තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 සැප්තැම්බර් 04, අඟහරුවාදා 11:58

පොත් වසන්තයට ඔබත් සූදානම් ද? විශේෂාංග

Written by 
අගයන්න
(1 මනාපය)
මේ උදා වී ඇත්තේ සැප්තැම්බර් මාසයයි. තවත් ආකාරයකින් හඳුන්වන්නේ නම් මේ සාහිත්‍ය මාසයයි. බක් මාසයේ අවුරුදු සැණකෙලියට සූදානම් වෙනවා මෙන් ඇතැමුන් සාහිත්‍ය මාසය උදාවන තුරු ඉන්නේ ඇඟිලි ගනිමිනි.

 

සාහිත්‍ය රසයෙන් පිරි මංගල්‍යයක අසිරිය විඳගන්නට ඔබ මේ වන විටත් ලහි ලහියේ සූදානම් වනු නිසැකය.

තවත් නොබෝ දිනකින් ආරම්භ වන ජාත්‍යන්තර පොත් සල්පිලෙහි සැරි සරන්නට ඔබ නොඉවසිල්ලෙන් සිටිනු නොඅනුමානය. තොරතුරු පිපාසාවෙන් පෙලෙන්නා වූ අතිමහත් පාඨක ජනතාවට පොත් සල්පිලෙහි රසය ඉමිහිරි අත්දැකීමක් වනු ඇත.

මේ වනවිට පොත් ප්‍රකාශකයන් තම පොත්පත් අවම මිල ගණන් යටතේ පාඨක ප්‍රජාවට තිළිණ කිරීමට කටයුතු සැලසුම් කර ඇත. පොත් ප්‍රදර්ශනයක වටිනාකම පාඨක ජනතාවට වඩා තදින්ම දැනෙනුයේ මිලදී ගන්නා පොතපත වට්ටම් සහිතව පහසුවෙන් ලබා ගත හැකි බැවිනි.

එහෙත් මෙම අසිරිමත් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට, පොත්පත් මිලදී ගැනීමට දහස් සංඛ්‍යාත ජනතාවක් ඇදී ආවද තවමත් මෙවැනි පොත් සල්පිලකට කිසිදා පය නොතැබූ මිනිසුන් ද මෙරට නැතුවා නොවේ. එක් පැත්තකින් එසේවීමට කරුණු කාරණා කිහිපයක් බලපානු දැකිය හැකියි.

රටේ දුර බැහැර ප්‍රදේශවල සිටින පුද්ගලයන්ට පැමිණීමේ දුෂ්කරතාවයක් පැවතීම එක් හේතුවකි. තවත් පැත්තකින් මෙවැනි ජාත්‍යන්තර ප්‍රදර්ශනයකින් පොත්පත් මිලදී ගැනීමට තරම් මූල්‍යමය පහසුකම් නොමැතිවීම නිසා ද එය මග හරිති. තවත් සමහරකු ඔවුන්ගේ කාර්යබහුල ජීවිතය නිසා පොත් ප්‍රදර්ශනයට පැමිණීම අතපසු කරනු ඇත. කොතෙකුත් දුෂ්කරතාවන් පැමිණිය ද වසරකට එක්වරක් පමණක් පැවත්වෙන මෙම සාහිත මංගල්‍යයයේ අසිරිය විඳ ගැනීමට ඔබ උනන්දු වන්නේ නම් එය ඉතාමත් අගනේය.

අගනගරයෙන් දුර බැහැර සිටිනා අයකුට පොත් ප්‍රදර්ශනයට පැමිණිම නොහැකි වේ නම් ඇතැම් විට ඔබගේ ප්‍රදේශයේ පවත්නා පොත් ප්‍රදර්ශනයකට සහභාගී වී ඔබගේ අවශ්‍යවතාව ඉටු කර ගත හැකියි. ඔබගේ ප්‍රදේශයේ ඇති පොත් සාප්පු තුළින් ද පොත් සල්පිලෙන් ලබා ගන්නා වටිනාකමට පොතපත මිලදී ගැනීමට මෙම සාහිත්‍ය මාසයේ අවස්ථාව ලබා දී ඇත.

ඇතැම්විට ඔබගේ ගම් ප්‍රදේශයේ මහජන පුස්තකාලය තුළින් පොත් ප්‍රදර්ශන පැවත්වීමේ වැඩසටහන් සිදු කරනු ඇත. එවැනි අවස්ථාවකට සහභාගී වී පොතපත මිලදී ගැනීමට හැකියාව ඇත. කොළඹ පොත් ප්‍රදර්ශනයට පැමිණ පොත්පත් මිලදී ගැනීමට නොහැකි වුවත් ඔබට තවත් වටිනා අවස්ථාවක් ඔබගේ ප්‍රදේශයේ මහජන පුස්තකාලය තුළින් ලබා ගත හැකියි. මෙම සාහිත්‍ය මාසයේ සෑම පුස්තකාලයක්ම පාහේ පොත්පත් මිලදී ගනු ලබයි. එබැවින් ඔබට අලුත්ම පොතපත කියවා රසවිඳීමට ගම් ප්‍රදේශයේ මහජන පුස්තකාලය මඟින් සිදු කරනුයේ අප්‍රමාණ මෙහෙවරකි.

මෙය කියවන ඔබ ආදරණිය මවක්, ගෘහණියක්, බිරිඳක්, සහෝදරියක් විය හැකියි. ඔබ ඉතාමත් කාර්යබහුල කාන්තාවක් බව කිව යුතුමය. නමුත් මේ කාර්යබහුල බව මොහොතකට පසෙකලා එක දිනක් ඔබගේ දියණිය, පුතණුවන් මෙම පොත් ප්‍රදර්ශනයේ අසිරිය නැරඹීමට රැගෙන යාමට උත්සාහ කරන්න. පොතපතේ වටිනාකම පහදා දෙන්න. ඉන් ලබාගන්නා දැනුම යම් දිනක අවියක් වන බව වටහා දෙන්න. මේ දිරිගැන්වීම කුඩා දරුවන්ගේ මනසට වටිනා ඖෂධයක් බව අමතක නොකළ යුතුය. කුඩා අවධියේ සිටම පොතපත ඇසුරට ඔවුන් හුරු කරන්නේ නම් අනාගතයේ සිදුවන ව්‍යවසන බොහොමයක් වළක්වා ගත හැකියි. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට පමණක් නොව අභියෝග ජය ගනිමින් සමාජීය දැනුම කියාදෙන හොඳම මාර්ගය වන්නේ ද පොතපත ඇසුරු කිරීමයි. එබැවින් වසරකට වරක් පමණක් පැවත්වෙන මෙම පොත් සල්පිලට ඔබගේ දරුවා රැගෙන යාමට ඔබ දෙවරක් නොසිතිය යුතුය.

යම් ලෙසකින් ඔබට මෙවර පොත් ප්‍රදර්ශනයට පැමිණ පොත්පත් මිලදී ගැනීමට යම් ආර්ථික අපහසුතාවකින් පසු වන්නේ නම් ඊළග වර්ෂයේ දී එසේ නොවීමට ඔබට කල් තියාම කටයුතු කළ හැකියි. ඔබ අතින් යම් යම් දේ සඳහා නිකරුණේ මුදල් වියදම් වනවා විය හැකියි.

එය අවම කර ගැනීමට කටයුතු කරන්න. ඔබේ දරුවාට මුදල් ඉතිරි කර ගැනීමට කැටයක් ලබා දී එමඟින් එකතුවන මුදලින් පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිලදී ගැනීමට හැකි වන බව වටහා දෙන්න. බලන්න, ඔබ සතියකට රුපියල් සියයක් වැනි මුදලක් දරුවාගේ කැටයට එකතු කිරීමෙන් අවුරුද්දකට රුපියල් පන්දහසකට ආසන්න මුදලක් ඉතිරි කර ගත හැකියි. එවන් මුදලකින් පොත්පත් විශාල ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකි වන බව ඔබට ද වැටහෙනු ඇත. පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් එකවර මුදලක් වැය කිරීමට අපහසු ඔබට මෙය කදිම විසඳුමකි. එය ඔබේ දරුවාගේ බුද්ධි වර්ධනයට රුකුලක් වන්නා සේම අවුරුදු කිහිපයක් ගත වන විට නිවෙස තුළ ඔබගේම පුස්තකාලයකට හිමිකම් කීමට හැකි වනු ඇත. අද ඔබ තබන මේ අඩිතාලම හෙට දින ඔබට, ඔබේ දරුවාට මහත් ඵල ලබා දෙනු නිසැකය.

සකුන්තලා සෙනෙවිරත්න

ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති

රුහුණු විශ්වවිද්‍යාලය

1040 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 සැප්තැම්බර් 04, අඟහරුවාදා 11:59
අදහස් එක් කිරීමට ලොග් වෙන්න