තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 සැප්තැම්බර් 04, අඟහරුවාදා 12:03

අම්මේ ඔබේ දරුවාට හිරු එළියේ සෙල්ලම් කරන්න දෙන්න විශේෂාංග

ලිව්වේ  සාගරිකා දිසානායක
අගයන්න
(0 මනාප)
"හා, හා පුතා, අව්වෙ දඟලන්න එපා. අව්වේ කරවෙලා හිසේ කැක්කුම හැදෙයි.""අනේ දුවේ හෙවණකට වෙලා සෙල්ලම් කරන්නකෝ. අව්වේ දඟලලාම ඔයා කළු වෙයි."

 

මේ අද කාලේ අම්මලා බොහෝ දෙනකු එළිමහනේ සෙල්ලම් කරන දූලා පුතාලාගෙන් කරන සුලභ ඉල්ලීමක්. නිවාඩු කාලේත් ගේ ඇතුළටම වෙලා පොතක් පතක් බලාගෙන පාඩුවේ ඉන්න කැමැති මොන ළමයාද? දඟ නොකර ගේ ඇතුළටම වෙලා ඉන්න දරුවන් බලා කියාගන්න ලේසියි. ළමයි අව්වේ සෙල්ලම් කළාම හිසේ රුදාව හැදෙයි, කළුවෙයි කියලා අම්මලා බයයි. ඒත් හිරු එළියේ දුව පැන ඇවිදලා සෙල්ලම් නොකරන, ගේ ඇතුළටම වෙලා දවසම එක තැන ඉඳගෙන පොත පත බලන, රූපවාහිනිය නරඹන මෙන්ම පරිගණකය අසල රැඳී සිටින ළමයින්ගෙන් වැඩිදෙනකු පහසුවෙන්ම බෝ නොවන රෝගවලට ගොදුරු වෙනවා. මේ දරුවන්ගෙන් වැඩිදෙනකු වයසට සරිලන තරමට වඩා බර වැඩියි. අධි බර හෙවත් ස්ථුලතාවය, ළමා වියේ දියවැඩියාව, අධික රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් අධිකවීම, ඇදුම, පීනස, රක්තහිනතාව මෙන්ම විටමින් ඩී ඌනතවත් මේ බෝ නොවන රෝග අතරින් ප්‍රධානයි.

අපේ රටේ වත්මන් ළමා පරපුරෙන් වයස අවුරුදු පහට අඩු දරුවන් ගෙන් 52.9% ක් පෝෂණ ඌනතාවලින් පෙළෙන බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව මඟින් 2017 දී සිදු කරන ලද ප්‍රජා විද්‍යාත්මක හා සෞඛ්‍ය පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙනවා. අපේ රටේ වයස අවුරුදු පහට අඩු දරුවන් සංඛ්‍යාව 1830000 කින් 52.9% ක්ම විවිධ පෝෂණ විවිධ අඩුපාඩුවලින් යුක්තයි. ඔවුන් අතරින් 318147 දෙනකු වයසට සරිලන උසකින් යුක්ත නොවන (ඉබභදබඪදඨ) අතර දරුවන් 376995 ක්ම වයසට සරිලන තරම් බරකින් යුක්ත වන්නේ නෑ. (භදඤඥපඹඥඪඨඩබ)

වයසට සරිලන උස හා බර නැති දරුවන් සංඛ්‍යාව 972832 ක්. මේ අතරින් දරුවන් 204220 ක්ම ඉහත සඳහන් නිර්නායක තුළ දැඩි අඩුපාඩු සහිත දරුවන් බවත් එම පරීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා.

2017 වසරේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය පර්යේෂණ ඒකකයෙන් ලංකාවේ පාසල් සිසුන් අතරින් වයස අවුරුදු 10 - 18 ත් අතර පාසල් සිසුන් යොදාගෙන කරන ලද දීපව්‍යාප්ත සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ මෙරට එකී වයස් කාණ්ඩයට අයත් පාසල් සිසුන් අතරින් 58% ක් විටමින් ඩී ඌනතාවයෙන් පෙළෙන බවයි. මින් පෙර එවැනි සමීක්ෂණයක් සිදු කර ඇත්තේ වසර 2005 දී.

2005 වසරේ සිට 2017 දක්වා ගතවූ වසර දොළහ ඇතුළත මෙරට (වයස 10 - 18) පාසල් සිසුන් අතර ස්ථුලතාවය 200% කින් වැඩි වී ඇති බවත් එම ජාතික පරීක්ෂණයෙන් හෙලි වී තිබෙනවා.

දයාබර මවුපියනි, ඉහත සමීක්ෂණ ප්‍රතිඵලවලින් ඔබට දරුවන්ගේ ජීවිත ගැන දෙවරක් සිතන්නට වැදගත් කරුණු කාරණා කීපයක්ම හෙලිවී තිබෙනවා.

ඉන් පළමුවැන්න මෙකී රෝග තත්ත්වවලට ගොදුරු වූ දරුවන් ගේ ජීවිතවල සෞඛ්‍යවත් භාවය පිළිබඳ පළමුවෙන්ම වගකිවයුතු වන්නේ වැඩිහිටි ඔබ බවයි.

දෙවැන්න එකී දරුවන් ගේ අනාගතය කෙසේ විය හැකි ද යන වගයි.

තෙවැන්න එවැනි රෝගී වැඩිහිටි පිරිසක් සිටින රටක අනාගතය කෙසේ විය හැකි ද යන වගයි.

විටමින් ඩී ඌනතාවය යනු එතරම් වැදගත් සෞඛ්‍ය කාරණාවක් යැයි බොහෝදෙනෙකු සිතන්නේ නෑ. විටමින් ඩී ඌනතාවය බොහෝ රෝග තත්ත්ව ඇති වීමට හේතු වෙනවා. දියවැඩියාව, පිළිකා වැනි දිගුකාලින බෝ නොවන රෝග ඇති වෙන්නට එය හේතු වෙනවා. එමෙන්ම මාංස පේශි වේදනාව, අස්ථි වේදනාව මෙන්ම උදාසීන බවක් ඇති වීමටත් විටමින් ඩී හීනවීම හේතුවක්.

අපේ සිරුරට විටමින් ඩී ලැබෙන ප්‍රධාන ස්වාභාවික සාධකය හිරු එළියයි. හිරු එළියේ අඩංගු විටමින් ඩි නිසි පරිදි ලැබුණු විට බොහෝ දුරට විටමින් ඩී අවශ්‍යතාව සපුරා ගන්නට පුළුවන්. ඉස්සර නම් අපේ ළමයින් හිරු එළියේ හොඳට දුව පැන ඇවිදලා සෙල්ලම් කරනවා.

පාසල් කාලෙදිත් උදෑසන කාල රිච්ඡේදය බොහෝ විට වෙන් කෙරුණේ ශාරීරික අභ්‍යාස සඳහා. ඒත් මෑත අතීතයේ පටන් බොහෝ විට ශාරීරික අභ්‍යාස සඳහා වෙන් කෙරුණු කාලයත් අහෝසි වෙලා ගිහින්. ඒ කාල පරිච්ඡේදයත් ශිෂ්‍යත්ව විභාගයට, සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයට සිසුන් සූදානම් කරන අමතර ශක්තියක් සඳහා වෙන් වෙලා. කාලයාගේ ඇවෑමෙන් අපේ රටේ අධ්‍යාපන ක්‍රමය විභාග අරමුණු කරගත් එකක් බවට පත් වීමත් සමඟම පාසල් දරුවන්ට එළිමහනේ සෙල්ලම් කරන්න තිබුණු කාලවේලාව හොඳටම අඩුවෙලා ගිහින්.

එහි අනිටු ප්‍රතිවිපාකයක් ලෙසත් මේ විටමින් ඩී ඌනතාවය හඳුන්වන්නට පුළුවන් බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසනවා.

ඉස්සර කාලේ අපි බොහෝදෙනෙකු අහලා තිබුණේ වැඩියෙන්ම විටමින් ඩී ලැබෙන්නේ උදෑසනින්ම පායන හිරුකිරණවලින් බවයි. ඒත් වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසන්නේ වඩාත්ම හොඳින් විටමින් ඩී සිරුරට ලැබෙන්නේ පෙරවරු 10 - 12 ත් අතර කාලයේදි බවයි. සාමාන්‍යයෙන් මේ හිරු රැස් තදින්ම පතිත වෙන කාල සීමාවයි. පාසල් නොයන නිවාඩු දිනවලට අපේ දරුවන් මොනවද කරන්නේ? පාසල් දිනවලටත් වඩා අමතර පන්තිවලට යනවා. ගෙදර හිටියත් අපි මුලින් සඳහන් කළා වගේ අව්වේ සෙල්ලම් කරන්න එපා. ලෙඩ වෙයි, කළු වෙයි කියලා අම්මලා දරුවන්ට එළියට බහින්න දෙන්නේ නෑ. මුළු දවසම පොත් කියවමින්, පරිගණකය ඉදිරියෙ වාඩිවෙලා ඉන්නේ කීකරු දක්ෂ දරුවො කියලා හිතලා අම්මලා සතුටු වෙනවා. ඒත් අවසානයේ දකින්න වෙන්නේ උක්ත සමීක්ෂණයෙන් හෙළි වූ ආකාරයේ විවිධ රෝගාබාධවලට ගොදුරු වූ රෝගී දරුවන් පිරිසක්.

ලංකාව වගේ ඝර්ම කලාපීය රටවල උපන් අප අතරින් වැඩිදෙනකුට ලැබිලා තිබෙන්නේ මෙලෙනින් වර්ණකය බහුල තලෙළු හෝ කළු පැහැති සමක්. මෙලනින් වර්ණකය වැඩි අපේ සම අව් රශ්මියට එතරම් පිලිස්සෙන්නේ නෑ. එහෙයින් බය නැතිව පෙරවරු 10 - 12 අතර කාලය තුළ විනාඩි 10 - 15 ක් හිරු එළියට හොඳින් නිරාවරණය වීමෙටත් හොඳින් විටමින් ඩී ලැබෙන බවයි වෛද්‍ය ජයතිස්ස මහත්මිය කියන්නේ.

ශරීරයට අවශ්‍ය තරම් විටමින් ඩී ලබා ගන්නට හිරු එළියේ සිටීම පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ. විටමින් ඩී අඩංගු ආහාර දිනපතා කෑමවේලට එක් කර ගැනීමත් ඉතා වැදගත්. බිත්තර කහමද, සැමන්, හුරුල්ලන් වැනි කුඩා තෙල් සහිත මසුන්, මෝර තෙල් හා කිරිවල විටමින් ඩී බහුලව අඩංගු වෙනවා. ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනයට, ස්නායු උත්තේජනයට උද්‍යෝගිමත් බව වැඩීමට, මතක ශක්තිය වැඩිමට මෙන්ම ක්‍රියාකාරකම් හොඳින් පවත්වාගෙන යාමටත් විටමින් ඩී උපකාර වෙනවා.

ශරීරයේ පැහැපත් බවට මෙන්ම රූ සපුව වර්ධනයටත් විටමින් ඩී හේතු වන බව ප්‍රකට කරුණක්. මේ හේතුව නිසා රූපය ලස්සන කරගන්නට කැමැති තරුණ තරුණියන් බොහෝ දෙනෙකුට විටමින් ඩී අමතර පෝෂකයක් ලෙස අලෙවි කරන්නට රූපලාවණ්‍ය කටයුතවලට යෙදෙන්නන් උත්සාහ කරනවා.

රූපලාවණ්‍ය ශිල්පීන් හෝ වෙනත් පුද්ගලයන් විසින් සිදු කරනු ලබන වෙළෙඳ ප්‍රචාරණවලට විවිධ විටමින් හා අමතර පෝසඛව්ග භාවිතයෙන් වැළකී සිටීමට නම් අපේ කාන්තාවන් බුද්ධිමත් විය යුතුයි. අව්වේ හිටියාට කළු වේය කියා බියෙන් දරුවන් ගේ ඇතුළේම තියාගෙන රෝගී පුද්ගලයකු බිහි කරනවාද දුව පැන ඇවිදලා සතුටින් වැඩෙන නිරෝගී පුද්ගලයකු අනාගතයට දායාද කරනවාද යන්නත් ගැන දෙවරක් සිතා බලන්න. අපේ අම්මලාට සුදුසු කාලය එළඹී ඇතැයි ඉහත කරුණු අනුව සිතෙනවා නොවේද?

උපදෙස් - කොළඹ ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය

 

රේණුකා ජයතිස්ස

1377 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න