රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 නොවැම්බර් 14, අඟහරුවාදා 15:15

බහුතරයකට ඇති එහෙත් පිළිනොගන්නා සමාජ භීතිකාව විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(1 මනාපය)
‘මොකද උඹට සමාජ භීතිකාවද?’ ‘මෙයාට සමාජ භීතිකාව හැදිලනේ...’ ‘ඕකට තමයි බං සමාජ භීතිකාව කියන්නේ...’ මේ වගේ කතා ඔබත් විවිධ අවස්ථාවල දී අසා ඇති.

 

එක් එක් පුද්ගලයන්ට විවිධ වූ භීතිකාවන් පවතී. ඒ අතර ප්‍රධාන ම වූ භීතිකාවක් ලෙස සමාජ භීතිකාව සැලකිය හැකිය.

සමාජ භීතිකාව ගැන කොතෙක් පැවසුව ද බොහෝ දෙනෙක් ඇත්තෙන් ම සමාජ භීතිකාව යනු කුමක්දැයි නොදනී. ඇත්තට ම මොකක්ද මේ සමාජ භීතිකාව?

ඇතැම් විට ඔබ තුළ හෝ ඔබේ සහෝදරයකු තුළ නැතිනම් දරුවකු තුළ මේ මානසික ව්‍යාධි තත්ත්වය පැවතිය හැකිය. මෙහිදී පුද්ගලයා තුළ ප්‍රධාන වශයෙන් ම තමා දෙස අන් අය විවේචනශීලීව බලන්නේය යන හැඟීමයි. එමෙන්ම අන් අය තමා පිළිබඳ අවධානයෙන් පසු වේ, යන්න සහ ඔවුන් තමාව අවතක්සේරු කරාවිද යන අහේතුවාදී බියක් මෙවැනි රෝගීන් තුළ පහළ වේ.

මෙහිදී ඍණ සිතුවිලි ලෙස අන් අය තමාව අදක්ෂයකු බව, අඩුපාඩු සහිත පුද්ගලයකු බව, තමාගේ පෞරුෂයෙහි යම් අඩුපාඩු සහිත බවක් ඇතැයි සිතිය හැකි යැයි මෙවැනි පුද්ගලයන් නිතර සිතයි. මෙම හීනමානී සිතුවිලි හේතුවෙන් මොවුහු සමාජ ඇසුරට අධිකව බිය වෙති. ඒ නිසා අන් අය තමාව විවේචනය කරාවි යන අනියත බිය සැක හේතුවෙන් සමාජ ඇසුරේ දී දහදිය දැමීම, මුහුණ රතු වීම, සියුම් වේව්ලීම්, වචන පැටලීම වැනි බාහිර ලක්ෂණ ඇති විය හැකිය. මෙහිදී අන් අය තම වෙනස දකීදෝ යන බියත්, ලජ්ජාවත්, තමන් මේ අවස්ථාවේ යම් නොගැළපෙන දෙයක් කරාවි යන බියත් දැඩිව දැනෙන්නට පටන් ගනී.

එමෙන්ම සමාජ භීතිකාවෙන් පෙළෙන ඇතැම් අය සමාජයේ හැසිරීමේ දී තමාට පාලනය කරගත නොහැකිව මුත්‍රා පිටවීම, මලපහ පිටවීම, ආමවාතය පිටවීම ආදී ශාරීරික ක්‍රියා සිදු වේයැයි අහේතුක බියකින් අසහනයට පත් වෙති. ආමාශයේ ඇතිවන ශබ්ද අන් අයට ඇසේවි යැයි බියකින් ද මෙවැනි විටෙක මොවුහු පීඩා විඳිති.

ඒ වගේම මොවුහු පිරිසක් ඉදිරියේ කතා කිරීමේ දී, යම් ඉදිරිපත් කිරීමක දී තමාට කියාගන්න යමක් නොමැති වීම (හිස් බව), කරුණු අමතක වීම, යම් නොගැළපෙන දෙයක් කියවේවි යන බිය හා ඒ හේතුවෙන් තමාට පිරිසක් ඉදිරියේ ලජ්ජා වීමට සිදු වේවි යැයි බියකින් පීඩා විඳිති.

මෙවැනි රෝගී තත්ත්වයක් ඇති අය හඳුනා ගන්නේ කෙසේදැයි දැන් ඔබ සිතනවා විය හැකියි. එවැන්නන් තුළ පහත ලක්ෂණ දැකිය හැකිය.

ද පිරිසක් ඉදිරියේ කතා කිරීමට බිය වීම,

ද විරුද්ධ ලිංගිකයන් සමඟ කතා කිරීමට ඇති බිය,

* පිරිසක් ඉදිරියෙන් ගමන් කිරීමට බිය වීම,

තවත් අයකු ඉදිරියේ ආහාර ගැනීම/ බීමක් පානය කිරීම/ යමක් ලිවීම/ අත්සන් කිරීම යන දේවල් කිරීමට අපහසු වීම,

* පාසල් ළමයකු නම් පන්ති කාමරයේ දී යම් ප්‍රශ්නයකට උත්තර දීම, ගුරුවරයකුගෙන් ප්‍රශ්න ඇසීම නොකරයි.

*පෝලිමක හිටගෙන සිටීම ද මොවුන් ව අපහසුතාවට පත් කරයි.

* උත්සව අවස්ථාවන්ට සහභාගී වීමට බිය වේ.

* අන් අය ඉදිරියේ දුරකථන ඇමතුමක් ලබා ගැනීමට, ඇමතුමකට පිළිතුරු දීමට අපහසු ය.

*පොදු වැසිකිළි භාවිතය මෙන්ම පොදු ප්‍රවාහන සේවයක ගමන් කිරීම ද මොවුනට අපහසු ය.

මෙම අවස්ථා මඟ හැරීමට පුරුදු වීම මඟින් තාවකාලික සහනයක් ලබා ගැනීමට මොවුහු පෙළඹෙති. තවත් සමහරු මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ජීවිතය තවත් ගැටලු ගොඩකට මැදිකර ගනිති. මෙවැනි රෝගීන්ගේ මූලික ලක්ෂණයක් වන්නේ තවත් අයකු සමඟ සංවාදයෙහි යෙදෙන විට අනෙකාගේ මුහුණ දෙස එක එල්ලේ නොබැලීමයි. මෙලෙසින් සමාජ අවස්ථා මඟ හරින විට පුද්ගලයා හුදෙකලා වීම, අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති වීම, රැකියා කටයුතු නිසි පරිදි සිදු කිරීමට අපහසු වීම යනාදිය නිසා පුද්ගල ක්‍රියාකාරීත්වයෙහි පරිහානියක් දක්නට ලැබෙයි.

මෙය නොසලකා හැරිය නොහැකි තත්ත්වයක් වන්නේ, එය සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ දී අසහනකාරී බවක් ඇති කරවන නිසයි. මේ සඳහා එවැනි පුද්ගලයන්ට ප්‍රතිකාර සිදුකර ඔවුන් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි තත්ත්වයට පත් කළ හැකිය.

මෙය පූර්ණ වශයෙන් ම මනෝ ප්‍රතිකාර හා උපදේශනය තුළින් ම සුවකළ හැකි තත්ත්වයකි. බොහෝ විට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය නොවේ. මෙවැනි අවස්ථා ඉක්මනින් හඳුනා ගැනීමත් පළපුරුදු මනෝ චිකිත්සකවරයකු වෙත යොමු වීමත් තුළින් සමාජ භීතිකා තත්ත්වයෙන් අත්මිදීමට හැකි වේ.

 

 

කරාපිටිය ‘‘Relax Mind’’ උපදේශක මධ්‍යස්ථානයේ මනෝ චිකිත්සක හා මනෝ විද්‍යා උපදේශිකා නිල්මිණි හෙට්ටිගොඩ

සංවර්ධන සහකාර මානසික

 

සෞඛ්‍යය- ශික්ෂණ රෝහල කරාපිටිය (මනෝ විද්‍යා විශේෂවේදී/ උපදේශනය හා මනෝ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාධාරිනී)

803 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 14, අඟහරුවාදා 15:15
අදහස් එක් කිරීමට ලොග් වෙන්න