රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ජූලි 31, අඟහරුවාදා 12:33

අනුරපුරට ‘මංගල සිහින’ ගෙනෙන රූපලාවණ්‍ය ශිල්පී රුවන් චම්පික විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
රූපලාවණ්‍ය කලාව කලක් පැවැතියේ අගනුවරාසන්නයේ ය. එහෙත් ක්‍රම ක්‍රමයෙන් එය රටේ අනෙක් පළාත්වලට ද ව්‍යාප්ත විය. ඒ නිසාම අපට අගනුවරින් පිට සිටින ජනපි‍්‍රය රූපලාවණ්‍ය ශිල්පීන් පිළිබඳ ද කතා කිරීමට හැකියාව ලැබී තිබේ.

 

අද අපි සමඟ කතා බහට එක් වන්නේ ප්‍රවීණ රූපලාවණ්‍ය හා ඇඳුම් නිර්මාණ ශිල්පී රුවන් චම්පික යි.

* ඉතිං රුවන්, කොහොමද මේ ක්ෂේත්‍රයට එන්න මඟ පෑදුණේ...

මම මේ වෙනකොට මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 20ක් විතර වෙනවා. මුලින්ම මම ටේලරිං සම්බන්ධ ව්‍යාපාරයක් තමයි කළේ.. ඒ අතරේ කුමාරි දිසානායක මහත්මියගෙන් රූපලාවණ්‍ය පාඨමාලාවක් අනුරාධපුරයේ තිබෙන නිසා මම එයට සහභාගී වුණා.. ඒත් අපේ තාත්තා මම රූපලාවණ්‍ය ඉගෙන ගන්න එකට තදින්ම විරුද්ධ වුණා.. අම්මා නම් කිව්වේ ඉගෙන ගන්න දෙයක් වැඩි වෙන්නේ නෑ.. ඒක නිසා ඒවත් ඉගෙන ගත්තට කමක් නෑ කියලා..

* ඊට පස්සේ රුවන් කොහොමද වෘත්තීය රූපලාවණ්‍ය ශිල්පියෙක් වෙන්නේ?

මට හිතුණා මේ සම්බන්ධයෙන් තවත් දැනුම ලබා ගැනීම වඩා හොඳයි කියලා.. ඒ නිසා මම කොළඹට ඇවිත් රමණී අර්සකුලරත්න මහත්මියගෙන් විධිමත් දැනුමක් ලබා ගත්තා. එතනින් නවතින්නේ නැතිව ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන් ශිල්පිනියන්ගෙන් දැනුම ලබා ගත්තා පමණක් නෙමෙයි ඔවුන් යටතේ සිටිමින් වැඩි කාලයක පළපුරුද්දක් ලබා ගත්තා. ඉන් පස්සේ තමයි මගේ ව්‍යාපාරික ආයතනයක් ආරම්භ කරලා ගමනක් යන්න පටන් ගත්තේ.. එදා පටන් ගත්ත ගමන දැන් මම සෑහෙන දුරක් ඇවිත් තියෙනවා.

* ඔබ දැන් රූපලාවණ්‍ය කරන නිසා කලින් කළ දේවල් අතහැරියද?

කොහෙත් ම නෑ. මොකද මම ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් විදියටත් වැඩ කරනවා. අනුරාධපුරයේ පළමුවරට විලාසිතා දැක්මක් 2004 දී කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිදු කළා. ඒ වගේම මහජන බැංකුවේ අනුරාධපුර ශාඛාවේ භක්තිගීත කණ්ඩායමේ ඇඳුම් නිර්මාණය හැම වසරකම සිදු කළා. ඒ වගේම මේ වසරේ මහජන බැංකුවේ සමස්ථ ලංකා භක්ති ගීත කණ්ඩායම්වල ඇඳුම් නිර්මාණය කළේත් මමයි..

* ඔබ රූපලාවණ්‍ය විෂයය පිළිබඳ ගුරුවරයෙක් ලෙසිනුත් ක්‍රියා කරනවා නේද?

ඔව්.. මම ඉගෙන ගත් දේ අනෙක් අයටත් බෙදා දෙනවා. මනාලියන් හැඩගැන්වීම ගැන ඩිප්ලෝමා පාඨමාලා පවත්වනවා. නගරාධිපති එච්.වී. සෝමදාස සමඟින් එකතුවෙලා අඩු ආදායම්ලාභී කන්තාවන්ට නොමිලේ රූපලාවණ්‍ය පාඨමාලාවන් මෙන්ම කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර සමඟින් එකතුවී අනුරාධපුර නගරයේ කාන්තාවන්ට රූපලාවණ්‍ය පාඨමාලාවන් පවත්වනවා. නාගරික මන්ත්‍රීනි නීතිඥ පි‍්‍රයදර්ශනී කාරියවසම් සමඟින් එක්ව අඩු ආදායම්ලාභී අයට කොණ්ඩා කැපීමේ පාඨමාලාවක් නොමිලේ පැවැත්වුවා. නැවතත් ඒ වගේම මම 2016 දී දැවැන්ත ප්‍රදර්ශනයක් කළා. ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් ‘මංගල සිහිනය’ නමින්. මෙය මනාලියන් දැක්මක් සහ වෙළෙඳ ප්‍රදර්ශනයක්. මෙය මංගල උත්සව සඳහා වන ප්‍රදර්ශනයක්. මෙය ලබන සැප්තැම්බර් මස 15-16 දින දෙකේ අනුරාධපුර යොවුන් නිකේතනයේ දී පැවැත්වීමට කටයුතු කරනවා.

2016 'මංගල සිහින' ජයග්‍රාහකයන්ට ඔවුන්ගේ විවාහ මංගල්‍යය අපි සම්පූර්ණයෙන්ම නොමිලයේ කර දුන්නා. මේ අවුරුද්දේ ඉඳලා නැවතත් ඒ කටයුත්ත 'තරුණී' පුවත්පත එක්ක පටන් ගන්න මම සූදානම්. උතුරුමැද පළාතේ ජීවත්වෙන විවාහවීමට අපේක්ෂාවෙන් සිටින තරුණී පාඨකයන්ට මේ සඳහා අවස්ථාව ලැබෙනවා.

* ඔබට උදවු උපකාර කළ පිරිසකුත් ඇති...

මම කැමැතියි මෙතෙක් දුරක් පැමිණීමට මට උදවු කරපු මගේ මවුපියන්, සහෝදර සහෝදරියන්, මිතුරු මිතුරියන් වගේම මට දැනුම ලබා ගන්න උදවු උපකාර කළ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ටත් ස්තුති කරන්න. ඒ වගේම මට රූපලාවණ්‍යාගාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය සැපයුවේ මගේ මහප්පගේ දුව. ඒ දිනවල දී රුපියල් 25000 ක් කියන්නේ ලොකු මුදලක්. මට ඒ මුදල් සපයලා රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ තැනක් හදාගන්න ඒක ලොකු උදව්වක් වුණා.. ඒ නිසා මේ වෙලාවේ මම ඇයටත් විශේෂයෙන්ම ස්තුති කරන්න කැමැතියි.

' තඹර බ්‍රයිඩ්ල්' නමින් අනුරාධපුර ජනප්‍රියම රූපලාවණ්‍යාගාරය පවත්වාගෙන යමින් අනුරපුරට සේවය සලසන මේ රූපලාවණ්‍ය ශිල්පියාට අපි ද සුබ පතමු.

1084 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 31, අඟහරුවාදා 12:34
අදහස් එක් කිරීමට ලොග් වෙන්න