රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ජූලි 31, අඟහරුවාදා 14:21

ආයු වඩන සුපිරි පලතුර දෙළුම් විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
පලතුරු වගාවන් අතරින් දෙළුම් සුවිශේෂි වන්නේ එය මිල අධික පලතුරක් වීමත්, වගා කිරීමට තරමක් අපහසු පලතුරක් නිසාත්ය. දෙළුම්වල ඇති බොහෝ ඖෂධ ගුණයන් නිසා වැඩි ඉල්ලුමක් ඇති පලතුරක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.

 

පුනිකේසියේ නම් ශාක කුලයට අයත් දෙළුම් ගස සම්භවය වී ඇත්තේ ඉරානය ආශ්‍රිත මධ්‍යම ආසියානු ප්‍රදේශයේය. අනාදිමත් කාලයක සිට මෙම භෝගය, ආසියාව, යුරෝපය හා අප්‍රිකාවට අයත්වන මධ්‍යධරණී රටවල වගා කරනු ලැබේ. ක්‍රිස්තු පූර්ව පළමු සියවසේදී පමණ මධ්‍යම හා දකුණු ඉන්දියාව වෙත හඳුන්වාදී ඇති දෙළුම් ගස දැන් පකිස්තානය සහ ඉන්දියාවේ සෑම ප්‍රදේශයකම පාහෙත්, බොහෝ අග්නිදිග ආසියානු රටවලත් වගා කෙරේ.

අතීතයේ සිටම වටිනා පලතුරක් මෙන්ම ඖෂධීය ශාකයක් ලෙස විශේෂයෙන්ම ලංකාවේ ගෙවතුවල දෙළුම් ශාකය වගා කෙරේ. ගසේ හුරුබුහුටි බව හා වසරේ වැඩි කාලයක් මල් හටගැනීමේ හැකියාව නිසා විසිතුරු ශාකයක් ලෙසද දෙළුම් සඳහා ඉල්ලුමක් පවතී. එසේම විසිතුරු ශාක ලෙස පමණක් වවන දෙළුම් ප්‍රභේද ද ඇත.

දැනට ලංකාවේ බහුලව වගා කරන්නේ දේශීය දෙළුම් ප්‍රභේදවන අතර, ඒවා සඳහා පාරිභෝගික ඉල්ලුම අඩුය. එයට හේතුව මේවායේ ඵලවල බීජ තද ස්වභාවයකින් යුක්තවීම, යුෂ ප්‍රමාණය අඩුවීම වැනි හේතුය. නිමාලි, දයා, නයන එලෙස ලංකාවේ වගා කරන ප්‍රභේද කිහිපයකි.

දේශගුණික අවශ්‍යතා

ස්වාභාවයෙන් දෙළුම් ශාකය අනුවර්තනය වී ඇත්තේ තද ශීත කාලයක් හා තද උණුසුම් කාලයක් පවතින ප්‍රදේශවලය. මෙම ශාකය අර්ධ ශුෂ්ක ප්‍රදේශවල හොඳින් වැවෙන අතර, තද නියං තත්ත්වයට හොඳින් ඔරොත්තු දේ. නමුත් එවැනි ප්‍රදේශවල උසස් අස්වැන්නක් ලබාගැනීමට නම් ජල සම්පාදනය කළ යුතුය.

දෙළුම් ගසට උචිත පස

දෙළුම් ශාකය විවිධ පස් වර්ග රාශියක වගා කළ හැකි වුවද මැටි ලෝම පස වගාවට වඩා උචිතය. තවද වෙනත් පලතුරු භෝගවලට වඩා දෙළුම් ශාකය පසෙහි පවතින ආම්ලික තත්ත්වයන්ට ඔරොත්තු දේ. දෙළුම් පැළ වගාකිරීම ආකාර තුනකට කළ හැකියි. දෙළුම් බද්ධ කිරීම එතරම් සාර්ථක නැත.

බීජ පැළ

මවු ගස්වලින් තෝරාගත් මේරූ ගෙඩිවල බීජ තවාන් කිරීමෙන් බීජ පැළ නිපදවාගත හැකියි. මෘදු බීජ සහිත වර්ගවල බීජ සතියකින් පමණ පැළ වේ. මෙම බීජ පැළ සුදුසු තත්ත්වයට පත් වූ විට බඳුන් කර මාස 4 - 5 පමණ නඩත්තු කිරීමෙන් සිටුවීමට යෝග්‍ය තත්ත්වයට පත්වේ. දෙළුම් ශාකයේ වැඩි වශයෙන් ස්ව පරාගනය සිදු වුවද පරපරාගනය යම් තරමකට සිදු වේ. එනිසා මෙවැනි බීජ පැළවල මවු ශාකයට වඩා වෙනස් ලක්ෂණ තිබිය හැකියි.

මුල් ඇද්දවූ දඬු කැබලි

මවු ශාකයේ ලක්ෂණ ඒ ලෙසටම පවතින පැළ නිපදවා ගැනීම, මවු ශාකයේ දඬු කැබලි මුල් අද්දවා ගැනීමෙන් කළ හැකියි. මීට මවු ශාකයේ පහත ප්‍රදේශයෙන් පැත්තට වැඩී ඇති අතුවලින් මේරූ දඬු කැබැලි ලබා ගැනීම වඩාත් සුදුසුය.

එම දඬු කැබලි සෙන්ටිමීටර් 20 - 25 පමණ දිග කැබලිවලට කපා ඒවායේ කැපුම් පෘෂ්ඨයේ මුල් ඇද්දවීමට යොදා ගන්නා හෝමෝනයක් තවරා දඬු කැබලි 2/3 ක් පමණ යට වනසේ තවාන් පාත්තියේ සිටුවා ගත යුතුය. මෙම දඬු කැබලිවලින් මුල් හටගෙන වැඩෙන පැළ, වසරකින් පමණ ක්ෂේත්‍රයේ සිටුවීම සඳහා සුදුසු තත්ත්වයට පත්වේ.

නමුත් සාමාන්‍ය තත්ත්වය යටතේදී දඩු කැබලි මුල් අද්දවා ගැනීම තරමක් අපහසුය. එනිසා විශේෂ ප්‍රචාරක ව්‍යූහයක් තුළ දඬු කැබලි මුල් අද්දවා ගැනීම වඩාත් උචිතය.

හොඳ අස්වැන්නක් ලබාගැනීමට නම්

දෙළුම් වගාවට හොඳින් හිරුඑළිය අවශ්‍ය නිසා තනි වගාවක් ලෙස වගා කිරීමෙන් උපරිම අස්වැන්නක් ලබාගත හැකියි. නමුත් වගාවේ මුල් වසරේදී ගස් අතර කෙටි කාලීන වාර්ෂික භෝග වගා කිරීම සුදුසුය.මීටර් 3ය3 පරතරයට සෙන්ටි මීටර් 60ය60 වලවල් සකසා ගන්න. පතුළට පොල්ලෙලි තට්ටුවක් අතුරන්නේ නම් වඩාත් සුදුසුයි. වැලි සහිත පසේ වගා කරන්නේ නම් මේ අන්දමට පොල් ලෙලි යෙදීම ඉතා වැදගත්ය. ඉන්පසු මතුපිට පස් හොඳින් දිරාපත් වූ ගොම හෝ කොම්පෝස්ට් මිශ්‍රණයකින් වළවල් පුරවා ගන්න.

පැළ සිටුවීම වර්ෂා කාලය ආරම්භය සමඟ සිදු කිරීම වඩා සුදුසුය. පැළය වටා බේසමක් ආකාරයට පස සකස්කර ජලය සපයන්න. එසේම වියළි තණකොළ වැනි ද්‍රව්‍ය භාවිතකර ගස වටා වසුනක් යොදන්න.

ගස් පුහුණු කිරීම

ආරම්භයේ සිටම දෙළුම් ගස් ක්‍රමානුකූලව පුහුණු කිරීම මඟින් ගසට මනා පෙනුමක් ලැබෙන අතර උසස් ගුණාත්මයෙන් යුත් අස්වැන්නක්ද ලබාගත හැකියි. ගස පුහුණු කිරීම එක් ප්‍රධාන තනි කඳක් ලෙස කළ හැකි වුවද, බොහෝ විට කරනු ලබන්නේ ගසේ පහළ සිට ප්‍රධාන කඳන් තුන හතරක් පමණ සංඛ්‍යාවක් වර්ධනය වීමට ඉඩ සැලසීමයි. මෙම ආකාර දෙකේදීම එම ප්‍රධාන කඳන් සෙන්ටිමීටර් 60 - 75 පමණ වැඩුණු පසු අග්‍රස්ථ ඉවත්කර අතු බෙදීම දිරිගන්වනු ලැබේ. එසේ වැඩෙන අතු ද වරින්වර කප්පාදු කිරීමෙන් ඉහළ සැකිල්ල සාදාගත හැකියි. සෑම ප්‍රධාන කඳකම පොළොව මට්ටමේ සිට සෙන්ටිමීටර් 60 - 75 පමණ උසක් දක්වා ඇතිවන අමතර අතු ඉවත්කළ යුතුය.

මීට අමතරව දිය රිකිලි ඉවත් කිරීම, අනවශ්‍ය ලෙසට දිගට වැටෙන අතු කෙටි කිරීම, පොළොව සමඟ ස්පර්ශවන හා ඉතා පහළින් හටගන්නා අතු ඉවත්කිරීම, මැරුණු අතු හා පිළිල සහිත අතු ඉවත් කිරීම ද වරින්වර කළ යුතුය.

කෘමි හානි පාලනය

දෙළුම් සමනලයා - අප රටේ දෙළුම් වගාවේ වැදගත්ම පළිබෝධකයා වන්නේ දෙළුම් සමනලයායි. මෙම සමනලයා විසින් ගෙඩි හා මල් මත බිත්තර දමන අතර, පිටවන කීටයා ගෙඩිය තුළට අතුළුවී එය විනාශ කරයි. ගෙඩිය පිට පැත්තේ සිදුරුකර තිබීමෙන් හානි වූ ගෙඩි පහසුවෙන් හඳුනාගත හැකියි. ගෙඩිය ළපටි කාලයේදී රෙදි හෝ කඩදාසි උරවලින් ආවරණය කිරීමෙන් මෙම හානිය සාර්ථකව පාලනය කළ හැකියි. කඩදාසි උර ජලය උරාගන්නා නිසා හා සතුන්ගෙන් හානි සිදුවීම නිසා පැවැත්ම අඩුයි. හානියට පත්වූ ගෙඩි සියල්ල එකතුකර විනාශ කිරීම මගින්ද මෙය පාලනය කළ හැකියි.

අස්වනු නෙළීම

දෙළුම් ගසේ වසර පුරාම මල් හටගනී. නමුත් වර්ෂා කාලයේදී මල් හටගැනීම වැඩිය. මලකින් ගෙඩියක් හටගෙන මාස 4 - 5 දී මේරීම සිදුවේ. දෙළුම් ශාකයේ වසර පුරාම මල් හට ගැනීම දැකිය හැකි මුත් ඵල දරන්නේ වසරේ මැද සිට අවසානය දක්වාය. ගෙඩි අස්වනු නෙළීමට සුදුසු අවස්ථාවට පත්වී ඇති බව තීරණය කිරීම සඳහා ඇඟිලිවලින් ගෙඩි මතට තට්ටු කිරීමේදී ඇතිවන විශේෂිත ශබ්දය උපයෝගී කරගත හැකියි.

දෙළුම් ගෙඩි නෙළා ගැනීමෙන් පසුව තවදුරටත් ඉදීම සිදුනොවේ. එනිසා නෙළීමට සුදුසු අවස්ථාවේ ඇති ගෙඩි පමණක් තෝරා ගැනීම වැදගත්.

පෝෂණ ගුණය

දෙළුම් යුෂ ප්‍රබලම විස නාශකයකි. හදවත් රෝග, අකලට මහලුවීම, අධික රුධිර පීඩනය, ඇල්ෂයිමර් රෝග, පිළිකා ආදියට හේතුවන අහිතකර ද්‍රව්‍යයන්ගෙන් අපව මුදවා ගන්නේ දෙළුම්වල අඩංගු විස නාශකයි. අර්ශස් රෝගීන්ට ද දෙළුම් මඟින් සහනයක් ලබා ගැනීමට පුළුවන්. පුරස්ථි ග්‍රන්ථයේ පිළිකා ඇතිවීම වැළැක්වීමටත්,

 

පියයුරු පිළිකා සෛලවලට පහරදීමටත් දෙළුම්වල අඩංගු විස නාශකවලට හැකි බව පර්යේෂණ මඟින් සොයාගෙන තිබේ. දෙළුම් තුළ ජලය මිලිග්‍රෑම් 78 ක් ද, ශක්තිය 85 ක් ද, විටමින් සී මිලි ග්‍රෑම් 16 ක් ද, මේදය ග්‍රෑම් 1.6 ක් ද සහ කැල්සියම් මිලි ග්‍රෑම් 10 ක් අඩංගුයි. රෝගීන් මරණයෙන් ගලවා ගන්නා ඖෂදයක් ලෙස ද දෙළුම් ප්‍රසිද්ධියක් උසුලන්නේ මේ නිසාමයි. කෑම අරුචියට, පීනසට වගේම මුඛ සහ දත් රෝග සඳහාත් දෙළුම් ගුණදායකයි.

දිගු කාලීන රෝගයකින් පෙළෙන අයකුට දෙළුම් යුෂ ස්වල්පයක් පානය කිරීමෙන් ඉක්මන් සහනයක් ලබාගත හැකියි. මෙවන් වූ පෝෂණ ගුණයෙන් පිරි දෙළුම් පලතුර අගුණවෙන අවස්ථා නැති තරම්ය.

 

උපදෙස්

කෘෂිකර්ම උපදේශක

එච්. ඒ. ඉන්දික ගුණසේන

බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝමාගම

1835 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 31, අඟහරුවාදා 14:22
අදහස් එක් කිරීමට ලොග් වෙන්න