තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 මාර්තු 12, සඳුදා 15:44

ජීවිතේ හැමදාමත් ඉගෙන ගන්නවා... සාර්ථකත්වය ඇත්තේ එතැනයි.. විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
රූපලාවණ්‍ය ශිල්පිනී සප්නා කාදර්   ඇය බොහෝ දෙනා හඳුනා ගත්තේ මුස්ලිම් ජාතික මනාලියන් හැඩගන්වන රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙසිනි. ඉතා අලංකාර ලෙස මනාලියන් හැඩ ගන්වන මේ ශිල්පිනිය කවුරුන්දැයි සොයා බලන බොහෝ දෙනා ඇයගේ දක්ෂතාව අගයන්නට මැලි නොවූහ.

 

ඒ එවැන්නක් මෙයට පෙර අපේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දකින්නට නොවූ නිසයි. සප්නා කාදර් ලෙසින් අප හඳුනන ඇයගේ වත ගොත දැනගනිමු.

කොහොමද සප්නා මේ ක්ෂේත්‍රයට ආවේ?

කුඩා කාලෙ ඉඳන් ම හැඩ වැඩ ගැන මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා. කොහොමත් ගෑනු ළමයි ඒ ගැන ටිකක් උනන්දුයිනේ. මට ඒ ගැන උනන්දුව අනික් ළමයින්ටත් වැඩියෙන් තිබුණා. ඒත් විවාහයට පෙර මම සාරියවත් තනියම අඳින්න දන්නේ නෑ. අම්මා තමයි මට සාරිය ඇන්දුවෙත්.

සහජව ලැබුණු දැනුමෙන් මම පුංචි පුංචි රූපලාවණ්‍ය වැඩ කරන්න පටන් ගත්තා. පුංචි සැලොන් එකකුත් දැම්මා. මුලදී මම ඇහි බැම සැකසුවේ ට්වීසරයෙන්. ත්‍රෙඩිං කරන්න දැනගෙන හිටියේ නෑ. පස්සේ මේක ඉගෙන ගන්න වෙනත් සැලෝන්වලට ගිහින් මගේ ඇහි බැමි හදන කොට බලා ඉඳලා පුරුදු වුණා. මට එහෙම හැකියාවකුත් තියෙනවා.

ක්‍රමානුකූල හැදෑරීමක් කළේ ම නැද්ද?

මගේ ආරම්භය එහෙම වුණත් මම නොදන්න දේවල් ටික ටික දැනුමට එකතු කරගත්තා. ඒ සඳහා මම ගුරුහරුකම් බොහෝ දෙනකුගෙන් ලබා ගත්තා. ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී තිරාණි පීරිස්ගෙන් මම රූපලාවණ්‍ය පාඨමාලාවක් හැදෑරුවා. එහිදී හොඳම කැන්ඩියන් එක අන්දපු ශිල්පිනිය මම වුණා. ඇත්තට ම ඒ වෙලාවේ හැමෝම පුදුම වුණා, මුස්ලිම් කාන්තාවක් කොහොමද එහෙම කළේ කියලා. ඒක මට ආඩම්බරයක්. පස්සේ, හෙයා කට් ගැන විවිධ නම්වලින් කියවෙනවා ඇහුණ නිසා ඒවා ඉගෙන ගන්න ප්‍රවීණ කේෂාලංකරණ ශිල්පිනී නිල්මිණී බැන්නැහැක ළඟට ගියා.

ඉන් පස්සේ පබා සංවිධානයට බැඳිලා කටයුතු කළා. එහිදී මේ ක්ෂේත්‍රයේ ගොඩක් දක්ෂයන් සමඟ එකට වැඩ කරන්න හැකියාව ලැබුණා. එහිදී මම එයාලගෙන් ගන්න පුළුවන් ගුරුහරුකම් ලබා ගත්තා. ඔවුන්ගේ කුසලතා මගේ ජීවිතයටත් එකතු කරගත්තා. එහෙම නිකන් ඔවුන් කරන දේම කරන්න ගියේ නෑ. ඒ දැනුමට තවත් දේවල් එකතු කරගන්න උත්සාහ කළා. ෆේෂල්වල වෙනස්කම්, මේකප් කිරීමේ දී වර්ණ ගැලපීම් සිදු කළ යුතු ආකාරය සම්මත ක්‍රමවලින් බැහැරව මගේම ආරක් මම හදා ගත්තා. ඒ සඳහා මම අත්හදා බැලීම් කළා.

ඉන් පස්සේ මම රමණී ප්‍රනාන්දු මහත්මිය යටතේ සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් වගේම NVQ4 දක්වා ඉගෙන ගත්තා. මේ හැම කෙනෙක්ම මට ඉදිරියට එන්න උදවු කළා.

මේ කාලයෙන් පස්සේ නේද සප්නා කියන රූපලාවණ්‍ය ශිල්පිනිය ගැන රට ම දැන ගන්නේ..

ඔව්, මම මයිකල් විජේසූරිය වගේ ප්‍රවීණයන්ගේ දේවල් බලලා යමක් ඉගෙන ගන්න නිතරම උත්සාහ කළා. හැබැයි ඔවුන්ව අනුකරණය කරන්න ගියේ නෑ. මේ විදියට තමයි මගේ නංගි කෙනකුගේ මංගල උත්සවයකට මඟුල් ඇඳුම නිර්මාණය කළේ. ඒක මම හිතුවාටත් වඩා හොඳට නිර්මාණය වුණා. ඉතිං එතනින් තමයි මට අදහසක් ආවේ මුස්ලිම් මනාලියක් හැඩගන්වන විදිය ක්ෂේත්‍රයට ගේන්න ඕනේ කියලා. ඉතිං මම 2016 දී මගේ හැකියාව එළිදැක්වූවා. ඒකට ගොඩක් දෙනාගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා.

බස්නාහිර පළාත් මන්ත්‍රී වත්තල සංවිධායක ජානක සූරියබණ්ඩාර මහතා අඩු ආදායම්ලාභී අයට රූපලාවණ්‍ය දැනුම ලබා දීමේ සේවාවක් ආරම්භ කළා. එහිදී මම ඔවුන්ට අවශ්‍ය දැනුම ලබා දුන්නා. කඳුළු පිරි මුහුණුවල කඳුළු වියැකෙද්දී මට දැනුනේ පුදුම සතුටක්. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙනකොට මම සමාජ මෙහෙවරක් කළා කියලා සතුටක් ලැබුණා.

අලුත් දැනුම හොයාගෙන යන්න සප්නා රුසියෙක් නේද?

ඒක තමයි මගේ සාර්ථකත්වය. එයා බ්‍රෂ් මේක්අප් ගැන ඇහුවම මමත් ඒක මොකක්ද කියලා හොයලා බැලුවා. මමත් එයා බ්‍රෂර් එකක් අරගෙන ටිකක් පාවිච්චි කරලා බැලුවා. පස්සේ වාහනවල එයා පේන්ට් කරන තැනකට ගිහින් හොඳට ඒ දිහා බලාගෙන හිටියා. පස්සේ මම එයා බ්‍රෂර් එක හොඳට අතට හුරු වෙනකම් අත්හදා බැලීම් කරලා ඒ මේක්අප් ක්‍රමයත් පුරුදු වුණා. දැන් මම අවුරුදු හතක පමණ කාලයක් එයා බ්‍රෂ් මේක්අප් කරනවා.

ඔබේ පෞද්ගලික ජීවිතේ ගැනත් කතා කරමුද?

මට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. පුතාලා දෙන්නයි. දුවයි. ඔවුන් ඉතාම හොඳ හැදියාවක් ඇති දරුවන්. ඒ නිසා මට වැඩ කිරීම හරිම පහසුයි. ඔවුන් මට හැම වෙලාවෙම උදවු කරනවා. මගේ අම්මා සිංහල. මම ඉගෙන ගත්තේ හේමමාලා බාලිකා විද්‍යාලයේ. ඒ නිසා මට සිංහල හොඳට පුළුවන්. ඒ වගේම මම බෞද්ධාගම ඉගෙන ගත්තා. දැනටත් මම බණ එහෙම අහන කෙනෙක්. මගේ ඇත්ත නම සරීෆා සබ්රිනා. ඒත් මම සප්නා කියන නම භාවිත කරන්නේ ඒක හැමෝටම කියන්න පහසු නිසා. මම ශී‍්‍ර ලාංකික කාන්තාවක්.

සප්නා වත්තල දී මොකක්ද මේ කරන්න යන වැඩේ..

ඔව්, මාර්තු 17 වැනි දින වත්තල පුරහලේ දී කාන්තා දිනයත් සමරමින් මනාලියන් හැඩ ගැන්වීමේ තරගයක් හා මනාලියන් දැක්මක් පවත්වන්න සූදානම් කරලා තියෙනවා. මෙය වත්තල පුරහලේ දී 17 වෙනි සෙනසුරාදා උදේ 9.00 සිට පැවැත්වෙනවා. මේක විවෘත තරගාවලියක්. තවත් විනෝදාස්වාදනීය වැඩසටහන් බොහොමයකුත් එදිනට පැවැත්වෙනවා. ඒ වගේම මංගල දිනය සඳහා දිනුම් ඇදීමකින් තෝරා ගන්නා යුවළකට මංගල දිනයේ දී අවශ්‍ය වන මංගල මුදු, මංගල සාරිය, මල් කලඹ, හැඩගැන්වීම ආදිය නොමිලේ ලබා දෙනවා. මේ යුවළ අපි ‘ලකී කපල්’ ලෙසින් හඳුන්වනවා. ඔබටත් එදිනට සහභාගී වුණොත් ලකී කපල් එක වෙන්න පුළුවන් වේවි.

ඒ වගේම මනාලියන් හැඩ ගැන්වීමේ ශිෂ්‍යත්ව 10ක් (ලක්ෂ 10ක් වටිනා) ශිෂ්‍යයන්ට ලබා දෙනවා. නොමිලේ පැවැත්වෙන මේ වැඩසටහන සඳහා තරුණී පාඨක ඔබ සැමටත් මම සුහදව ආරාධනා කරනවා.

මම මෙහිදී මගේ දෙවෙනි දරුවන් ලෙස සලකන මාත් සමඟින් දුක සැප බෙදාහදා ගන්නා මගේ ආයතනයේ සේවය කරන ළමයින්ටත් මාධ්‍ය ක්ෂේත්‍රයේ දී මට අතහිත දුන් සෑම මාධ්‍යයකටමත් ස්තුති කරන්න කැමැතියි.

 ඡායාරූප - ශාන් රඹුක්වැල්ල

1183 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 12, සඳුදා 15:46
මේ යටතේ එන අනෙකුත් ලිපි: « රංජනා සේතුංග රිලා නලුදීන් »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න