තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

මල් කුමාරයෝ සිරස්තල

2012 ජූලි 06, සිකුරාදා 10:34

ආල වඩන මනාල ඇඳුම්

ලිව්වේ  නුවන් මහේෂ් ජයවික්‍රම
අගයන්න
(2 මනාප)
මනාලියක වීමට මඟබලා සිටින යෞවනියක නම් වඩාත් කාර්යබහුල යැයි තවත් කෙනෙකුට කියන්නට පුළුවන. එහෙත් ළං ළංවන මංගල දිනයට පෙර සූදානම මනලයා කෙරෙත් ද නොඅඩුව දැකගත හැකියි.

සැබැවින්ම ඔහු ද මේ ගෙවන්නේ අවිවේකී කාලයකි. ඇතැම්විට දෙදෙනා දෙපසට වී දෙතැනකදී තම තමන්ගේ ඇදුම් ආයිත්තම් තෝරති. එහෙත් එය එතරම් නුවණට හුරු දෙයක් නම් නොවේ.

ඒ දෙදෙනා දෙපසකට වී හැඩ වුණත් අතිනත ගනු ලබන්නේ එකම මංගල පෝරු මස්තකයකදී බව හා එදින එතැනට දෙනෝදාහක් ඥාතීන් හිතවත්තුන් රැස් වන බවත් අමතක නොකළ යුතුයි.

යුවළගේ සළුපිළි, අබරණ එකට පෑහී මවන චමත්කාර දසුන එදින මංගල සභාවේ ඇත්තන් කුල්මත් කළ හැකියි. එය එසේ නොවුවහොත් අමුත්තන් බලාපොරොත්තුව සිටි පමණින් තුටු නොවන්නට ඉඩ තිබේ.

එහෙත් මංගල සභාව බබළවන්නට අතිනත ගන්නා යුවළට හැකිය. ඊට කල් තබා දෙදෙනා ඔවුනොවුන් අතර එකඟතාවන්ට පැමිණ ඇති කර ගන්නා පෙර සූදානමක් අත්‍යාවශ්‍යවේ.

මනාල - මනාලි පමණක් නොවේ. මනලයා දෙවැනි මනාලයා අතර ද හැඩරුවින් සේම සඵපිළිවලින් ද පෑහීම අවශ්‍යය. දෙවැනි මනමාලිය ද එසේම විය යුතුය.

එය මල්කුමර කුමාරියන්ගේ සිට යුවළගේ මවුපිය ඥාතිවරු සැරසෙන අන්දම දක්වාම විහිය යුතුය. ඔවුන් සියල්ලන්ගේම එකඟතාව මංගල සභාව ආකර්ෂණිය තැනක් කරයි.

මනාල ඇඳුම් කට්ටලය

උඩරට සිංහල සේම බටහිර ආරට ද මනාලයෝ තම ඇඳුම් තෝරා ගනිති. ඒවායෙන් අද අපි බටහිර ක්‍රමයට සැරසෙන මනාලයන් වෙන්කර ගනිමු. ඔවුන්ට වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳ දැනුවත් කරමු. තමන්ගේ සිරුරේ හැඩයට අනුව සැරසීම මගින් මනාලයාගේ පෙනුම තවත් තියුණු කරවයි.

එහෙයින් මනාලයාගේ නොමද අවධානය ඔහුගේ බාහිර ස්වරූපය පිළිබඳ ද යොමුවිය යුතුය. එහි දී මනාලයා තම වස්ත්‍ර වඩාත් ගැළපෙන අන්දමට තෝරාගැනීම වැදගත් ය.

වර්තමානය වන විට ඇතැම් මනාලයන් වැඩිපුර අඳුරු පැහැයන්ගෙන් සැරසීමට ප්‍රියකරයි. දිගට පැතිරුණු ඉරි ආකාරයේ රෙදිවලින් තම ඇඳුම මස්සවාගෙන තිබෙනු දක්නට ලැබේ. එහෙත් තම රුචිකත්වය මනාලියගේ ඇඳුම් පැළදුම්වල පැහැයන්ටත් ගැලපේදැයි මනාලයා තම අවධානය යොමු කළ යුතුය.

එය එතැනින් එහාට පවා විහිදී පැතිරෙයි. ඒ මංගල දින කණ්ඩායම් ඡායාරූප ආදියට නිතර ළගම ඥාති හිතමිත්‍රාදීන් ද පෙනී සිටින නිසාය. මනාලයාසේම මනාලිය ද ඔවුනොවන්ගේ මවුපියෝ සැරසෙන අයුරු පිළිබඳ පවා අවධානය යොමු කළ යුතු වන්නේ එහෙයිනි, මංගලෝත්සවයේ තේමා පැහැයන්, සංකේත සමග ද ඇඳුම් පැළඳුම්වල පෑහීමක් අවශ්‍ය කෙරේ.

සමහරු පෙර නොවූ විරූ අන්දමේ නව ආරකට තම මංගල්‍ය පැවැත්වීමට ප්‍රියකරති. එහි දී බොහෝ මනාලයෝ එදින තම මංගල ඇඳුමේ විලාසිතාව ප්‍රදර්ශනය කිරීමට වෙහෙසෙති.

තනි බොත්තම් කාසයෙන් නැතිනම් කාස දෙකක් තබා මංගල කබායෙන් පවා එය ඉස්මතු කිරීමට සමහරු කැමතිය.

ලොකුවට මසනවාට වඩා අද බොහෝ දෙනෙක් සිරුරේ පමණට කබාය මස්සවාගනු දක්නට ලැබෙයි. ඔවුහු කලිසම පවා නිමවා ගනුයේ ඒ අයුරින්මය. මෙය සිහින් සිරුරු දරන මනාලයන් කෙරෙන් වඩාත් කැපී පෙනෙන අංගයකි.

මේ වන විට ළා පැහැයන්ගෙන් මනාල ඇඳුම් කට්ටල නිමවා ගැනීමේ යම් ප්‍රවණතාවයක් ඇත. එවිට දෙවැනි මනාලයාද මනාලයාට සමීප ස්වරූපයෙන් සැරසීම සාමාන්‍ය සිරිතයි. දිගුකලෙක පටන් පැවැත එන කළු කබායකින් සැරසෙන මනාලයන්ගේ රුචිකත්වය නම් අදටත් අඩුවක් දක්නට නැත.

‘ෂයිනින් මැටීරියල්’(දිස්නයක් ගෙන දෙන රෙදි වර්ග) මාදිලියේ රෙදිවලින් මංගල ඇඳුම් නිමවා ගැනීම කෙමෙන් කෙමෙන් ජනප්‍රියවෙමින් තිබෙන තවත් අංගයකි.

ඒවායෙන් කබාය පමණක් නොව කලිසම් මස්සවා ගැනීමටත් තරුණයෝ ප්‍රියකරති. ඇඳුම් එසේ වුවද ඒවාට පැළඳුම් කදිමට පෑහීම මනාලයාට ද වැදගත් වේ.

මේ සියලු කරුණු කාරණා අතර තරුණයන් තම මනාල ඇඳුම් කට්ටලයට වැයවන මුදල පිළිබඳ ද යම් වැටහීමක් ලබා තිබීමත් ඉතාමත් වැදගත්ය. සාමාන්‍ය මුදලකින් චාම්ව මංගල දවසට සැරසෙන්නට තරුණයෙක් සිතනවා වන්නට පුළුවන.

එහෙත් තම මංගල දිනයේ දී ඉහළම මට්ටමින් කැපී පෙනෙන ආකාරයට හැඩවීමට තවත් තරුණයෙක් ප්‍රිය කළ හැකිය. කෙසේ වුවද චාම් ව සැරසීමේදී මුළු ඇඳුම් කට්ටලයම එකම තැනකින් නිමවා ගැනීමේ පහසුකම දැන් පවතී.

ඉහළම අයුරින් හැඩ වැඩවීමට ඇඳුම් සකසා ගත හැකි ස්ථාන ද තිබේ. මේ සියල්ලම තමාට සරිලන අයුරින් කපට වේලාවට නිම කර ගැනීමට නම් අවම වශයෙන් සති තුනකට පෙරදීවත් තම ඇඳුම් කට්ටලය පිළිබඳ මිමි මැහුම්කරුවන්ට ලබාදීමට මනාලයකු වීමට බලාපොරොත්තු වන තරුණයා වග බලාගත යුතු වේ.

උපදෙස්:
නිර්මාණ ශිල්පී සුගත් ශාන්ත ගමගේ
කැලණිය සී.එල්. ෆැෂන් ආයතනය

10672 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 06, සිකුරාදා 10:39
අදහස් එක් කිරීමට ලොග් වෙන්න