තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 අප්‍රේල් 16, සඳුදා 13:51

මේකප් කල් ඉකුත් වෙලා ද? දැනගන්නෙ කොහොමද ? විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
සාමාන්‍යයෙන් මේකප් කරන්නේ ඔබේ ස්වභාවික ලස්සන තවත් වැඩි කරගන්න. ඒ වුණාට ඔබ භාවිත කරන මේකප් උපකරණවල තත්ත්වය අනුව ඔබ ලස්සන වෙනවාද? නැත්නම් තියෙන ලස්සනක් නැති කරගන්නවාද? යන්න තීරණය කරන්න වෙනවා.

 

සාමාන්‍යයෙන් මේකප් කළමනාවලට ඔබ වැඩි මුදලක් ගෙවනවා ඇති. ඒ වුණත් කොයිතරම් මුදලක් ගෙවලා ගත්තත් මේ හැම එකකටම කල් ඉකුත්වීමේ දිනයක් තිබෙනවා. ඒ බව ඹබ දන්නවා ද?

ඔබ තෝරාගත් වර්ගය කුමක් වුවත් කල් ඉකුත් වූ පසු එයින් ඔබ බලාපොරොත්තු වන ලස්සන නම් ගන්න බෑ. එයින් ඔබේ මුහුණ අවලස්සන කරනවා වගේම නොයෙකුත් සමේ රෝග ද ඇතිවන්නට පුළුවන්. ඒ නිසා මේකප් කරනවා වගේම තමයි ඒ මේකප් කළමනාවල කල් ඉකුත්වීමේ දින වකවානු ගැනත් සැලකිලිමත් විය යුතුයි.

ඕනම දෙයක් කල් ඉකුත් වෙලාද නැද්ද කියල දැනගන්න තියෙන හොඳම ක්‍රමය සහ පහසුම ක්‍රමය තමයි එහි සඳහන්ව ඇති කල් ඉකුත් වීමේ දින වකවානු බලන එක. ඒ වුණාට සමහර වෙලාවට ඔබ කාලයක් භාවිත කරද්දී ඔබේ මේකප්වල ඇසුරුමේ සඳහන් වෙලා තියෙන මේ තොරතුරු මැකිලා යන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඒ ඇසුරුම අස්ථානගත වෙන්නට පුළුවන්. ඒ වගේ වෙලාවට මේ කරුණු ප්‍රයෝජනවත් වේවි.

ෆවුන්ඩේෂන්

 

ෆවුන්ඩේෂන් එකේ වර්ණය වෙනස් වෙලා නම් එහි ගන්ධය වෙනස් වෙලා නම් ඒ කියන්නේ ඔබේ ෆවුන්ඩේෂන් එක විසි කිරීමට කාලයයි. ඔබේ ෆවුන්ඩේෂන් එක හැම මොහොතේම වගේ පරිසරයට නිරාවරණය වන එකක් නම් ඒ කියන්නේ ස්ටික් එකක්, පවුඩර් එකක් වගේ නම් එහි ආයු කාලය මාස 6 යි. එයට හේතුව වන්නේ නිරන්තරයෙන් ඔබේ ෆවුන්ඩේෂන් එක පරිසරයට නිරාවරණය වන විට එහි බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැඩියි. එවිට එය ඉක්මනින් සවුත්තු වෙන්නට පටන් ගන්නවා. මේ වගේ කල් ඉකුත් වූ ෆවුන්ඩේෂන් එකක් ඔබේ මුහුණේ ආලේප කළොත් ඉතින් මුහුණට වෙන දේ ඔබට හිතාගන්නට පුළුවන් නේද?

 

නිය ආලේපන

 

නිය ආලේපන නම් ඔබට කල් ඉකුත් වූ පසුව බොහොම ලෙහෙසියෙන් හඳුනාගන්නට පුළුවන්. කල් ඉකුත් වූ නිය ආලේපන ඝණ ස්වභාවයක් දරණ අතර එය නිරන්තරයෙන් කොටස්වලට කැඩෙනවා. සමහර වෙලාවට එහි වර්ණය ද වෙනස් වෙනවා. ඔබේ නිය ආලේපනය මේ වගේ නම් අදම එය භාවිතයෙන් ඉවත් කරන්න. මෙවැනි නිය ආලේපන භාවිත කළහොත් ඔබේ නියපොතු ආසාදනයට ලක්වෙනවා. මොකද නිය ආලේපනවලත් බැක්ටීරියා නියපොතු සමඟ ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. මෙය ඉතාමත් වේදනාකාරී සහ අපි‍්‍රයජනක දෙයක්.

 

තොල් ආලේපන

 

මුලදී හොඳට මෘදුව තිබූ තොල් ආලේපන වියළි බවට පත්වෙලා නම් කෑලිවලට කැඩෙනවා නම් එහෙමත් නැත්නම් අමුතු ගන්ධයක් දැනෙනවා නම් මේ ඔබේ තොල් ආලේපනය ඉවත් කිරීමට හොඳම කාලයයි. තොල් ආලේපන බොහෝ විට අපි භාවිත කරන්නේ පින්සලක් හෝ බ්‍රෂ් එකක් නොමැතිවයි. වරින් වර ඔබේ තොල්වල ඇති තෙල් ඔබේ තොල් ආලේපනයේ නිරන්තරයෙන් වැදීම නිසා කෙළ සහ බැක්ටීරියා අතර ප්‍රතික්‍රියාවන් සිද්ධ වෙන්න පුළුවන්. එම නිසා ඔබේ තොල් ආලේපන කල් ඉකුත් වූ පසුව නම් භාවිතා කරන්න එපා. තොල් ආලේපනවල ආයු කාලය අවුරුදු 2 ක් පමණයි.

 

අයි ලයිනර්

 

අයි ලයිනර් භාවිතයේ දී නම් බොහොමයක්ම සැලකිලිමත් විය යුත්තේ එය කෙළින්ම ඔබේ ඇස සමඟ සම්බන්ධ වන නිසාවෙනි. ඒ වගේම තමයි අයි ලයිනර් එකක් මඟින් විෂබීජ පැතිරීමේ ඉඩකඩ අනෙක් රූපලාවණ්‍ය ද්‍රව්‍යවලට වඩා සම්භාවිතාවයෙන් වැඩියි. සමහර අයි ලයිනර් ඇඳීමට ගන්න පැන්සලේ තුඩේ සුදු පැහැති පුස් වර්ගයක් බැඳෙනවා. දියරමය අයි ලයිනර් එකේ නම් ගන්ධයෙහි වෙනසක් ඇතිවෙනවා. මේ ලක්ෂණවලින් ඔබට පුළුවන් ඔබේ අයි ලයිනර් එක කල් ඉකුත් වෙලාද නැද්ද කියලා දැනගන්න. දියරමය අයි ලයිනර් එකක් නම් උපරිම භාවිත කළ හැක්කේ මාස 6 ත් 8 ත් අතර කාලයකට පමණි. එයට හේතුව වන්නේ අයි ලයිනර් ගැල්වීමේ දී වරින් වර එය අවට වාතාශ්‍රයත් සමඟ සම්බන්ධ වන නිසයි. එහිදී වාතාශ්‍රයේ ඇති බැක්ටීරියා දියරය තුළ වර්ධනය වෙන්නට පටන් ගන්නවා. ඔබ අයි ලයිනර් එක විදියට භාවිත කරන්නේ පැන්සලක් නම් එහි ආයු කාලය මාස 6 යි.

 

මස්කාරා

 

ඔබේ මස්කාරා එක හරියට ආලේප වෙන්නේ නැද්ද? එය වේළිලා ද? අමුතු ගන්ධයක් එනවා ද? එහෙනම් ඔබේ මස්කාරා එක ඉවත් කිරීමට කාලයයි. මස්කාරා එකක උපරිම ආයු කාලය වන්නේ මාස 6 කි. ඉන් පසුව මස්කාරා එක භාවිත කිරීම ඔබේ ඇස්වලට අහිතකරයි. මෙයට හේතුව වන්නේ ආලේප කිරීම සඳහා මස්කාරා එක සැරින් සැරේ විවෘත කිරීමේ දී ඒ තුල බැක්ටීරියා වර්ධනය වන බැවිනි. එම බැක්ටීරියා ඔබේ ඇහි පිහාටු මත ප්‍රතික්‍රියා කොට හානි සිදුකළ හැක. ඇස්වලට ද හානි ඇති කරයි. දැන් ඔබට තේරෙනවා නේද කෑම බීම වලට වලට වගේම මේකප් බඩුවලත් කල් ඉකුත් වීමේ දිනයක් ඇති බව.

 

 

 

උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

ලංකා කුමාරි

ලක් රූ සැලෝන්

දළුගම

208 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අප්‍රේල් 16, සඳුදා 15:34
මේ යටතේ එන අනෙකුත් ලිපි: « Facia Facia »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න