රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 අගෝස්තු 20, සඳුදා 14:09

සුවදෙන පලතුරු තොරතුරු විශේෂාංග

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
අගයන්න
(0 මනාප)
දැන් වැඩිදෙනෙක් දවල් කෑම වෙනුවටත් පලතුරු වීදුරුවක් තෝරා ගන්නවා. එය රැල්ලක් නැත්නම් විලාසිතාවක් බවට පත් වෙලා. පලතුරු කියන්නේ අපි සියලු ලෙඩ රෝගවලින් බේරා ගන්නා සොබාදහමේ එක ආරක්ෂකයෙක්. පෝෂණ ගුණයෙන් පරිපූර්ණ පෝෂණාගාරයක්.

 

එහෙත් අපට ඕනෑම වේලාවක ඕනෑම පලතුරක් කෑමට ගත හැකි ද? පලතුරුවල නිසි ගුණ ලබන්නේ කොහොමද? ගුණදායක පලතුරු මදය පමණ ද? පලතුරු රස බැලීමට කැමැති අපි මේ කාරණා ගැනත් දැනුමක් ලබා ගැනීම වැදගත්. එවිටයි අපට පලතුරුවල රස බලා සැබෑවටම නීරෝගි විය හැක්කේ.

පලතුරු වගේම පලතුරුවල ඇටත් ඉතා ගුණදායකයි. ඇතැම් පලතුරු මද කෑමට ගත හැකි බව අප බොහෝ දෙනෙක් දන්නේ නෑ.

අලිගැට පේර, පෙයාර්ස්, ගස්ලබු, කොමඩු, කොස් කෑමට ගත හැකි ඇටවලට හොඳම උදාහරණ. එවැනි ඇට වර්ග අපේ නීරෝගිභාවය වැඩි කරනවා. උදා: අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, උදරය, බඩවැල් සම්බන්ධ ගැටලු, ප්‍රෝටීන් ජීර්ණය, රුධිර පීඩන මට්ටම ක්‍රමානුකූලව තබා ගැනීම ඒ අතර ප්‍රධානයි.

සමහර පලතුරුවල ඇට තිත්තයි. මේවා විස නැති වුණත් උදර ආන්ත්‍රික ගැටලු මතු කිරීමට හේතු වෙනවා.

ඇපල්, ඇප්‍රිකොට්, මිදි, පීච් වැනි පලතුරු ඇටවල ඝනකම් පොත්තක් තියෙනවා. ඒවායේ ඉතා සුළු ප්‍රමාණවලින් සයනයිඩ් අඩංගුයි. ඒත් මේවා පිළිකා හෝ බරපතළ රෝග තත්ත්වයන්ට හේතු වන්නේ නෑ. එසේ වන්නේ විශාල ප්‍රමාණයක් කෑමට ගත්තොත් පමණයි. සොබා දහම ඝන පොත්තක් දී ඇත්තේ සයනයිඩ් වැනි යම් විස වර්ග සුළු වශයෙන් ඒවායේ අඩංගු නිසයි. ඇටයක් දෙකක් හදිසියෙන් ගිලුණාට ජීර්ණ ගැටලුවක් මතු වන්නේ නැහැ.

අඹ ගෙඩියේ ඇටයේ වගේම ලෙල්ලෙත් ගුණ රාශියක් තියෙනවා. අඹ ලෙල්ල විසි කළත් එසේ විසි කරන්නේ පලතුරේ ගුණම කොටසක් බව වැඩි දෙනෙක් දන්නේ නෑ. අඹ ලෙල්ලේ තන්තු (කෙඳි), ඛනිජ ලවණ, විටමින්, ස්වාභාවික රසායන අඩංගුයි.

මේවා අපේ යහපත් සෞඛ්‍යයට අත්‍යාවශ්‍යයි. ලෙල්ලේ ඇති රසායන ගැටිති ඇතිවීම වළක්වනවා. හෘද රෝග අවදානම අඩු කරනවා. අක්මාව ආරක්ෂා කරනවා. වයස්ගතවීම වළක්වන්නත්, පිළිකා වළක්වන්නත් අඹ ලෙල්ලේ රසායන උපකාරී වෙනවා. අමු අඹ ලෙල්ලේ ගුණයට වඩා ඉදුණු අඹ ලෙල්ලේ ගුණය වැඩියි.

අද සුලබ සෞඛ්‍ය ගැටලු වී තිබෙන ඇල්ෂයිමර් රෝගයට, ඇසේ සුදට, පාකින්සන් රෝගයට පවා අඹ ලෙල්ල ඖෂධ සපයනවා. අඹ ඇටයේ මේදය 7.1 - 15% ක් පමණ තිබෙනවා. මේ ඹ්ච්ඹ් යන අහිතකර මේදය හෝ ට්‍රාන්ස් මේදය අඩංගු නෑ. මෙහි අඩංගු මේදය හිසකෙස් ගැලවී යාමට, ඉස්හොරිවලට, අකාලයේ හිසකෙස් ඉදීමට හොඳ ඖෂධීය විසඳුමක්. අඹ ඇටය හෘදයාබාධ, දියවැඩියාව, අහිතකර කොලෙස්ටරෝල්වලට ප්‍රතිකාර කිරීමේදී ද යොදා ගන්නවා. අඹ ඇට වේලා කුඩුකර ඉන්දියානු කාන්තාවන් ව්‍යාංජන රස කිරීමට යොදා ගන්නේ ද මේ රහස දන්නා නිසයි.

කාන්තාවක කුමන වයසක පසු වුවත් පෝෂණය අවශ්‍යයි. මල්වර වීම, ගර්භණීභාවය, කිරි දීම නිසා වගේම වයස්ගත වීම නිසා ද පෝෂණ අවශ්‍යතා ඉහළ යනවා. වියපත් වූ පසුව ද පෝෂණය ගැන තදින්ම සිතිය යුත්තේ එමඟින් අස්ථි, මාංසපේශි ක්ෂීණවීම, දියවැඩියාව, පියයුරු පිළිකා, හෘද ආශ්‍රිත ගැටලු, ඇස් පෙනීම දුබලවීම, සමේ ගැටලු ඇතිවීම වළක්වන නිසයි.

චෙරි, තක්කාලි, ගස්ලබු, පේර, ඇපල්, අලිගැට පේර කාන්තාවකට සෑම වයසකටම අවශ්‍ය පලතුරුයි.

සායනික පෝෂණය පිළිබඳ අමෙරිකානු ජර්නලය අපේ කාන්තාවන්ට සුබ ආරංචියක් ගෙන එනවා. විටමින් සී, ලිනොලෙයික් අම්ලය ගැනීමත්, තෙල්, පිටි අඩුවෙන් ගැනීමත් වයස් කල්‍යාණය සුරැකීමට උපකාරී වෙනවා. මේ පලතුරු හයම විටමින් සී වැනි විටමින් වර්ගවලින් ලිනොලෙයික් වැනි අම්ලවලින් පොහොසත්.

තක්කාලි කියන්නේ ප්‍රතිඔක්සිකාරයක් වන ලිසොපීන් ගබඩාවක්. මේවා කාන්තාවන්ගේ පිළිකා සෛල පැතිරීම වළක්වනවා. හෘදය ආශ්‍රිත රෝග තත්ත්ව ද වළක්වනවා. කාන්තාවන් වඩා ඇලුම් කරන පුවතක් ද අමෙරිකානු ජර්නලය ගෙන එනවා. ඒ 'ලිසොපීන්' අඩංගු ආහාර වැඩිපුර ගන්නා විට තරුණ පෙනුමක් ලැබෙන බවයි.

පිළිකා පැතිරීම වගේම, පිළිකා ඇතිවීම ද මෙමඟින් වළක්වනවා. විශේෂයෙන්ම පෙණහලු, උදර පිළිකා වැළැක්වීමේ ගුණයත් තක්කාලි සතුයි. ලිසොපීන් වැඩිපුර තක්කාලිවලින් ලබා ගන්න නම් හොඳින් පිස කෑමට ගත යුතුයි.

ගස්ලබුවලට විටමින් ඒ, සී, ෆෝලේට් හා ෆයිටොකෙමිකල්ස්වලින් අඩුවක් නෑ. ගස්ලබුවල අඩංගු පැපේන් ජීර්ණ ගැටලුවලින් සුවයක් ලැබීමට උපකාරී වෙනවා. දියවැඩියාවට, හෘද රෝගවලට, පාචනයට ගස්ලබු හොඳ විසඳුමක්.

පේර ග්‍රෑම් සීයකින් විටමින් සී ග්‍රෑම් 228.3 ක් ලබා ගන්න පුළුවන්. රුධිරයේ වැඩි සීනි මට්ටම අඩු කිරීමට උදව් වෙන නිසා දියවැඩියා රෝගීන්ට කදිම ඔසුවක්. මේ පලතුරේ පොටෑසියම්, දියවෙන තන්තු ඇති නිසා හෘද සෞඛ්‍යයට ද හිතකරයි. ඔසප් කාලයේදී ඇතිවන බඩ කොරවීමට ද මෙය විසඳුමක්. පේරවල තිබෙන තව ගුණ අතරට මානසික සෞඛ්‍ය වැඩි දියුණු කිරීම, ඇස් පෙනීම දියුණු කිරීම ආදී තවත් බොහෝ දේ ඇතුළත්.

ඇපල් පෙක්ටීන් කෙඳිවලින් පිරිලා. පෙක්ටීන් කෙඳි අතිරේක මේද උරා ගැනිම අවම කිරීමට උපකාරී වෙනවා. කෙඳි නැත්නම් තන්තු දිරවීමට වැඩි කාලයක් ගතවෙන නිසා අනවශ්‍ය ආහාර ගැනීම මෙමඟින් වළක්වනවා. එය දිගුකාලීනව හේතු වන්නේ බර අඩුකර ගැනීමටයි. ඇපල් හෘද රෝග ද අඩාල කරනවා. නිතර ඇපල් කෑමට ගන්නා කාන්තාවන්ගේ හෘදයාබාධ වැළඳීමේ අවදානම සියයට 13 - 22 ක් පමණ වළකිනවා.

අලිගැට පෙර කාන්තාවන්ගේ මිතුරියක්. අහිතකර ඹ්ච්ඹ් මේදය නහරවල තැන්පත් වීම මෙමඟින් වළක්වනවා. අනවශ්‍ය ලෙස ආහාර ගැනීමේ වුවමනාව ද අලිගැට පේර මඟින් අඩු කරනවා.

පලතුරු කෑමට ගැනීමට සුදුසු වේලාව කුමක් ද?

උදෑසන ආහාරය හා දිවා ආහාරය අතරත්, සැන්දෑවේ අතුරු පසක් ලෙසත් පලතුරු කෑමට ගැනීම වඩාත් සුදුසුයි.

දවල් ආහාර වේල වැඩිපුර ගැනීම වළක්වා ගැනීමට නම් දිවා ආහාරයට පැය භාගයකට පෙර පලතුරු කෑලි කීපයක් කෑමට ගන්න. කෑමට පෙර පලතුරු ගැනීමෙන් සිරුරට තන්තු ද වැඩිපුර ලැබෙනවා. තන්තු ද කුසගින්න අවම කරනවා. ඇපල්, පෙයාර්ස්, කෙසෙල්, රාස්ප්බෙරිවල කෙඳි අධික ලෙස අඩංගුයි.

නින්දට ආසන්නව පලතුරු ගැනීම නම් නුවණට හුරු නෑ. පලතුරුවල සීනි වැඩිපුර ඇති නිසා නිදිමත ඒමට පමා වෙනවා. ඒ නිසා නින්දට පැය දෙක තුනකට පෙර පලතුරු කෑමට ගන්න.

උදෑසන හිස් බඩ පැඟිරි කුලයේ පලතුරු පමණට වඩා ගැනීම සුදුසු නැහැ. ඉන් උදරයේ අම්ල ගතිය වැඩි වෙනවා. දැඩි කෙඳි සහිත පේර, දොඩම් ආදී පලතුරු උදේම ගැනීමෙන් ජීර්ණය මන්දගාමී වෙනවා.

උදරයේ අම්ලිකතාව වැඩි අය උදේ හිස් බඩ පැඟිරි පලතුරු ගැනීම විශේෂයෙන් සුදුසු නෑ.

836 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අගෝස්තු 20, සඳුදා 14:11
අදහස් එක් කිරීමට ලොග් වෙන්න