රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 මැයි 14, සඳුදා 16:14

තරුණ බව රැකගන්න හැමවිටම සිනහ වෙන්න විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා.. යැයි ගී පද පබැඳුනත් සිනහව අපට යමෙකුට නොමිලයේම පිදිය හැකි වටිනාම තෑග්ගයි. ඒ තරම්ම සිනහව අමිල වටිනාකමක් ගනියි. ඔබ මෙම ලිපිය කියවීමට පෙර මොහොතක් දර්පණ තලයක් (මුහුණ බලන කණ්නාඩියක්) ඉදිරියට යන්න.

 

ඔබගේ මුහුණේ ලස්සනම ඉරියව්වක් මැවෙන්නේ කුමන මොහොතක දැයි බලන්න. සිනහවෙන් පිරි මුවඟට කවුරුත් පි‍්‍රය කරති. එසේම ඔබගේ මුහුණේ ඇති සියලුම මාංස පේශීන් ක්‍රියා කරමින් ඉහිල් කරන්නේ ද සිනහවයි. මේ තරම් වටිනාකමක් ඇති සිනහව පිළිබඳ මේ සටහන ජීවිතයට මහඟු පාඩමකි.

වයසට නොයන රහස් බෙහෙත මෙන්න

ලොව වැඩියෙන්ම අලෙවි වාර්තාවක් තබන ලද (How to win Friends) සිත් ගැනීම සිංහල අනුවාද ග්‍රන්ථය පාඨකයින් අතර ද බෙහෙවින්ම ජනපි‍්‍රයත්වයට පත්විය.

මේ පොතේ කතුවරයා ලෝපතළ ලේඛකයෙක් වූ ඩේල්කානගීය. සිනහවෙන්න බැරි අකැමැති මිනිසකු වෙළෙඳ සැලක් ඇරඹීමෙන් ඵලක් නොවේ.

සිනහව දිව ඔසුවකි

 

ඉන්දියාවේ සහ වෙනත් රටවල සිනහවීමේ මහා සංගම් බිහිවී තිබේ.

බොම්බායේ විශේෂඥ වෛද්‍යවරියක් වූ වුදත්කතාරියන් මැතිනිය ලොව ප්‍රථම වරට සිනහසීමේ සංගමයක් බිහිකළාය.

හිමිදිරි පාන්දරම බොම්බාය නගරයේ එළිමහන් බිමකට ඒකරාශීවන පිරිස මුලින්ම දෙඅත් ඔසවා මහා හයියෙන් සිනහවීම අරඹනු ලැබේ.

මුළු පළාතම සිනහ හඬින් රැව්පිළිරැව් දේ. පසුව බඩ අල්ලාගෙන සිනහ වනඅතර මොවුන් මහපාරේ පදික වේදිකාවේ සිනහ වෙමින් ගමන් කරන අයුරු අන්‍යයන් මහත් සතුටෙන් බලාසිටිති.

සිනහව හොඳ ව්‍යායාමයක් බැව් නවීන වෛද්‍ය පර්යේෂකයින් සොයාගෙන තිබේ. සෞඛ්‍යයේ පරම සම්පත සිනහවය.

යෝගී ව්‍යායාමවලට ද සිනහව බද්ධ වී ඇත්තේය. සිරුරේ හෝර්මෝන හා කෝටිසෝල් සංයුතියට සිනහ බලපෑම් ඇති කෙරේ. සමහර අයට සිනහවෙන්නට අපහසු ය. සිනහ වන අය සමඟ ද ප්‍රශ්න ඇතිකරගනී.

ඔවුන්ට සිනහව නොරුස්සන සුළුය. එය කුහකත්වයේ සංකේතයක් නොවන්නේ ද?

මෙයට කිසිදා මිලක් වැය නොවේ. සමහර අයට සිනහවීමට සල්ලි දෙන තැනට පත්වී ඇත.

මනෝ විදුදර “විලියම් පර්සි“ පවසන්නේ එක් විනාඩියක් සිනහවීමෙන් විනාඩි 40ක් විවේකීව සිටින විට දැනෙන සුවය හදවතට හා මොළයට ද දැනෙන වගකි.

 

ලේ පිරිසුදු කරයි

 

සිනහවීමෙන් රුධිර සංසරණ පද්ධතියේ මනා කළමනාකාරිත්වයට යහපත් ප්‍රතිආරෝපණයක් ඇතිවේ.

ඇමෙරිකානු පුවත්පත් කලාවේදියකු බලවත් ලෙස කොඳු ඇට පෙළේ දරුණු ආබාධයකින් පෙළින. වෛද්‍යවරු ද අවදානම් සහිතව සිටියහ. මේ අතර විනෝදාත්මක කාටුන් චිත්‍රපට විශාල ගණනක් බැලීමට අවකාශය දෙන ලදී. පළමු දිනයේ සිටම එක දිගටම සිනහ වූ අතර කල්යන විට එම දරුණුතම ආබාධය සම්පූර්ණයෙන්ම සුව වූ බැවි වාර්තාගත කරුණක් විය.

සිනහසීම මාරාන්තික රෝග සුවකිරීමේ ප්‍රබලතම ඹෟෂධයක් බැව් මේ මාධ්‍යවේදියා පුවත්පතකට ලියන ලදී. ඔහු වසර 87 කට වඩා ජීවත් විය. එවැනි දිගු කලක්ම ජීවත්වීමේ එකම රහස සිනහවය.

අනුන්හට සිනහවීම, උසුළු විසුළු කිරීම, මඩගැසීම, ඇනුම්පද කිම, චරිත ඝාතනය කිරීම ආදියේ ගැබ්වී ඇත්තේ විෂමය සිනහවකි. එහි ඇතුළත ඖෂධීය ගුණයක් රහිතය. කපටි සිනහව, අන්‍යයන් මුලා කර දමන සිනහව, රෝගී සිනහවන්ය. පවිත්‍රකාරක සෞම්‍යය වූ සිනහව දිව ඔසුවකි. සිනහවන්නෙකුට මිතුරන් ඇති වේ. මූණ පුම්බාගෙන සිටින හා පණ්ඩිතයකුට වඩා මළපොතේ අකුර නොදන්නා කෙනකුගේ සිනහව අගනේය. ඉතාලියට සමීප sardinia  (සාඩ්නියා) දූපතේ වැසියන් වසර 100 ඉක්මවා ජීවත්වීමේ රහස ජානමය බලපෑම් මෙන්ම සිනහව සිය ජීවිතයට එක්කරගත් මිතුරෙක් වීම නිසාය. කුපාරි ගෝත්‍රිකයින් අඩු වයසින් මිය යෑමේ එකම රහස අධික ලෙස කෝපයෙන් දවසේ වැඩි හරියක් ගත කිරීම නිසා යැයි හෙළි වී ඇත්තේ තිබෝර් සිකෙල් මනෝ විදුදරයාගේ වාර්තාව අනුවය.

සිනහවන්නාගේ ගත සහ සිත වියපත් නොවේ. වයසට ගියත් තරුණ බාහිර පෙනුමක් ගතේ රැඳී ඇත.

වයස 40, 50 වන විට නාකි පෙනුමක් දක්නට ඇත්තේ ඔවුන් සතුටින් නොසිටින නිසාය.

වයස්ගත පෙනුමක් ඇතිවී, ගත ඕනෑවටත් වඩා රැලි ගැසෙන තත්ත්වයට ඇද වැටේ. තරුණකම නිතර හිතේ ඇත්නම් කිසිවිටෙක වියපත් නොවේ. සමහර දෙගොඩ හරි වියේ කාන්තාවන් අඩු වයස් පෙනුමක් දක්නට ලැබෙන්නේ ඒ නිසාය.

වයස 60 පැන්නත් නාඹර ළමිස්සියක් වැනිය. එහි රහස සිනහවය. කටින් පිට වන සෑම වදනක් තුළ මිශ්‍ර වී ඇත්තේ සිනහවයි. ඕනෑම කෙනකු තමාවෙත ආකර්ෂණය කරගැනීමට බලෙන් නොහැකිය. මුහුණ පුම්බාගෙන බකමූණු සෙයියාවෙන් කල් ගෙවන අයෙකු දැකීමට පවා අපි‍්‍රය වනු ඇත.

වයස් ගතවීමට පෙරුම්පුරන කිසිම කෙනකුගේ මුහුණ ප්‍රසන්න නොවේ. “දාහට අරන් පන්සීයට දීලා වගේ” අබ පුපුරන මුහුණ කවුරුන්ද දකින්නට කැමැති. කුඩා බිළිඳකුගේ සුන්දර සිනහව මුළු ලොවම සුන්දර කරනු ඇත.

මිනිසාට උපතින්ම සිනහව නෑයකු වී තිබේ. නමුත් එයින් ප්‍රයෝජන ගන්නේ කීයෙන් කීදෙනා ද?තරුණියන්ට මෙන්ම තරුණයන්ට කොතරම් වයසට ගියත් තරුණ බව රැකගැනීමේ මනා වශී ගුරුකම සිනහවයි. ඔබට හමුවන සෑම කෙනෙක් සමඟම ප්‍රසන්න සිනහවෙන් මුව සරසාගෙන කතාබහේ යෙදෙන්න. නොමිලයේ කෙනෙකුට දිය හැකි වටිනාම තෑග්ග සිනහවයි.

සැමදා තරුණ වී තරුණ බව රැකගන්න නම් හැමවිටම සිනහ වෙන්න.

ඇමරිකාවේ චිකාගෝවේදී සිනහවන 10 දෙනෙකු හා සිනහ නොවෙන 10 දෙනෙකු එක් රැස්කර කිසියම් මනෝ පර්යේෂණයක් කරන ලද්දේ අපේ අතිපූජ්‍ය වජිරාරාම වාසී පියදස්සී ස්වාමීන් වහන්සේය.

තිරිඟු ඇට 20 දෙනාට බෙදා දී එය පාත්තිවල රෝපණය කරන්නට ඉඩ දී තිබේ. සිනහවෙන් සිටින 10 දෙනාගේම තිරිඟු ඇට නියමිත දිනට ගොබ ඇදී හොඳින් පැළ වැවී තිබුණ අතර, සිනහ නොවන දස දෙනාගේම තිරිඟු පාත්තිවල බොල් ඇට සහ කේඩෑරි වී ගිය පැළ දක්නට ලැබිණ. සිනහ වී සිටින අයට අත්ගුණයක් ද තිබෙන බවට හොඳ නිදසුනකි, එය.

එංගලන්තයේ කිව්‍යු උද්‍යානයේ තිබෙන එක්තරා ශාකයක් (පැළෑටියක්) දිනපතාම සාත්තු කරන උයන් පල්ලා පැළය ළඟට ළඟාවෙත්ම එකී පැළයේ ශාක පත්‍ර ඔහු වෙතට නැමී එන වග ද එක්තරා වාර්තාවකි.

ඔහු දිනපතාම කොක් හඬලා සිනහවී පැළයේ පත්‍ර ස්පර්ශ කරමින් පැළයට සාත්තු කිරීමේත් ප්‍රතිඵලයකි, එය. මේ සිදුවීම ගස්වැල්වලට ආදරය කරන්නාට එකී ගස්වැල්වලින් පෙරළා ආදරයේ ප්‍රතික්‍රියා ලැබෙනු ඇති බවට තවත් නිදසුනකි.

 

 

 

හෙන්රි බෙම්මුල්ල

ජේ්‍යාතිෂ සහ වාස්තු විද්‍යාවේදී

1032 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 14, සඳුදා 16:15
අදහස් එක් කිරීමට ලොග් වෙන්න