රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 සැප්තැම්බර් 18, අඟහරුවාදා 12:12

බටහිර පන්නයේ ආහාර ප්‍රදාහයන් වැඩි කරනවා විශේෂාංග

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
අගයන්න
(0 මනාප)
'ප්‍රදාහය' (ඉන්ෆ්ලමේෂන්) මේ වචනය මොන තරම් අසා තිබෙනවාද? ඇදුම රෝගයෙන් පීඩා විඳින ඔබට වෛද්‍යවරයා පවසන්නේ පෙණහැල්ලේ වාතය ගමන් කරන නාල ප්‍රදාහයට පත් වී ඇති බවය.

 

නවතම වෛද්‍ය මතයට අනුව ඇදුම පමණක් නොව ආතරයිටිස්, හෘද රෝග, පිළිකා වැනි බොහෝ රෝගාබාධයන්ට පාර කපන්නේ ප්‍රදාහ තත්ත්වයන්ය.

දණහිස සීරුණු විට ඇතිවන රතු වීම, ඉදිමීම, එසේත් නැත්නම් පිලිස්සීමකදී ඇතිවන එවැනි තත්ත්වයක් ගැන මේ අනුව අපට සුළු කොට සිතීමට නොහැකියි.

'ප්‍රදාහය' සිරුර පුරාම ඇතිවිය හැකි තත්ත්වයකි. ප්‍රදාහයක් හට ගන්නේ සිරුරට ඇතුළු වූ බැක්ටීරියාව පරාජය කිරීමට සටන් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. තවත් ආකාරයකට පැවසුවොත් එය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මකවීමේ ප්‍රතිඵලයකි.

මෙය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කෙටිකාලීන ක්‍රියාකාරකමකි. එහෙත් එය නැතුවම බැරි ප්‍රතික්‍රියාවකි. නිව් සවුත් වේල්ස් හි සරසවියේ ආසාදන සහ ප්‍රදාහයන් පිළිබඳ අධ්‍යයන ඒකකයේ මහාචාර්ය ඇන්ඩෘ ලොයිඩ් පවන්නේ මෙය රෝග රැසකට බලපාන තත්ත්වයක් බවයි. බරපතළ රෝගවලට හේතු වන්නේ දිගුකාලීන ප්‍රදාහ තත්ත්වයි. සිරුරේ කොතැනක හෝ ඇතිවන ප්‍රදාහ තත්ත්ව නොසලකා නොසිටිය යුත්තේ ඒ නිසයි.

හෘද රෝග

 හෘද රෝගවලට ගොදුරු වන හරි අඩකගේම අහිතකර කොලෙස්ටරෝල් මට්ටම සාමාන්‍ය බව ඔබ දන්නවාද? පළමු හෘදයාබාධයට එසේත් නැත්නම් ආඝාත තත්ත්වයට (ස්ටෙ‍්‍රීක්) වගකිය යුත්තේ ප්‍රදාහයන්ය.

පිළිකා

 දිගින් දිගටම ඇතිවන ආසාදන, ප්‍රදාහයන්ට මඟපාදයි. පිළිකාවලට ගොදුරුවීම්වලින් 15% කම හේතුව ප්‍රදාහයන්ය. හියුමන් පැපිලෝමා වෛරසය (එච්. පී. වී.) ගැබ්ගෙල පිළිකාවට හේතු වේ. හෙපටයිටිස් බී, අක්මා පිළිකාවට පාර කපයි. දිගින් දිගටම පවතින ප්‍රදාහයන්ට විවිධ කාරණා බලපායි. සිගරට් දුම්, ඇස්බැස්ටෝස් හෝ සිලිකා ඒ අතරින් ප්‍රධානයි. දිගින් දිගට ප්‍රදාහ පවතින විට, නොකඩවාම තුවාල වූ පටක අලුත්වැඩියා කිරීම සිදු වෙයි. එය සෛලවල ජානවලට බලපාන අතර පිළිකා අවදානම වැඩි කරයි.

ඇල්ෂයිමර්

 මොළයේ ඇතිවන ප්‍රදාහයන් නිසා ඇල්ෂයිමර්, ඩිමෙන්ෂියා වැනි රෝග සෑදෙන බව දැන් විද්‍යාඥයන් සොයගෙන තිබේ. ඇල්ෂයිමර් රෝගයේදී මොළයේ ප්‍රෝටීනයක් තැන්පත් වන අතර එය ඉවත් කිරීමට අසීරුය. ප්‍රෝටීනය බාහිර ද්‍රව්‍යයක් ලෙස (ඇඟිල්ලේ කටුවක් ඇනීම වැනියි) හඳුනාගෙන ප්‍රදාහයක් ඇති වෙයි. වෙනත් රෝග සඳහා ස්ටීරොයිඩ් නොවන ප්‍රතිප්‍රදාහ ඖෂධ ගන්නා අයට මේ අවදානම අඩු බව පර්යේෂකයෝ පවසති.

දියවැඩියාව

 අධ්‍යයනයන් කිහිපයකින්ම හෙළි වී ඇත්තේ වැඩිහිටි වියේ දී සෑදෙන දියවැඩියාවට දිගින් දිගට පවතින ප්‍රදාහයන් බලපාන බවයි. ප්‍රදාහයන් සහ තරබාරු බව සහ ඉන්සියුලින් උරා නොගැනීම අතර සබඳතාවක් පවතී.

ප්‍රදාහ අක්‍රමිකතා

 හාවර්ඩ් වෛද්‍ය පාසලේ විද්‍යාඥයන් කළ අලුත්ම අධ්‍යයනයකට අනුව රුමැටොයිඩ් ආතරයිටිස් වැනි ප්‍රදාහයන් ඇති කරන රෝගියකු කෙනෙකු හෘදයාබාධයකට ගොදුරුවීමේ ඉඩ දෙගුණයකින් වැඩි කරයි.

අවම කිරීමට...

 සමබල ආහාර ගැනීම, ව්‍යායාම් කිරීම, දුම්පානය අත්හැරීම, (අක්‍රීය දුම් පානයට ගොදුරු නොවීම) දිගින් දිගටම ඇති විය හැකි ප්‍රදාහයන්ගෙන් වැළකී සිටීමට ඇති හොඳම මාර්ගයයි.

හිතමිතුරු ආහාර

 ඔමෙගා-3 මේද අම්ලය, ප්‍රදාහයන් අවම කරයි. මාළු සහ වොල්න්ට්ස්වල මේ මේද අම්ලය යහමින් අඩංගුයි. ඇස්කිමෝවරුන්ට හෘද රෝග හට ගන්නේ ඉතා අඩුවෙනි. ඒ වගේම ඔවුන් අතර ප්‍රදාහයන් ද අඩුය. මේ සියල්ලටම හේතුව මසුන් ආහාරයට ගැනීමයි.

ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් එළවළු පලතුරු ප්‍රදාහයන් ඇති කරන ද්‍රව්‍යයන් සමඟ සටන් කරයි. නිවිති, තද තැඹිලි රතු හෝ කහ එළවළුවල කැරොටිනොයිඩ් අධික ලෙස තිබේ. ඒවා සතුව ප්‍රබල ප්‍රතිප්‍රදාහ ගුණයක් පවතී. අන්නාසිවල බ්‍රෝමලේන් නම් එන්සයිමය ඇති අතර එය ප්‍රදාහයන් වැළැක්වීමේ ගුණයක් ඇති එන්සයිමයකි.

ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර ඉතා අහිතකරය. සුපිරි ආහාර අලෙවිසල්වල ඇති කෑම බීම බොහොමයකම ට්‍රාන්ස් මේදය අඩංගුය.

කහ සතුව ප්‍රතිප්‍රදාහ ගුණය ඉහළින්ම ඇත. ගම්මිරිස් සහ ඔලිව් තෙල් සමඟ කහ කෑමට ගැනීමෙන් කහවල ප්‍රතිප්‍රදාහ රසායන හොඳින් උරා ගැනීම සිදු කෙරෙයි. ඔලිව් තෙල් කැනෝලා තෙල් ප්‍රතිප්‍රදාහ ගුණයෙන් නොඅඩු තෙල් වර්ගයි.

ව්‍යායාම නොකර සිටින විට ප්‍රදාහයන් තව තවත් වැඩි දියුණු වෙයි. සතියකට, දිනකට පැය භාගය බැඟින් ඇවිදීම වැනි ව්‍යායාමයක හෝ නිරතවීම වැදගත් වන්නේ ඒ නිසයි. තරබාරුව, බොහෝ රෝගාබාධයන්ට සේම ප්‍රදාහයන්ට ද බලපායි. තරබාරු පුද්ගලයන්ගේ රුධිරයේ ප්‍රදාහයන් ඇති කරන ප්‍රෝටීනය ඉහළ මට්ටමකින් තිබේ. එනිසා ඔවුන්ට හෘදයාබාධ ඇතිවීමේ ඉඩකඩ ද වැඩිය.

සී. ආර්. පී. පරීක්ෂණය

 සී - රියැක්ටිව් ප්‍රෝටීන් (සී. ආර්. පී) ප්‍රදාහයන් මැන බැලීමට කරන පරීක්ෂණයයි. රුමැටොයිඩ් ආතරයිටිස් රෝගීන් සහ රුධිරයේ ආසාදන ඇති විට ප්‍රධාන වශයෙන් මේ පරීක්ෂණය සිදු කරයි. පිළිකා පර්යේෂකයන් අතර ද මේ පර්යේෂණය ජනප්‍රියය. ඔවුන් සොයා ගෙන ඇති අන්දමට ඉහළ සී. ආර්. පී. අගය වැඩි රෝගීන් එම අගය අඩු අයට වඩා ඉක්මනින් මරණයට පත්වීමේ ඉඩකඩ වැඩිය.

 

*******************

.* උදර ප්‍රදාහයන් වැළැක්විමට දිනපතා ස්්ට්‍රෝබෙරි ආහාරයට ගැනීමෙන් පුළුවන. උග්‍ර ඩයරියා තත්ත්වයකට සහ අප්‍රාණිකත්වයකට බඩවැල් ප්‍රදාහයට පත්වීම හේතුවේ. ඩාර්ක් චොකලට් (සියයට 70 කට වඩා කොකෝවා අඩංගු චොකලට්) ආතතිය මෙන්ම සිරුරේ ප්‍රදාහයන් ද වළක්වයි.

විෂාදයේදී සියදිවි නසා ගැනීමට සිතිවිලි ඇතිවීමට මොළයේ ප්‍රදාහයන් බලපායි.

එක් රාත්‍රියක් හෝ නිදිමැරීම ප්‍රදාහයන් ඇතිවීමේ ඉඩ වැඩි කරයි. හිරු එළිය ද ප්‍රදාහයන් වළක්වයි. විටමින් ඩී ප්‍රදාහයන් වළක්වන අතර උදෑසන හිරුඑළිය විටමින් ඩී ලබා ගත හැකි හොඳම ක්‍රමයයි.

බටහිර පන්නයේ ආහාර රටාව, ප්‍රතිජීවක, පිරිමියකු වීම අක්මාවේ ප්‍රදාහයන් වැඩි කරන ප්‍රධාන හේතූන්ය.

මාළුවල අඩංගු ඔමෙගා 3 ප්‍රදාහයන් වළක්වන ප්‍රධාන මේද අම්ලයකි.

දිගින් දිගට පවතින ප්‍රදාහයන් මාංස පේශි ධාරිතාව අඩු කරයි. එය වැටීමෙන් අස්ථි බිඳීම් අවදානම වැඩි කරයි.

249 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 සැප්තැම්බර් 18, අඟහරුවාදා 12:15
අදහස් එක් කිරීමට ලොග් වෙන්න