තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ජූනි 25, සඳුදා 15:24

ඔසප් සමයත් සාමාන්‍ය දවස් වගේද? විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
මල්වර වූ දා පටන් දරුවකු කුසෙහි පිළිසිඳ නොගත් කල්හි ආර්තවහරණය දක්වාම සිදුවන මාසික ඔසප්වීම ඕනෑම ළදැරියකට, යුවතියකට, කාන්තාවකට පොදු වූ ධර්මතාවයකි.

 

මාසිකව ක්‍රියාත්මකවන ඔසප්වීම් කාන්තාවගේ නිරෝගීබව පෙන්නුම් කරන ප්‍රධාන සාධකයකි. නිරෝගී තත්ත්වවලදී මෙම චක්‍රය දින 28 කින් (දින 25 ත් 35 ත් අතර) සිදුවිය යුතුය. එමෙන්ම රුධිරය පිටවන දිනවල පරාසය දින 3 සිට 7 දක්වා වීම සාමාන්‍ය තත්ත්වයයි. රුධිරය පිටවන ප්‍රමාණය මෙම සාමාන්‍ය කාලපරාසය තුළදී ගණනය කළ හැකි අතර ඔසප් වාරයක් සඳහා වෙළෙඳපොළ් පවතින සනීපාරක්ෂක තුවා එක් පැකට්ටුවක් හෝ ඊට අඩුවෙන් භාවිත වේ. එමඟින් ද පිටවන රුධිර ප්‍රමාණය සාමාන්‍ය තත්ත්වයේ පවතින බව වටහා ගත හැකි වේ.

එමෙන්ම සුළු අපහසුතාවන් විනා දරාගත නොහැකි තරම් වේදනාවක් ඇති නොවිය යුතුය. මේ සියලු කාරණා මඟින් වැටහෙනුයේ නිරෝගී ඔසප් වීමකි.

නිරෝගී ඔසප් වීමක් පවත්වාගෙන යෑමට නම් එම කාලයේදී ඇය තුළ කළ යුතු නොකළ යුතු දේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබිය යුතු වේ.

ඔසප් සමයේ කළ යුතු දෑ

පිරිසුදුව සිටීම

වෙනත් කාලයන්ට වඩා මේ කාලයේ දී කාන්තාව පිරිසුදුබව පිළිබඳ සැලකිලිමත් විය යුතුය. රුධිරය පිටවීමේ දී අපහසුතා ඇති නොවීමට සනීපාරක්ෂක තුවා භාවිතය බෙහෙවින් වැදගත් වේවි. මේ කාලයේ දී වෙනදාට වඩා දහඩිය පිටවීම වැඩි නිසා ඇතිවන අපහසුතා ද වැඩි වේ. මද උණුසුම් වතුරින් ඇඟපත සේදීම වැදගත් වේ.

ස්නානය

ඔසප් සමයේ දිය නෑම අහිතකර බව බොහෝදෙනා විශ්වාස කරයි. මෙහි සත්‍යතාවක් නැත. ස්නානයෙන් ඇඟ සිසිල් වූ වහා රුධිර පිටවීමේ යම් අඩුවක් දැනුන ද නැවත එය යථා තත්ත්වයට පත්වේ. එබැවින් අවේලාවේ නොව දහවල් කාලයේ මඳ උණුසුම් දියෙන් ස්නානය වේදනාත්මක තත්ත්වයනට ද හොඳ පිළිතුරකි.

ආහාර

මේ කාලයේ සුදුසු ආහාර වනුයේ නිවෙසේ පිසින ලද කෘත්‍රිම රසකාරක නොයෙදූ ස්වභාවික ආහාර, කොළ පැහැ එළවළු, ධාන්‍ය, කව්පි, මුං ඇට, කඩල, දේශීය පලතුරු වර්ග, හාතාවාරිය කොළ කැඳ, ඉරමුසු කැඳ, රණවරා කැඳ, කොත්තමල්ලි තම්බා බීම, බෙලිමල් හා ස්වාභාවික පලතුරු යුෂයි.

මෙම ආහාර මඟින් ඔසප් සමයේ ශරීරයේ එක් රැස්වන අපහසුතා ඇතිකරන රසායනිකයන් ඉක්මනින් ශරීරයෙන් පිට කරයි. එමඟින් පහසුවක් ඇති වේ.

මඳ උණුසුම් ජලය පානය

වෙනදාට වඩා සැලකිලිමත්ව ප්‍රමාණවත්ව ජලය පානය කළ යුතුය. සිසිල් ජලයට වඩා මඳ උණුසුම් ජලය පානය වඩාත් සුදුසුය.

විවේකය

සාමාන්‍ය වැඩකටයුතු නැවැත්වීමට කිසිදු අවශ්‍යතාවක් නැත. නමුත් බරවැඩ කිරීම වැනි වැඩවල යෙදීම මේ කාලයට සුදුසු නැත. ඒ විවේකය සිරුරට මෙන්ම මනසට ද අවශ්‍ය බැවිනි. නමුත් ව්‍යායාම, ක්‍රීඩාවල නියැළීම, පිහිනීම, දිවීම, බයිසිකල් පැදීමට තහනමක් නැත.

හැඟීම් පාලනය

මෙය අතිශය වැදගත්ය. කතුන් අතින් සිදුවන අපරාධ බොහොමයක් වන්නේ ඔසප් සමය ආශ්‍රිතව බැව් සොයා ගෙන ඇත.

 

 

නො කළ යුතු දෑ

 

මානසික ආවේග

ඔසප් සමය ශාරීරිකව මෙන්ම මානසිකව ද වෙනස්කම් ඇති කරයි. මේ කාලයේ මනස තරමක් නොසන්සුන්ය. කේන්තිය යන සුලුය. නොඉවසිලිවන්ත ය. එබැවින් ආවේගයන්ට යටත්වීම නොකළ යුතුය.

අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් හා වැඩ කිරීම

ඔසප් සමය ශරීරය ඉක්මනින් වෙහෙසට පත්කරයි. එබැවින් එදිනෙදා කිරීමට අත්‍යවශ්‍ය නොවන වැඩ හෝ ගමන් බිමන් මේ කාලයේ දී නොකර සිටීමෙන් ශාරීරිකව හා මානසිකව වෙහෙසට පත් කිරීම අවම කරයි.

 

ඔසප් කල්දැමීමට ඖෂධ පානය

නිරෝගී සිරුරක් පවත්වා ගෙන යෑමට ක්‍රියාත්මකවන ශාරීරික චක්‍රයක් හිතුමතේ ඉක්මන් කිරීම හෝ කල් දැමීමට ඖෂධ භාවිතය ඉදිරියේ දී සිරුරේ හෝර්මෝන අසමතුලතාවන් ඇති කිරීමට බලපායි.

ආහාර

ඔසප් කාලයේ දී තෙල් බැදුම් ආහාර අහිතකර බව පුරාණ මතයකි. නූතන සමාජය මෙම මතය පිළිනොගත්ත ද එහි යම් සත්‍යතාවක් පවතී. ආයුර්වේදය ද ඔසප් සමයේ අධික තෙල්, දුරු මිරිස් යෙදූ දිරවීමට අපහසු ආහාර ගැනීමෙන් වැළකීමට උපදෙස් දෙයි. තෙල් අධික ආහාර, මස් වර්ග, කිරි ආහාර මෙම සමයේ වැඩිපුර ගැනීම ඔසප් වේදනාවට හේතුවක් වන බව පර්යේෂකයන් ද පෙන්වා දෙයි.

ඇතැම් ආහාර සමහර කාන්තාවන්ට ඔසප් රුධිරය වැඩිපුර පිට කිරීමට හේතු වේ. උදාහරණයක් ලෙස සුදුලූනු, අන්නාසි, අච්චාරු වැනි ආහාර එබඳු ගැටලු සහිත අය නොගත යුතුය.

ඇඳුම්, සපත්තු මිලදී ගැනීම

ඔසප් සමයේ සිරුරේ ප්‍රමාණවල සුළු සුළු වෙනස්කම් ඇති වේ. ඒවා ස්ථිර නැත. එබැවින් මෙම කාලයේ දී යට ඇඳුම්, සපත්තු ආදී සිරුරේ ප්‍රමාණයට ගන්නා දෑ සඳහා සාප්පු සවාරි නොයෑම වඩාත් හොඳය.

විලවුන් ගැල්වීම

මේ සමයේ දී තමාගේ සිරුරෙන් දුර්ගන්ධයක් පිටවේ යැයි සිතා විලවුන් ආදී රසායනිකයන් තැවරීමට කාන්තාවන් පෙළඹේ. මෙහිදී යට ඇඳුම් රහස් ප්‍රදේශ ආශ්‍රිතව සුවඳවත් දෑ ගැල්වීම වෙනත් රෝගාබාධ ඇතිවීමට හේතුවිය හැකියි.

අධික පිරිසුදු කිරීම්

විසබීජ නාශක යොදා සේදීම, පැයෙන් පැයට සනීපාරක්ෂක තුවා මාරු කිරීම නොකළ යුතුය. මේ හේතුවෙන් සිරුරේ ආරක්ෂාවට සිටින ජීවාණු පවා විනාශ වේ.

 

උපදෙස් - කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, ස්ත්‍රී රෝග සහ ප්‍රසූතිතන්ත්‍ර පිළිබඳ උපදේශක

වෛද්‍ය කෞමදි කරුණාගොඩ

455 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 25, සඳුදා 15:25
අදහස් එක් කිරීමට ලොග් වෙන්න