රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ඔක්තෝබර් 09, අඟහරුවාදා 12:41

පාට පිටුවල කෑම එපා

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
            අපි නිවෙසින් රාජකාරියකට හෝ වෙනත් කටයුත්තක් සඳහා පිටව යාමේදී කෑම එකක් අරගෙන යන්න අමතක කරන්නේ නැහැ.

 

පොඩ්ඩක් හිතලා බලන්නකෝ කීයෙන් කී දෙනා ද අද කෑම පෙට්ටියක කෑම ටික අරගෙන යන්නේ කියලා. ගොඩක් දෙනෙක් අද කරන්නේ ලන්ච් ෂීට් එකක බත්මුලක් බැඳලා පත්තර කෑල්ලක ඔතාගෙන යන එක. ඒ වගේම තමයි අපි කඩයකින් බඩු මොනවහරි ගන්න ගියාම අපිට විවිධ ආහාර ද්‍රව්‍ය ඔතලා දෙන්නේ පත්තර පිටුවල. ඉතිං මේ පත්තර පිටුවල ආහාර ඔතන එක එතරම් ගුණදායක දෙයක් නම් නෙවෙයි.

මුද්‍රණ පිටුවල ඊයම් අන්තර්ගතයි

පත්තර පිටුවල ඇති මුද්‍රණ තීන්තවල ඊයම් වැනි බැර ලෝහ අන්තර්ගතයි. සාමාන්‍යයෙන් මස්, මාළු, ෂෝට් ඊට්ස් වර්ග කඩෙන් ඔතලා දෙන්නේ පත්තර කොළවල. මෙය එතරම් යහපත් දෙයක් නෙමෙයි. මොකද පත්තර පිටුවල තියෙන රසායනික ද්‍රව්‍ය ඉක්මනින් ආහාර සමඟ මිශ්‍ර විය හැකියි. විශේෂයෙන්ම ඊයම් ආහාරවලට මුසු වීමේ ප්‍රවණතාව ඉතාමත් වැඩියි. කළු වගේම වර්ණ තීන්තවලින්ද මේ බලපෑම සිදු වෙනවා. කළු තීන්තවලට වඩා වර්ණ තීන්තවලින් මෙම ලක්ෂණය වැඩියෙන් දක්නට ලැබෙනවා. වර්ණ පත්තර පිටුවල මේ බලපෑම ඉතාමත් වැඩියි. අපි ගොඩක් වෙලාවට නිවෙසේදී සකස් කර ගන්නා බැදුම් සහිත ආහාරවල තෙල් මදක් හෝ ඉවත් කිරීමට පත්තර පිටු කිහිපයක අසුරා තිබෙනවා. ඔබ දන්නවාද? මේ තත්ත්වය ඉතාමත් අහිතකරයි. ආහාරවල ඇති තෙල්වලට ඊයම් පහසුවෙන් උරා ගන්නවා.

ඇතිවන සෞඛ්‍ය ගැටලු

මුද්‍රණ තීන්තවල අන්තර්ගත බැර ලෝහ පිළිකා කාරක ලෙස ක්‍රියාත්මක වීමේ ප්‍රවණතාව ඉතාමත් වැඩියි. තවද ප්‍රතිචක්‍රීකරණය කරන ලද කඩදාසි පිටුවල හානිකර රසායනික ද්‍රව්‍ය අන්තර්ගත බැවින් මේවා ශරීරයට විස සහිත වන බව පර්යේෂණ මඟින් තහවුරු කරගෙන තිබෙනවා. ජීර්ණය හා සම්බන්ධ ගැටලුවලට මෙය හේතුවක් වන අතර එමගින් දැඩි විස වීම් වලට මඟ පෑදිය හැකි බව හඳුනා ගෙන තිබෙනවා.

මහලු පුද්ගලයින්, නව යොවුන් වියේ පසුවන්නන්, දරුවන් වගේම ආබාධ සහිත දුර්වල ප්‍රතිශක්ති පද්ධතියක් සහිත අය මෙමගින් පිළිකා රෝග සඳහා ගොදුරු විය හැකියි. ඒ නිසා අද වනවිට ලෝකයේ බොහෝ රටවල් මෙම අහිතකර පුරුද්දෙන් ඉවත්ව කටයුතු කරන ආකාරයක් හදුනාගත හැකියි. පත්තර පිටුවල ආහාර එතීම හා ඇසුරුම් කිරීම සමස්ත දේහ පද්ධතියටම හානි කරන බැවින් ඔබ විසින්ම පිළිකා මාරයාට අත වැනීමක් බව දැන් ඔබට හොඳින් වැටහෙනවා ඇති. ඒ නිසා මෙම අහිතකර පුරුද්දෙන් ඉවත්ව කටයුතු කිරීම ඔබ සතු කාර්යභාරයක් හා වගකීමක්.

විකල්ප ක්‍රම භාවිත කරන්න

ඔබ මේවනතුරුම කෑම එතුවේ පත්තර පිටුවල නම්, කඩෙන් විවිධ ද්‍රව්‍ය ඔතාගෙන ආවේ පත්තර පිටුවල නම් අද ඉඳන් ඔබට ඒ වෙනුවට විකල්ප ක්‍රම භාවිත කළ හැකියි. විශේෂයෙන්ම ඔබ නිවෙසින් පිටට කෑම එකක් රැගෙන යනවා නම් ඒ වෙනුවට කෑම පෙට්ටියක් භාවිත කරන්න. එමගින් ආහාරවලට සිදුවන බලපෑම අවම කරගන්න පුළුවන්.

ඒ වගේම ඔබට පුළුවන් බත් පාර්සල් එතීම සඳහාම භාවිත කරනු ලබන තුනී සුදු පැහැති කොළ භාවිත කරන්න.

 

උපදෙස් - පෝෂණවේදී වෛද්‍ය

රේණුකා ජයතිස්ස

වෛද්‍ය පර්යේෂණායතනය

බොරැල්ල

447 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 09, අඟහරුවාදා 12:42
අදහස් එක් කිරීමට ලොග් වෙන්න