තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 මැයි 15, අඟහරුවාදා 10:57

රසට කෑම හදන්න නම් මේ විදිහට තුනපහ සකසන්න විශේෂාංග

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම
අගයන්න
(0 මනාප)
පසුගිය සතියේ අපි ඔයාලට කිව්වනේ සෙව්වන්දිට රසට කෑම උයන්න පුංචි ඉඟි ටිකක් නුවර ඉන්න ලොකු නෑනා දුන්නා කියලා. ඒවා තමයි මුළුතැන්ගෙයි රස රහස් කියලයි ඇය නම් කිව්වේ. මැටි වළං, මුට්ටිවල උයන එකේ වැදගත්කමයි, ඒවා පදම් කරගන්න හැටියි කියලා දුන්න ලොකු නෑනා ගෙදරදීම පහේ කළමනා හදාගන්න හැටිත් ප්‍රායෝගිකවම කියලා දෙන්නම් කියලා සෙව්වන්දිගේ හිතේ තිබ්බ කණගාටුව දුරු කළා.

 

පොරොන්දු වුණා වාගේම පහුවදා උදේ කෑම ගත්තට පස්සෙ ලොකු නෑනා සෙව්වන්දිත් එක්ක ටවුමට ආවා.

වළං කඩේට ගිය ඇය සෙව්වන්දිට අපූරු මැටි ළිපක්, වළං, මුට්ටි, ඇතිලි, කරමූඩි විතරක් නෙමෙයි පොල් කටු හැඳි කිහිපයකුත් අරගෙන දුන්නා.

ඊට පස්සෙ තවත් වෙළෙඳසලකට ගොඩ වැදිලා තුනපහ සඳහා අවශ්‍ය සූදුරු, මහදුරු, කොත්තමල්ලි, උළුහාල්, කහ වාගේම වියළි මිරිස් වගේ දේවලුත් අරගත්තා.

කාලෙකට පස්සෙ හොඳ ගෘහණියක් විදිහට රවුමක් දාපු නෑනලා දෙන්නා ගෙදර ඇවිත් විඩා නිවාගන්නවත් පමා නොවී වැඩ පටන් ගත්තා.

“දැන් මෙහෙමයි නංගි. ඔයාට මේවා පැකැට් විදිහටම මාර්කට් එකෙන් ගන්නත් පුළුවන්නේ. ඒත් ඒවායේ රස, ගුණාත්මක බව, පිරිසුදුකම වාගේ දේවල් ගැන සහතික වෙන්න බැහැ නේද?”

“ඔව් අක්කෙ . . . මට මතකයි ඉස්සර අපේ අම්මත් එහෙම කියනවා. මට මතක විදිහට එයා මේ පහේ ජාති ගත්තෙ ඇඹරුම්හලකින්.”

“ඒක තමයි . . . එහෙම විශ්වාසවන්ත තැනක් තියෙනවා නම් ඔයාටත් පිරිසුදුව ඒවා ගන්න පුළුවනි.

නැතිනම් ඔය දෙන්නට අවශ්‍ය ප්‍රමාණය ගෙදරදීම හදාගන්න එක තමයි හොඳම දේ.

දැන් ඉතින් අපි දවල්ට උයන්න කලින් මේවා හොඳට සෝදලා අව්වේ තියලා වේළාගන්න ඕනේ. ඔයාට නිවාඩු දවස් දෙකෙන් එක දවසක උදේ කාලය ඒ වෙනුවෙන් යෙදෙව්වොත් හවස් වෙනකොට වැඩේ ඉවරයි.”

“දැන් අක්කේ මොනවද හෝදලා වේළන්න ඕනෙ දේවල්.”

“අපි වියළි මිරිස් කරල්වල නැටි පිටින් සෝදලා වේළගන්න ඕනේ. නැත්නම් පිරිසුදු පොල් කුඩුවලින් හොඳින් අතුල්ලලා වේළාගන්න. ඊට පස්සෙ නැටිවලින් බාගයක් ඉතුරු වෙන්න කපලා ඉවත් කරන්න.

එතකොට අබ, ගම්මිරිස්, උළුහාල්, කොත්තමල්ලි, සූදුරු, මහදුරු, කරාබුනැටි මේ කොයිවත් පාවිච්චියට කළින් ගරලා සෝදලා වෙළලා ගත්තම කිසිම ප්‍රශ්නයක් නෑ.

ඔයාට මේ ඔක්කොම එක දවසෙ කරන්න අමාරු නම් දවස් දෙකට බෙදාගෙන කරන්න. අනික නංගි මේවා හෝදලා වතුර බේරෙන්න තියලා ඊට පස්සෙ වට්ටියකට දාලා අව්වෙ තිබ්බහම හොඳට වේළෙනවා.

මේ දවස්වල අව්වත් හොඳට සැර එකේ වේළෙන එකත් ඉක්මන්.

ඔන්න මම මේවා දැන් හෝදලයි තියෙන්නෙ. මේ වට්ටිවල දාලා අර කුස්සිය පිටිපස්සේ තියෙන මැස්ස උඩින් තියන්නකෝ.

එතැනට හොඳට අව්ව තියෙන නිසා හවස් වෙනකොට වේළෙයි.”

අක්කා කිව්ව කතාව හරියට හරි කියලා සෙව්වන්දිට කල්පනා වුණේ පැයක් දෙකක් ගතවෙද්දි කළමනා ටික වේළිලා තියෙනවා දැක්කමයි.

“නංගි අපි අදම මේ ටික බැදලා අයියා අතේ මෝලට යවලා කොටා ගම්මු. එතකොට වැඩේ ඉවරයිනේ.”

හවස තුනට විතර වාගේ අක්කා සෙව්වන්දිට කතා කළා.

“දැන් නංගි මම නම් මිරිස් කෙටාගෙන තියෙන්නෙ පහේ දාලාමයි. එතකොට තුනපහ වෙනමයි මිරිස් වෙනමයි දමන්න ඕනේ නෑ. මම කරන්නේ මිරිස් කරල්, කොත්තමල්ලි, සූදුරු, රම්පෙ, කරපිංචා මේ ඔක්කොම කබලේ බැදගෙන එකට දාලා කුඩු කරගන්න එක.”

“එතකොට අක්කෙ මිරිස් නොදා තුනපහ විතරක් දාලා හදන ව්‍යාංජනත් තියෙනවා නේද?”

“ඔව් . . . ඔව්, මම ඒකට වෙනම තුනපහ මිරිස් හෙම හදලා තියනවා.

ඒ ව්‍යාංජන අනුව දමන්න ඕනේ දේවල් තෝරාගන්නවා.

අපි මෙහෙම කරමු, ඔයාට මම මිරිස් කුඩු වෙනමයි, තුනපහ වෙනමයි හදලා දෙන්නම්. මම තව හදනවා මස්, මාළුවලට විතරක් දමන පහේ එකක්. අපි ඉස්සෙල්ලාම ඒක හදමු.

ඒකට මම ගන්නවා,

වියළි මිරිස් කරල් ග්‍රෑම් 250 ක්

සූදුරු ග්‍රෑම් 50 ක්

කොත්තමල්ලි ග්‍රෑම් 100 ක්

මහදුරු මේස හැඳි 01 ක්

ගම්මිරිස් මේස හැඳි 02 ක්

අබ මේස හැඳි 01 ක්

කරදමුංගු කරල් 05 ක්

කරබු නැටි 10 ක්

කැකුළු හාල් මිටක්, දෙකක්

කුරුඳු පොතු කෑල්ලක්

සේර කැබැල්ලක්

රම්පේ, කරපිංචා

දැන් අපි මේ හැමදෙයක්ම වෙන වෙනම කබලේ බැදගන්නවා.

ඊට පස්සෙ ඔක්කොම එකට කලවම් කරලා හොඳට කුඩු කරගන්නවා. මේකට තියෙනවා නම් සාදික්කා ගෙඩියක් තළලා බැදලා දාගත්ත නම් හරිම අපුරුයි.

දැන් ඔය පාර්සලේ පැත්තකින් තියන්නකෝ. මේ ඉතිරි අබ ටික වෙනම බෝතලයකට දාගන්න. උළුහාල් බැදපු ටිකත් වෙනම දාන්න.

එතකොට මේ යම්තම් බැදපු සූදුරු, මහදුරු, කොත්තමල්ලි ටික එකට එකතු කරලා කොටා ගම්මු. ඒකට කහයි, උළුහාලුයි ඔයා උයන වෙලාවට දාගන්න. හෝදලා බැදපු මේ මිරිස් කරල් ටික කුඩුකරගත්තහම ඔන්න ඔයාට පිරිසුදු කලවම් නැති මිරිස් කුඩුත් තියෙනවා.”

“දැන්නම් මට සුවඳට, රසට විතරක් නෙමෙයි ගුණාත්මක බවින් වැඩි, පෙනුමත් තියෙන රසම රස කෑම වේලක් මහේෂ්ට හදලා දෙන්න පුළුවනි.”

 සෙව්වන්දි කිව්වෙ හරිම ආසාවෙන්.

430 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 15, අඟහරුවාදා 10:59
අදහස් එක් කිරීමට ලොග් වෙන්න