රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ජූලි 03, අඟහරුවාදා 16:07

ඔසප් රුධිරය වැඩියෙන් පිටවීම රෝගයක් රෝග ලක්ෂණයක් ද?

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
කාන්තාවකගේ නිරෝගීබව කියාපාන ඔසප් චක්‍රය විවිධ අයට විවිධයි, විෂමයි. එක් අයකුට කිසිදු ගැටලුවකින් තොරව නියමිත දිනවලදී නියමිත ප්‍රමාණවලින් පිටවෙද්දී තවත් අයට යම් යම් අක්‍රමිකතා මතුවෙන්නට පුළුවන්. ඔසප් රුධිරය වැඩිපුර පිටවීම ඉන් එක් අවස්ථාවක්.

 

මෙම තත්ත්වයේ දී කාන්තාවට ඇතිවන ශාරීරික අපහසුව, වෙහෙසකාරී ගතිය, යටිබඩ වේදනාව, වැඩිපුර ඔසප් රුධිරය පිටවීම සඳහා සූදානම්ව සිටීම ආදී ගැටලු එදිනෙදා ජීවිතයට බලපෑම් එල්ල කරයි. මෙම තත්ත්වය ඉතා ඈත අතීතයේ සිටම කාන්තාවන් අතර තිබු රෝගයක් බවට ලිඛිත, සාක්ෂි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ පවතී. සැබැවින්ම මෙය රෝග ලක්ෂණයක් විනා රෝගයක් නොවේ. මෙම රෝග ලක්ෂණය ඇතිකරන තත්ත්වය රෝග ගණනාවක් සඳහා බලපාන බැවින් කාන්තාවන් ඒ පිළිබඳ දැනුවත් විය යුතුයි.

රෝග ලක්ෂණ පෙන්වන වයස අනුව ප්‍රධාන වශයෙන් සැක කළ යුතු තත්ත්වයන් තිබේ. මල්වර වූ අලුත දියණියන්ට මෙම තත්ත්වය ඇතිවන්නේ හෝර්මෝන විෂමතාව නිසාය.

දරුවන් ලබන වයසේ කාන්තාවන් (අවුරුද 20 - 35 දක්වා) සඳහා සැක කළ හැකි ප්‍රධානම තත්ත්ව වනුයේ පොලිසිස්ටික් තත්ත්වය, උපත් පාලන උපකරණ පැලඳීම, එන්ටොමෙට්‍රියෝසිස් තත්ත්වය, ගබ්සාවීම්, ප්‍රජනක ඉන්ද්‍රිය පද්ධතිය ආශ්‍රිත ආසාදන වේ.දරුවන් ලැබූ මැදිවියේ පසුවන කාන්තාවන් ඉහත හේතු සේම ෆයිබ්‍රොයිඩ් තත්ත්වය, ගර්භාෂ බිත්ති ඝනකම් වීම (අඩිනොමයෝසිස්) වැනි රෝග ද වැඩිපුර රුධිර වහනයට හේතු වේ.එසේම ආර්තවහරණය ආසන්න වයසේ පසුවන්නන්ට ද හෝර්මෝන විෂමතාව නිසා මෙබඳු වැඩිපුර ඔසප් රුධිරය පිටවීමක් දැකිය හැකියි. එමෙන්ම මෙම වයස් සීමාවේ දී පිළිකා තත්ත්වයන් පිළිබඳ ද සැලකිලිමත් වීම වැදගත් වේ.

රෝග ලක්ෂණ පාලනය සඳහා රෝගය හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වේ. ඒ සඳහා එදිනෙදා කළයුතු, නොකළයුතු දෑ හඳුනාගෙන දැනුවත්වීම මඟින් ඔසප් රුධිරය පිටවීම පාලනය කළ හැකිවනවා සේම රක්තහීනතාව වැනි උපද්‍රවවලින් ද වැළකිය හැකි වේ.

 

 

 

නො කළ යුතු දේ

අධික උණුසුමට නිරාවරණය නුසුදුසුය. ළිප්, උණුසුම් උඳුන්, යන්ත්‍ර, තද හිරු එළියෙන් ඈත්ව සිටින්න.

සිරුර වෙහෙසවන ක්‍රියා නුසුදුසුය. එනම් විශාල දුර පයින් ඇවිදීම, වේගවත් ව්‍යායාම වැනි.

අධික කෝපය, කලබලය, දුක්වීම නුසුදුසුය.

උණුසුම් දියෙන් ස්නානය නොකරන්න.

මධ්‍යසාර අඩංගු ආහාර හා පාන, ඖෂධ නොගන්න.

නුසුදුසු ආහාර - අබ, විනාකිරි, අච්චාරු, චට්නි, සෝස් ලුණු දෙහි, බිලිං, තක්කාලි, සුදුලූනු, රාබු, කොල්ලු, ඉස්සෝ, කකුළුවෝ, කරවල, බලමාළු, හරක්මස්, දැල්ලන්, බල කරවල, ජාඩි, අන්නාසි, දෙල්.

 

 

 

කළ යුතු දේ

මෙම තත්ත්වය ඉබේ සුව වේ යැයි සිතා කල්ගත නොකර ප්‍රතිකාර කරා යොමුවිය යුතුවේ.

අධිකව රුධිරය පිටවීම උණුසුම් පරිසරවලදී වේගවත් වේ. එබැවින් සිසිල් පරිසරයක සිටීම වැදගත් ය.

විවේකය වැදගත් වේ. එදිනෙදා සාමාන්‍ය කටයුතු අතහැරීම අවශ්‍ය නැත. නමුත් අමතර වැඩ, කඩිමුඩියේ වැඩවල යෙදීම පාලනයකින් යුතුව කළ යුතුයි.

සිසිල් දිය නෑම, ඇඟ සේදීම අහිතකරය.

වෙනිවැල්ගැට, බෙලිකොළ, රෝස පෙති තැම්බූ වතුර සිසිල්ව ස්නානය ආයුර්වේදයට අනුව නිර්දේශිතය.

ශාරීරික පවිත්‍රතාව රැකගත යුතුයි. යට ඇඳුම්, සනීපාරක්ෂක තුවා නිතිපතා මාරු කිරීම වැදගත් වේ.

මානසික ආවේග රුධිර පාලනය වැඩි කරයි. මනස සන්සුන්ව තබාගත යුතුවේ.

ආහාර - රුධිරය ගමනය අඩු කිරීමටත් රක්තය වර්ධනයටත් විශේෂිත මෙබඳු තත්ත්වයනට උචිත ආහාර ආයුර්වේදයේ දක්වා ඇත. හැකි තරම් මෙම ආහාර වර්ග සොයා කෑමට ගන්න.

එළවළු - පුහුල්, අළු පුහුල්, අඹ කෙසෙල්, නෙළුම් අල, ඕළු ගෙඩි, මානෙල් අල, කෙකටිය, දියලබු, කෙසෙල් බඩ, පොලොස්, කොහිල, කතුරුමුරුංගා මල්.

පලා - තම්පලා, කූරතම්පලා, කිරි අගුණ, පිටවක්කා, නිවිති.

පලතුරු - මාදං, දෙළුම්, සුවඳැල්, පුවාළු, ආනමාළු කෙසෙල්, අට්ටිකා, උගුරැස්ස, ඉදුණු අළු කෙසෙල්, මසං, මුද්දරප්පලම්, රට ඉඳි, උක්, කළු උක්, දී කිරි.

පානවර්ග - කිතුල් පිටි කැඳ, හාතාවාරි කැඳ, ඉරමුසු කැඳ, ලුණු කැඳ, පිටවක්කා කැඳ, නෙළුම් අල කැඳ, රණවරා මල් තම්බා පානය, අශෝක මල් තම්බා පානය, එළවළු සුප්.

 

 

 

 

උපදෙස් - කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, ස්ත්‍රී රෝග සහ ප්‍රසූතිතන්ත්‍ර පිළිබඳ උපදේශක

වෛද්‍යකෞමදි කරුණාගොඩ

759 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 03, අඟහරුවාදා 16:08
අදහස් එක් කිරීමට ලොග් වෙන්න