රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 සැප්තැම්බර් 18, අඟහරුවාදා 15:01

හොඳ සේවකයකුගේ ගති ලක්ෂණ මෙන්න විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
දැන් කාලයේ හැටියට රැකියාවක් සොයාගැනීම කළු නික සොයනවා වැනි ක්‍රියාවකි. අපි මොනතරම් හොඳීන් අධ්‍යාපනය ලබා තිබුණත් ආයතනයකට සුදුසු සේවකයකු තෝරාගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ තැබීමේ දී අදාළ ආයතනවල ප්‍රධානීන් සොයා බලන්නේ අධ්‍යාපනය පමණක් නොවේ.

 

එම ආයතනයේ දියුණූවට ඉවහල්වන ආයතනය හා එහි ප්‍රගතිය පිළිබඳ සිතන, ධනාත්මක චින්තනයක් සහිත සේවකයන් කෙරෙහි මෙහිදී ප්‍රධානීන්ගේ ආකර්ෂණය හිමිවේ.

රැකියාවක නියුතු සියල්ලන්ටම උවමනාව හා උනන්දුව ඇත්නම් එයින් ජීවිතය සාර්ථක කරගන්නට හැකිබව අපි පසුගිය ලිපියෙන් කීවෙමු. අද අපි ප්‍රධානීන් කැමැති, ඉහළට යන්න හිතන සේවකයකු සතු විය යුතු ගුණාංග පිළිබඳ දැනගනිමු. සැබැවින්ම දැනට ආයතනයේ ඉන්නා සේවකයන්ගෙන් හොඳම හා දීප්තිමත්තම සේවකයා තෝරාගන්නා විටත් ආයතනයකට හොඳම සේවකයකු තෝරාගන්නා විටත් සේවායෝජකයන් සොයන්නේ කුමක් ද? මෙය දැන සිටීම රැකියා සොයන අයට වගේම දැනට රැකියාවක නියුතු සියල්ලන්ටමත් එකසේ වැදගත්වනු ඇත. සෑම හොඳ සේවකයකු සතුවම වටිනාකමක් ඇත. එමෙන්ම එම සේවකයන් සතුව සුවිශේෂී ගති ලක්ෂණ ඇත. එම ගති ලක්ෂණ ඔබ සතුව තිබේ නම් හා ඒවා වැඩි දියුණු කරගන්නේ නම් රැකියාවේ නියුතු ඔබේ සාර්ථකත්වය ද කිසිවකුට වළකාලිය හැකි නොවේ.

අපි හොඳ සේවකයන් සතු නිශ්චිත ගුණාංග කිහිපයක් විමසා බලමු.

ශක්තිමත් වැඩ ආචාර ධර්ම

 

එනම් අරමුණු සකස් කරගැනීම හා ඒවා ඉටු කිරීමයි. ආයතනයකට සේවකයකු බඳවා ගැනීමේ දී කළමනාකරුවන් හා ප්‍රධානීන් සලකා බලන වැදගත්ම කරුණක් වන්නේ ශක්තිමත් වැඩ ආචාර ධර්මයි. එනම් වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ හැකියාවයි. කම්මැළිබව ප්‍රදර්ශනය කරන අයට රැකියා ලබාගැනීම මෙන්ම ලබාගත් රැකියවේ ඉහළට යාමත් අපහසුය. ක්‍රියාකාරීගතියක් පෙන්වන අයට වැඩි අවස්ථා හිමිවේ. මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ඔබට අදාළ රාජකාරී පැය ගණනට අමතරව තවත් වේලාවක් රාජකාරියේ නිරතවිය හැකි විය යුතුයි. එසේ වෙහෙස වී සේවය කිරීම ඔබ අපහසුතාවකට පත්නොකරනබව පෙන්විය යුතුයි. සෑම දිනකම ඔරලෝසුවේ වෙලාවට නොව ඊට වැඩි පැය ගණනක් වැඩකිරීමට කැමැත්තක් දක්වන්න. ඒ සඳහා පුහුණුවන්න. ක්‍රියාශීලීව ඒවා ඉටු කරන්න. ඒ වෙනුවෙන් අරමුණු සකස්කර ගන්න.

නියමිත වෙලාවක්

 

යම් කාර්යක් කිරීම සඳහා ආයතනය විසින් හෝ ඔබේ ප්‍රධානියා විසින් යම් කාලයක් ලබාදුන්නේ නම් එම නියමිත කාලය ඇතුළත එය ඉටු කිරීමට ඔබට හැකියාවක් තිබිය යුතුයි. වඩාත් දක්ෂ සේවකයන් අදාළ කටයුත්ත නියමිත කාලයට පෙර නිවැරැදිව ඉටු කිරීමට රැසියෝය. එහෙත් අදක්ෂයන් ඒ සඳහා ගන්නා කාලය කිසිවකුටත් නිවැරැදිව කිව නොහැකිය. සමහරු පැයකින් අවසන් කළ යුතු කාර්යයකට දවසින් භාගයක්ම හෝ දිනයක්ම ගන්නා අවස්ථා ඇත. ඒ නිසා මෙම කරුණ ඔබට අදාළ වන්නේ කෙසේදැයි විමසිලිමත් වී එය නිවැරැදි කරගන්න.

ධනාත්මක ආකල්ප

 

හොඳ ආකල්ප නිතරම හොඳ පරිසරයක් නිර්මාණය කරනවා. ධනාත්මකත්ව සිතීම කියන්නේ හොඳ ආකල්පයක් ඇති වීමයි. එය ඉහළ ඵලදායිතාවකින් වැඩ කිරීමට මඟ පාදයි. එමෙන්ම එය සෙසු සේවකයන් සඳහා ද වඩා හොඳ පරිසරයක් නිර්මාණය කරයි. ශ්‍රේෂ්ඨ සේවකයන් සිය සුබවාදී ආකල්පයන් වෙනුවෙන් කැපවී කටයුතු කරයි. ඒ නිසා ධනාත්මකව සිතන්න පුරුදුවන්න. එසේ සිතීමෙන් පමණක් නොව ත්‍රියාවෙන් ද එය පෙන්වන්න. ඔබ ධනාත්මකව සිතමින්, කටයුතු කරමින් ඉදිරියට යන විට ඔබව නවතාලන්නට කිසිවකුට හැකි නොවේ. ඒසේ සිතා ක්‍රියාත්මක වන්නට නොහැකි නම් රැකියාවක් ලබාගැනීමත් ලබාගත් රැකියාවේ ඉහළට යාමත් කිසිදිනක සිදු නොවේ.

ස්වයං අභිප්‍රේරණය

 

මෙම ස්වයං අභිප්‍රේරණය සාර්ථක හොඳ සේවකයකු සතු ලක්ෂණයකි. එසේ තමන් විසින්ම තමන්ව අභිප්‍රේරණය කරගන්නා අයට සුළු මඟපෙන්වීමකින් පවා ඵලදායීව කටයුතු කිරීමට හැකියි. ඔවුන් කිසිවිටකත් කිසිම දෙයකින් පසුබට වන්නේ නැත. ප්‍රතිලාභ නො ලැබුණ ද තම සේවය නිසියාකාරව ඉටුකරයි. ඒ පිළිබඳ මැසිවිලි නඟන්නේ නැත.

කණ්ඩායම් නැඹුරුව

 

සහයෝගිතාවෙන් කටයුතු කිරීමට ඇති හැකියාවයි. ආයතනයක අරමුණු ඉටුකර ගැනීමේ දී සාමූහිකව කටයුතු කළ යුතුය. එසේ කරන්නට හැකියාවක් ඇති අය තම කණ්ඩායම අතර මෙන්ම ආයතනය තුළ ද ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගනි. ඔවුන් නිතරම සාර්ථක පුද්ගලයන්ය. එවැනි පුද්ගලයන්ට ආයතන ප්‍රධානීන් ද බොහෝ කැමැතිය.

ඵලදායී සන්නිවේදනය

 

හොඳ සන්නිවේදන හැකියාවක් තිබිය යුතුය. යමක් පැහැදිලි කරදුන් විට එය නිවැරැදිව වටහා ගැනීමට හැකි විය යුතුයි. අන් අයට ද එම සන්නිවේදනය නිවැරැදිව බෙදා දීමට හැකි විය යුතුයි.

නම්‍යශීලීබව

 

වෙනස් වීමට හැකියාවක් තිබිය යුතුයි. වෙනස්වීමක් සිදු වූ විට එය සතුටින් භාරගැනීමට හැකි විය යුතුයි. ආයතනයේ අරමුණු අනුව දැනට ඇති වැඩකිරීමේ ක්‍රමයෙන් අලුත් ක්‍රමයකට මාරුවන්නේ නම් නොපැකිළව ඒ වෙනසට අවනත වී එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට හැකි විය යුතුය. අලුත් දේට බිය නොවිය යුතුය. අලුත් දේ කිරීමට නිතරම පෙලඹීමක් ඇති කරගන්න.

532 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 සැප්තැම්බර් 18, අඟහරුවාදා 15:02
අදහස් එක් කිරීමට ලොග් වෙන්න