තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 සැප්තැම්බර් 11, සඳුදා 12:46

අධික ලෙස රත් වු තෙලේ බදින කෑම සිරුරට අහිතකරයි විශේෂාංග

ලිව්වේ  දිස්නා කුමාරි අල්විස්
අගයන්න
(0 මනාප)
මිනිස් සිරුර අසිරිමත්ය. මේ අසිරිමත් බවට පෝෂණය අත්‍යඅවශ්‍යය. ඊට හේතුව සිරුරේ අසිරිමත් බව පවත්වා ගනු ලබන්නේ අප සිරුරට ලබාදෙන පෝෂණ ද්‍රව්‍ය නිසාය.

 

මිනිස් සිරුර පවත්වා ගැනීමට වැදගත් වන කාබෝහයිඩ්‍රේට, විටමින්, ඛනිජ ලවණ, මේදය මේ පෝෂණ කාණ්ඩ අතර ප්‍රධාන වේ. ඒ අතරින් අපේ සිරුරට ලැබෙන මේද ප්‍රමාණය පිළිබඳ අද අපට බෙහෙවින් සැලකිලිමත් වීමට සිදු වී තිබේ.

බොහෝ විට බොහෝ දෙනා කතාබහ කරනු ලබන්නේ අධික මේදය සිරුරට අහිතකර බවයි.

එසේම අධිකව රත් වූ තෙල්වල පිසූ ආහාර ශරීරයට ඇතිකරන බලපෑම පිළිබඳ ඔබ සිතුවාද?

පොල් තෙල් ඇතුළු ඕනෑම තෙල් වර්ගයක් අධික ලෙස රත් කිරීම සුදුසු නැත. ගැඹුරු තෙලේ ආහාර පිස ගැනීමේදී බොහෝ ගෘහණියන් ඉතා අධික උෂ්ණත්වයකට තෙල් රත් කළ ද සෙන්ටි ග්‍රේඩ් 100 - 120 ට වඩා ඉහළ උෂ්ණත්වයේ රත් වූ තෙල් මිනිස් සිරුරට හිතකර නොවේ.

එතරම් ඉහළ උෂ්ණත්වයකදී මේද අණුවල ව්‍යුහය වෙනස් වේ. ඒවා රසායනිකව ගුණ හානි වීම නිසා මිනිස් සිරුරට අහිතකර වේ.

ඇතැම් ගෘහණියන් වැඩි අරපිරිමැස්මට වරක් බඳින ලද තෙල් නැවත පාවිච්චි කරන අතර මෙහිදී නැවතත් තෙල් පෙර සේම රත්වීමට භාජනය වීම නිසා එහි ගුණාත්මක බව හීන වී ඇති සේම සිරුරට ද අහිතකර වේ.

මේ නිසා වරක් භාවිත කළ තෙල් කිසි විටෙක දෙවැනි වර භාවිත කිරීම නුසුදුසු බව සිහි තබාගන්න.

ගැඹුරු තෙලේ ආහර පිසීමේදී ඔබ පළමුව සාස්පාන ළිප තබා එය අධිකව රත් වූ පසු ඊට තෙල් දැමීම සිදු කරනවා නම් එය කොහෙත්ම සිරුරට හිතකර නැත.

මෙහිදී චිරිස් හඬ නංවමින් නැගෙන සුදු පැහැ දුමාරය ද අහිතකර වන අතර එතරම් ඉහළ උෂ්ණත්වයට ක්ෂණිකව රත්වන තෙල් මිනිස් සිරුරේ සෞඛ්‍ය සම්පන්න බවට බරපතළව හානි සිදු කරනු ලබනවා. මේ නිසා තෙල් දමා සාස්පාන ළිප තබා අවශ්‍ය උෂ්ණත්වයට රත්කර ගන්න. වෙළෙඳපොළේ ඇති වඩේ, පැටිස් ආදී අධික උෂ්ණත්වයේ බදින ලද ආහාර ද්‍රව්‍ය නිතර අනුභව කිරීම ඔබ විසින් සිදු කරන අනුවණ ක්‍රියාවක්.

බදින ලද කුකුළු මස්, මාළු ආදිය සඳහා වත්මන් ආහාර සංස්කෘතියේ ඉහළ ඉල්ලුමක් පැවතුණත් ඉතා ඉහළ උෂ්ණත්වයක රත් වූ තෙල් බඳුන්වල පිසින මෙම ආහාර ඔබේ නිරෝගී බව පැහැර ගන්නේ ඔබටත් හොර රහසේමයි.

තෙලේ බදින එළවළු

ඇතැම් අය කංකුං, වම්බටු, බණ්ඩක්කා, කරවිල ආදී එළවළු වර්ග ගැඹුරු තෙලේ අධිකව බදිමින් වෙනස් රසයකට ආහාර සකස් කරනු ලබනවා. නමුත් එමඟින් මෙම ගුණදායක එළවළු සතු සැබෑ පෝෂණය ලැබෙන්නේ නැහැ. එළවළුවල වැඩි පෝෂ්‍ය ගුණය රැකෙන්නේ එය අවම වශයෙන් පිසින විටයි.

බදින කුඩා මාළු

කුඩා දරුවන්ට කටු සහිත කුඩා මාළු කෑමට අපහසු නිසාත් කුඩා මාළු සතු ගුණදායක බව නිසාත් බොහෝ මවුවරුන් මෙම මාළු බැද දරුවන්ට දෙයි. එනමුත් එය හිතකර දෙයක් නොවේ. ඔමේගා 3 ඇතුළු පෝෂණීය බව සුරැකෙන සේ දරුවන්ට කුඩා මාළු ලබා දෙන්න නම්, මාළු හොඳින් පළමුව සෝදා දෙවනුව අඹරාගෙන පෙරාගෙන එම සාරය දරුවන්ගේ ආහාරයට එක් කරගන්න. එය ළමා මනසට, මොළයේ වර්ධනයට ඉතා හිතකර අතර හදවතට ද ගුණදායකය.

  උපදෙස් -ගැමුණු සාලිය පෙරේරා

මාධ්‍ය ප්‍රකාශක ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය

පරීක්ෂකවරුන්ගේ සංගමය

1139 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 11, සඳුදා 12:47
අදහස් එක් කිරීමට ලොග් වෙන්න