද කරන්නට නම් ඔබ ශිෂ්ට සම්පන්න ආකාරයට ජීවත් විය යුතු වෙනවා. 'කායේන සංවරෝ සාධු...' කයින්, වචනයෙන්, ආදී වූ පංචේන්ද්‍රියන්ගෙන් සංවර වන්නට ඕනෑ. ඇස, කන, නාසය, දිව, ශරීරය වූ මේ පංචේන්ද්‍රියන් අනවශ්‍ය ආකාරයට පිනවන්නට සරසන්නට ගොස් ඔබ විනාශයට පත්වෙනවා. අපට ඇස් දෙකක් ලැබී තිබෙන්නේ යහපත් දේ දකින්නටයි. අපි ඌරන්, කපුටන් සේ අනුන්ගේ කුණු අවුස්සන්නට හොඳ නැහැ. නිරන්තරයෙන් කල්පනා කළ යුත්තේ මේ ඇස් දෙක පාදා ගැනීමටයි. අනුන්ට උපකාර කිරීම විනා අනුන්ගේ වැරැදි සෙවීමට නොව. අප ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ මෙය දේශනා කළේ සම්මා ආජීව, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ජීවිතයද සකස්කර ගැනීමේ වගකීම ඔබ සතුයි. අප නිදසුනක් සිහිපත් කළහොත් මත්පැන්වලට, මත් ද්‍රව්‍යවලට යොමුවෙලා ඒවාට ඇබ්බැහි වූ ජීවිත දහස් ගණන් විනාශ වෙනවා. මේක අපි අත්දකින දෙයක්. එබැවින් හිතට ගන්න දුවේ, පුතේ ඔබ කයින් සංවර වන්න. මොනතරම් සිතිවිලි ආවත් ඒ සිතිවිලි බුද්ධියෙන් පාලනය කරගත යුතුයි. 'සාධු වාචාය සංවරෝ ' - වචනයෙන් සංවර වෙන්නටත් ඕනෑ. ඔබෙන් පිටවන වචනය ඉතාම බල සම්පන්නයි. එලෙස පිටකරන වචනවල තිබිය යුත්තේ දයාව, කරුණාව, මෛත්‍රීයයි. මෙයට විරුද්ධ දේ කළොත් ඔබ පිරිහෙනවා. එවිට විශාල විනාශයක් වෙනවා. බලන්න එම විනාශය ඇතිකර ගන්නේ ඔබමයි. එසේ නම් ඔබ ඉන් අත්මිදීමට මනස සකස්කර ගතයුතුයි. දයාවෙන් පුරවා ගත යුතුයි. මේ තැනැත්තා ජීවිතය ජය ගන්නවා. ඔබ අද පටන් සිතට ගන්න මම සිත, කය, වචනය සංවරකර ගන්නවා කියලා. බුදු දහමේ සඳහන් වන උතුම් වූ නිර්වාණ සුවය ලබා ගැනීමට තරම් මහා ශක්තියක් ලැබෙනවා. සිත, කය සංවරකර නොගතහොත් නිසැකවම 'තණ්හාය ජායති සෝකේ.... රාගය, ද්වේෂය, මෝහය මුල් වී ශෝකයම උපදී. එවන් මිනිසුන් මෙලොවත් පරාදයි. පරලොවත් පරාදයි. දෙලොවම තැවෙන මිනිසුන් බවට පත්වේ. හුදෙක් තාවකාලික සුවයක් පතා ආගම දහමින් ඈත් වී ඔබ දිවිය ගත කරනවා නම් ආලෝකයෙන් අඳුරටම යයි. ඔබ නිරතුරුවම උත්සහ ගත යුත්තේ අඳුරෙන් ආලෝකයට යාමටයි.    
886 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 12, අඟහරුවාදා 13:20
අදහස් එක් කිරීමට ලොග් වෙන්න