තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 මැයි 28, සඳුදා 12:51

බඳින දවසෙ පෝරුවෙ දුටු මනමාලි පහුවදාට අඳුරගන්න බෑ විශේෂාංග

ලිව්වේ  වෛද්‍ය සජානි වාසනා ප්‍රනාන්දු
අගයන්න
(0 මනාප)
නූතන මානවයා හෙවත් හෝමෝ සේපියන් සේපියන් නමැති සත්ත්ව විශේෂයට කෝටි 650 ක තරම් මනුෂ්‍ය සංඛ්‍යාවක් අයත් වෙනවා. විවිධ රටවල ජීවත් වන ඔවුන් තමන්ගේ සම, කෙස්, ඇස්වල පැහැය, නාසය, තොල්, මුහුණ, හිසේ හැඩය, සිරුරේ ප්‍රමාණය අනුව එකිනෙකට වෙනස් වෙනවා.

 

 

මිනිසුන්ගේ බාහිර ලක්ෂණ අනුව ඔවුන් ප්‍රධාන වශයෙන් කොකෙසොයිඩ්, නීග්‍රොයිඩ්, මොන්ගොලොයිඩ්, ඔස්ට්‍රොලොයිඩ් ආදී ලෙස වර්ග කර තිබෙනවා. දකුණු ආසියාතිකයින් වන අප ප්‍රධාන වශයෙන් කොකෙසොයිඩ් කාණ්ඩය යටතට වර්ග වෙනවා. නමුත් අද වන විට මෙම වර්ග කිරීම් අනුව හඳුනාගත නොහැකි වන තරමට එම වර්ග එකිනෙකා හා සමඟ මිශ්‍රවීම් සිදුවෙමින් තිබෙනවා.

සමාන පරිසරයක ජීවත් වන සම වයස් දෙදෙනකුගේ පවා සමෙහි ස්වභාවය වෙනස් වන්නේ ඔවුන්ගේ මාපියන්ගෙන් ලැබෙන්නා වූ ප්‍රවේණිගත ජාන අනුව සමෙහි කෘෂ්ණ රංගානු (මෙලනීන්) ප්‍රමාණය තීරණය වීම මතයි. මෙලනීන් වර්ණකය ද්‍රව තත්ත්වය යටතේ පවතින විටදී සමෙහි පැහැපත් බව අඩුවී යනවා. මීට අමතරව පාරිසරික, දේශගුණික සාධක ද සමෙහි වර්ණය කෙරෙහි තාවකාලික බලපෑමක් සිදු කරනවා. පිටරටක දිගු කලක් ගතකර පැමිණි විටදී සම වෙනස් පැහැ ගෙන තිබෙනු දක්නට ලැබෙන්නේ ඒ නිසායි. නමුත් නැවත මාස කිහිපයක් ගතවෙද්දී තමා ජීවත්වන පරිසරයට අනුකූලව තමාට උරුම සමෙහි පැහැය ලැබෙනවා. එම සත්‍යය වටහාගත යුතුය.

 

කෘත්‍රිමව වෙනස්කිරීම

තමාට උපතින් උරුම වී ඇති සමෙහි පෙනුම කෘත්‍රිමව වෙනස්කර ගැනීමට යාම බොහෝ අතුරු ආබාධ හා රෝගයන් වෙත බලෙන් අතපෙවීමක්. කල් ගතවන විටදී එහි ප්‍රතිඵල ඉතාමත් දරුණු විය හැකියි. ලෝක ප්‍රකට ගායක මයිකල් ජැක්සන් උදාහරණයකට ගන්න. උපතින් කළු ජාතිකයකු වූ ඔහු නොයෙකුත් සැත්කම්, ආලේපන හා ඖෂධ වර්ග මඟින් සුදු සමක් ලබාගත්තා. නොකඩවා එන්නත් ලබාගත්තා. වයස අවුරුදු 50 දී ඊඩඪඵ ඪඵ ඪබ ප්‍රසංගයේ පුහුණුවීම් අතරතුරේදී මිය යන විට ඔහු බොහෝ චර්මගත අසාත්මිකතා වෙනුවෙන් ප්‍රතිකාර ලබාගනිමින් සිටියා. ඔහු මිය නොගියා නම් හොඳයි. නමුත් එසේ වුණා.

 

සිනමාවේදී, වේදිකාවේදී, ඡායාරූපකරණයේ දී හෝ වෙනත් වෘත්තීමය කටයුත්තකදී උචිත වූ වෙනස් පෙනුමක් ලබාගන්නට අවශ්‍ය වනවා විය හැකියි. එහි ගැටලුවක් නැහැ. විවාහය කියන්නේ ඔබේ ජීවිතයේ වෘත්තීමය කටයුත්තක් නොවෙයි. ඉතා ආදරණීය ජීවිත මතක සැමරුමක්. ජීවිතයේ සන්ධිස්ථානයක්. මාල හතක් බැඳ මාමාගේ අත අල්ලන් පෝරුවට නැඟ, රන්තැලි කර පලන්ඳාගෙන, උරුමක්කාරයාගේ දෑඟිලි බැඳ, අෂ්ඨක ගැයුම් අවසානයේ පුන් කලස් පසුකර පෝරුවෙන් බැස, කැත්තෙන් පොල් ගෙඩිය දෙපළුකර මාපියන් දෙපා නැමැඳ කඳුළු පිරි නෙතින් හා නෑ හිත මිතුරන්ගේ කෙළි කවට කතා මැද රතු වූ මුහුණින් මංගල ගමන් යන්නට රජ මැදුරේ හා දුගී පැල්පතේ හැම තරුණියක්ම සිහින දකිනවා. ඉතින් ඒ අසිරිමත්

 

සිහින දිනයේ දී පෝරුව මත සිටිය යුත්තේ ඔබම නේද? ඔබ නොමැතිව වෙනත් අයෙකු නොවෙයි නේද?

“එදා පෝරුවේ දී දැක්කට වඩා මනමාලි සෑහෙන්න වෙනස්නෙ. අඳුරගන්නත් බෑ” ඔබට කවුරුන් හෝ එසේ කියා ඇති. නැත්නම් ඔබ කවුරුන්ට හෝ මෙසේ කියා ඇති.

 

ඔබ ඔබම වන්න

මංගල දිනයේ දී පෝරුවෙන් බැස යන ඔබ එකතු වන්නේ ඔබගේම ළබැඳි නෑදෑ හිත මිතුරන් පිරිස අතරටයි. ඔබ සැමදා ඔවුන්ට දුවක, සොහොයුරියක, හිතවතියක විය යුතුයි. සැමදා ඔවුන්ට සත්‍යවාදී අලුත් සාමාජිකාවක විය යුතුයි. පෝරුව මතදී ඔබගේ සුන්දරත්වය ඔවුන් දකිනවා. එම සුන්දරත්වයෙන් යුතුවම පසු දිනයකදී ද ඔබ ඔවුන් හමුවිය යුතුයි. වැදගත්වන්නේ එයයි. පෝරුව මතදී ඔබ ඔබටම හඳුනාගත නොහැකි ලෙසට ක්‍රීම් තට්ටු, තට්ටු තවරා වෙස් මුහුණක් පැලඳ සිටියා නම් එලෙස කරන්නේ කෙසේද? සියල්ල හොඳින් කල්පනා කර බලන්න. මංගල පෝරුව මතදී, මංගල දිනය දා ඔබ ඔබ ලෙසම සැරසී හිඳින්න. ඔබ ඔබම වන්න. පැය කිහිපයකට හෝ ඔබගේ අනන්‍යතාවය, ඔබගේ උපන් මුහුණ සඟවා ගන්න එපා.

මිනිස් ශරීරයක මුහුණේ, දෑත් සහ දෙපාවල සමෙහි තදබල ලෙස පෙනෙන වෙනසක් දක්නට නැහැ. මුහුණේ සමෙහි පැහැය මුළු ශරීරයේ සමෙහි පැහැයට සමාන වෙනවා. නමුත් කෙනෙකුගේ මුහුණේ පැහැය ශරීරයේ සාමාන්‍ය සමෙහි පැහැයෙන් වෙනස් වී ඇත්නම් ඒ නිසැක වශයෙන්ම සමෙහි පැහැය කෘත්‍රිම ලෙස වෙනස් කරගැනීමක්. ස්වභාවිකව සමෙහි තිබෙන මෙලනීන් ප්‍රමාණය කෘත්‍රිමව ආලේපන, එන්නත් හා සැත්කම් මඟින් වෙනස්කර ගැනීමක්. තාවකාලිකව එය පැහැපත් වීමක් බව පෙනෙනවා විය හැකියි. නමුත් වෛද්‍ය විද්‍යාව අනුව එය නිරෝගී පැහැපත් සමක් නම් නොවෙයි. නුදුරු අනාගතයේ දීම සමෙහි අසාත්මිකතාවන්වලට හා චර්ම රෝගයන්ට අතවැනීමක්. චර්මගත පිළිකා කැඳවා ගැනීමක්. සමහරවිට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමක් විය හැකියි.

 

අනවශ්‍ය වියදම්

ලංකාවේ මධ්‍යම පාන්තික බොහෝ තරුණියන් තමන් උපයන මාසික වැටුපෙන් සියයට හැටකට වැඩි ප්‍රමාණයක් තමන්ගේ රූපලාවණ්‍ය කටයුතු සඳහා නිරපරාදේ වියදම් කරනවා. මෙය අද තරුණ පරම්පරාව පමණක් නොවෙයි. සමාජයේ සෑහෙන පිරිසක් වෙළාගත් මහා අපරාධයක්. හැඩවෙන්න ඕන. ස්ටයිල් කරන්න ඕන. තරුණ කාලෙදි අඟර දඟර පාන්න ඕන. ඇත්ත තමයි. ඒත් ඒ හැම දෙයක්ම ඔබගේ සමෙහි නිරෝගීතාවය මත සිදුකළ යුතුයි. අනවශ්‍ය රෝම ඉවත් කරද්දී සම තුවාල වෙනවා. රෝම මූල කළු වෙනවා. පස්සේ කාලෙකදී කළු ලප සෑදෙනවා. ඉතින් වැඩක් තියෙනවා ද? පස්සේ කාලෙක සමෙහි නොයෙක් අතුරු ආබාධ හටගන්නවා. ප්‍රයෝජනයක් තියෙනවා ද? මෙලෙසට වියදම් කරනා මුදල් තමන්ගේ අනාගත අභිවෘද්ධියට ඉතිරි කරගන්න.

 

ප්‍රතිකාර කරන්නේ දැනුමක් අතුවද

විද්‍යුත් මාධ්‍යයේ පෙනී සිටින සමහර රූපලාවණ්‍ය ශිල්පීන් කතා කරන්නේ තමන් වෛද්‍යවරුන්ටත් වඩා ඉහළ දැනුමැත්තන් ලෙසටයි. ඔවුන් දැනමුත්තන් නොවෙයි. මහදැනමුත්තන්. ඔවුන්ට අනුව සම පිළිබඳ ඉහළම දැනුම ඇත්තේ වෛද්‍යවරුන්ට නොවෙයි. ඔවුන්ටයි. සමෙහි සමහර රෝගවලට ප්‍රතිකාර පවා ඔවුන් නියම කරනවා. මෙය වූ කලි ලංකාව නිසා එය තවදුරටත් එසේම සිදුවෙනවා. මෙවැනි අපරාධයක් හා සමාජය නොමඟ යැම වළකාගත හැකි වන්නේ රජයේ නිසි මැදිහත් වීමකින් හෝ සමාජය දැනුවත් කිරීමෙන් පමණයි. රූපලාවණ්‍ය ශිල්පියකුට සමට බාහිරව ආලේපන තැවරිය හැකි වුවත් සම ඇතුළු මුළු ශරීරයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳ වගකීම වෛද්‍යවරයා සතු කාර්යයක්. නිරෝගී නොවන, කිසියම් චර්ම ආබාධයක් ඇති අයකුගේ සමට ආලේපන තැවරීමට රූපලාවණ්‍ය ශිල්පියෙකුට සිදුකළ නොහැකියි. නමුත් මේ බව දන්නේ කවුද? රූපලාවණ්‍ය ශිල්පීන් එසේ සදාචාරාත්මකව තම කාර්යය ඉටු කරනවාද? ඔබගේ සමෙහි කිසියම් සුළු හෝ වෙනසක් ඇතිවී නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුටම පෙන්වන්න.

 

පතිකුලයට යාමට කාලවකවානු නියම කරගත් තරුණියක් වසරක පමණ කාලයක් තිස්සේ වරින් වර රූපලාවණ්‍යාගාරවල රස්තියාදු වෙනවා. ඔවුන් යායුතු තැන වරද්දාගෙන. ඔවුන් යා යුතු වන්නේ සම පිළිබඳ ප්‍රතිකාර කරන ආයුර්වේද වෛද්‍යවරයකු වෙතටය. ආයුර්ව්දෙ රූපලාවණ්‍ය ප්‍රතිකාරයේ දී කසාය, ආලේපන, ස්ටීම් ප්‍රතිකාර ඇතුළු පංච කර්ම ප්‍රතිකාර ක්‍රම මඟින් ශරීරය අභ්‍යන්තරයේ සිට පෝෂණය කර නීරෝගී පැහැපත් සමක් ඔබට ලබාගත හැකියි. ඔබගේ සම නිරෝගීව, පිරිසුදුව, පැහැපත්කරගන්න. එවිට ඔබ තමයි ලස්සන. ඔබ තමයි පැහැපත්. ඔබ තමයි හැඩකාර. ඔබට එසේ සිතේවි. එවිට වෙස් මුහුණක් දමා ගැනීමකින් තොරව ඉතාමත්ම සුළු සරල ආලේපනය ප්‍රමාණයකින් මනාලියක වන දිනයේ දී ඔබට හැඩවිය හැකියි. එතකොට හොඳම ලස්සනම මනාලිය ඔබයි.

414 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 28, සඳුදා 12:52
මේ යටතේ එන අනෙකුත් ලිපි: « Wedding Dreams My Style »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න