තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 සැප්තැම්බර් 18, සඳුදා 13:36

රූපලාවණ්‍ය රැකියාව තුළ පිළිපැදිය යුතු වෘත්තීයමය ආචාරධර්ම විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
ඕනෑම ක්ෂේත්‍රයක එයටම ආවේණික වූ ආචාරධර්ම පද්ධතියක් ඇත. මෙවැනි ආචාරධර්ම යනු නීති නොවේ. එහෙත් යම් ක්ෂේත්‍රයක දියුණුව හා එම ක්ෂේත්‍රයේ නියැළෙන්නන් හා සේවා ලබාගන්නන් උදෙසා එය වැදගත් වේ. 

 

එසේ නොවුණු කල එම ක්ෂේත්‍රයන් ඉතාමත් ඉක්මනින් පිරිහෙන බවට සාක්ෂි සමාජයේ ඕනෑ තරම් ය. රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ද එයටම අනන්‍ය වූ ආචාරධර්ම පද්ධතියක් පවතී. ඔබ විසින් එම ආචාරධර්ම රකින තරමට ඔබේ සේවයේ ගුණාත්මක බවත් ක්ෂේත්‍රයේ උන්නතියත් රඳා පවතිනු ඇත.

අද අප මෙමඟින් ඔබ දැනුවත් කරන්නේ රූපලාවණ්‍ය විෂයයෙහි පවතින ආචාරධර්ම පද්ධතිය පිළිබඳයි.

රූපලාවණ්‍යාගාරයක දෙනු ලබන සේවාවන්හි විශිෂ්ටත්වය නිසිලෙස වර්ධනය කිරීම සහ පවත්වාගෙන යාමේ නිපුණතාව මෙම විෂයය තුළ අවධාරණය කෙරේ.

විලේපනවේදියකු cosmetologyst) ලෙස වෘත්තියෙහි යෙදෙන්නකු රූපලාවණ්‍ය ශිල්පියකු, හිසකෙස් සැකසුම් ශිල්පියකු ලෙස ඉතා මැනවින් තම පෞද්ගලික ප්‍රතිරූපය පවත්වා ගත යුතුය.

මෙම විෂයය යටතේ නිපුණත්වයක් තිබිය යුතු ප්‍රධාන කරුණු කාරණාවල මාතෘකා සහ ඒ යටතේ ක්‍රියාත්මක කළ යුතු කාර්යයන් පහත දැක්වේ.

රූපලාවණ්‍ය වෘත්තියට

අදාළ වූ වෘත්තීයමය ආචාරධර්ම

හඳුනාගෙන ඒවා පිළිපැදීම.

* රූපලාවණ්‍ය වෘත්තීයට අදාළ ආචාරධර්ම පද්ධතියක් ඕනෑම රටක පවතී.

මේවා නිසි පරිදි අධ්‍යයනය කිරීම, නිසි ලෙස තේරුම් ගැනීම, තමාගේ සේවා ස්ථානය තුළ වැඩ කරන සියලුම සේවකයන් ඒ පිළිබඳ දැනුවත් කිරීම, එම ආචාරධර්ම පද්ධතියට අනුව අකුරට ම කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

* වෘත්තීයමය රූපලාවණ්‍ය ශිල්පියකු තමාට නිසි පුහුණුවක් නොමැති, හසල දැනුමක් රහිත, නොදන්නා ප්‍රතිකාර හෝ සේවාවන් සැපයීමට යාමෙන් වැළකී සිටිය යුතුය.

අද අපේ රටේ බොහොමයක් රූපලාවණ්‍ය ශිල්පීන්, මුද්‍රිත හා විද්‍යූත් මාධ්‍ය හරහා තමා දකින දෙයින් සමහර සේවාවන් සැපයීමට උත්සාහ දරන බව අපි දනිමු.

එලෙස තමන් නිසි සේ නොදන්නා සේවාවන් අත්හදා බැලීමට හෝ එවැනි සේවාවන් සපයා මුදල් ඉපයීමට තම සේවාදායකයන් බිල්ලට ගැනීම සාපරාධී ක්‍රියාවක් බව මතක තබා ගන්න.

* රූපලාවණ්‍ය වෘත්තියේ නියැළෙන ඔබට තමා උගත් දේ අත්හදා බැලීමට සේවාදායකයකු යොදා ගැනීමට අවශ්‍ය නම් ඒ බව ඔවුනට කලින් දැනුම් දී ඔවුන්ගේ කැමැත්ත සටහන්කර තබා ගෙන එය සිදු කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණයෙන් ම සිත්හි සටහන් කරගත යුතුය.

* තම සේවා ස්ථානයේ වැඩ කරන අනෙකුත් සෑම කෙනකුට ම ගරු කිරීම, ආචාර සම්පන්නව කටයුතු කිරීම, ඔවුන් සමඟ සහයෝගීතාවෙන් යුතුව වැඩ කිරීම වඩාත් අවශ්‍ය කාරණාවකි.

මෙහිදී සේවාදායකයන් මෙන්ම ඔබගේ ආයතනයට භාණ්ඩ හා සේවා සපයන්නන්ට සහ ව්‍යාපාරය පවත්වාගෙන යාමට උදවු උපකාර කරන සියල්ලන් කෙරෙහිම මේ ආකාරයෙන් කටයුතු කළ යුතුය.

* සේවාදායකයන් නොමඟ යවන ප්‍රචාරණ කටයුතු, දැන්වීම් පුවරු පළ කිරීම් ක්ෂේත්‍රයේ ආචාරධර්ම පද්ධතිය සාපරාධී ලෙස කඩ කිරීමක් ලෙස සැලකේ.

* සේවාදායකයන්ගේ පෞද්ගලිකත්වයට හානිකර ලෙස ඔවුන් සම්බන්ධ තොරතුරු අන් අයට දැන්වීම ආදියෙන් වැළකී සිටීම අවධාරණය කළ යුතුවේ.

* තමාගේ ප්‍රතිවාදීන් සහ ක්ෂේත්‍රයේ නියැළී සිටින අනෙකුත් ශිල්පීන් විවේචනය කිරීමෙන් වැළකී සිටීමට වගබලා ගත යුතුය.

* සේවාදායකයන් සමඟ ආගම්, ජාති බේද, දේශපාලනය සහ පෞද්ගලික සංවාදවලින් තරයේ වැළකී සිටිය යුතුය.

* අසාධාරණ ලෙස විවිධ සේවාවන් සඳහා රිසි සේ මුදල් අය කිරීමෙන් වැළකීම සදාචාර සම්පන්න සේවා සපයන්නකුගේ හොඳ ක්‍රියාවකි.

* රටේ පවතින නීති රීතිවලට අනුකූලව ව්‍යාපාරික කටයුතුවල නිරත වීම.

* ප්‍රමිතියකින් තොරව තමා තනිවම විවිධ ආලේපන වර්ග සාදා විකිණීම, බීමට බෙහෙත් වර්ග නියම කිරීම, එන්නත් වර්ග ශරීරගත කිරීම ආදිය රූපලාවණ්‍යයට අදාළ නොවන බරපතළ වංචාකාරී වැඩ බව ද මතක තබා ගත යුතුය.

 

උපදෙස් -සම්මානිත මහාචාර්ය

රමණී අර්සකුලරත්න

657 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 18, සඳුදා 13:39
අදහස් එක් කිරීමට ලොග් වෙන්න