තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

මල් කුමාරයෝ සිරස්තල

2015 ජනවාරි 19, සඳුදා 17:01

මුල් ඇඳුම විලාසිතාවක් නම් නෙමේ පිරිමියකුගේ ගාම්භීරත්වයයි පෙන්වන්නේ විශේෂාංග

ලිව්වේ  මංජුල ප්‍රසාද් වීරසිංහ
අගයන්න
(3 මනාප)
හෙට දවසේ පතිකුලයට යන්නට සැරසෙන කුල කුමරුවනේ ඔබත් සිහින මවන්නේ මුල් ඇඳුමෙන් සැරසෙන්නද? එසේ නම් මේ ලිපිය ඔබටයි සෙංකඩගලට අද ද සීතල සුළඟ හමායන්නේ පරම්පරා රැසක උරුමයන් හි මතකයන් පෙරදැරි කරගෙනය. රාජ – රාජධීන් විරාජමාන වූ මේ ඓතිහාසික පුරවරය අපට දායාද කර දුන් දෑ බොහෝය. මේ කතා කරන්නට යන්නේ එවන් වූ රාජ ගෞරවය ලද රාජ පරම්පරාවෙන් හිමි වූ රාජකීය උරුමයක් පිළිබඳයි. එදා ප්‍රභූ පැලැන්තිය තම තේජස මේයැයි පෙන්වන්නට ඇඳි මුල් ඇඳුම් අපට හිමි වූ අභිමානවත්ම සංස්කෘතික අංගයක්.

 

අද වන විට විවාහයක තේජස්, අපේකම වගේම ගරු ගාම්භීර බව මතුකර දක්වන්නට මුල් ඇඳුම යොදාගන්නට බොහෝ දෙනකු පෙළැඹී සිටිනවා. ඒ වගේම පෙරහර හා සංස්කෘතිකාංග පිළිබඳ සැලකීමේදී උඩරට මුල් ඇඳුම් සම්ප්‍රදායකට හිමිවන්නේ විශේෂ තැනක්. මේ උඩරට මුල් ඇඳුම හා ගහට පොත්ත සේ බැඳුණු පී. වී. එස්. ජයරත්න නාමය දේශියකම අගයන ඔබට හොඳින්ම හුරු පුරුදුයි. ඒ එහි අගය වටිනාකම හරය ගැන මනා අවබෝධයකින් කටයුතු කරමින් ඔබට සේවයක් සලසන නිසාවෙනි.

මේ නිසාම වසර කිහිපයක් ජනාධිපති සම්මානයෙන් පවා පිදුම් ලද මෙම මුල් ඇඳුම් ආයතනයේ නිර්මාතෘවරයා වන්නේ ජයරත්න මහතාය. එහෙත් අද ඔහු ජීවතුන් අතර නැත. එතුමන්ගේ ආදරණීය පුතණුවන් වූ පී.වී.එස්. ජයරත්න ආයතනයේ හිමිකරු සමීර ජයරත්න මෙම ව්‍යාපාරයේ වත්මන් හිමිකරු විය. වර්තමානයේ මේ මුල් ඇඳුමට හිමි වී තිබෙන තැන කොතැනද? එහි සංස්කෘතිය, හරයන් ඒ ආකාරයෙන්ම වටහාගෙන තිබේද?

වත්මන් සමාජයට ඒ පිළිබඳ වටිනා අදහස් පෙළගැස්මකි මේ. ඇත්තම නම් මුල් ඇඳුම් කියන්නෙ දේවත්වෙයහි ලා සැලකනෙ දෙයක්. ශ්‍රී දැඩිමුණ්ඩ දෙවියන්ගේ ඇඳුම් වූ මෙය සිංහල රජ දවසේ රාජකීයන් හා උඩරට ප්‍රභූ පැලැන්තියට විතරයි උරුම වෙලා තිබුණේ. එම පැලැන්තිය එයාලාගේ ගාම්භීරත්වය පෙන්වන්න මේ මුල් ඇඳුම ඇන්දා. පසු කාලේදී රාජකීය උත්සවයක් තරම් ම ඉහළ පෙළේ වැදගත් මංගල උත්සවයකදී මුල් ඇඳුම අඳින්න අවස්ථාව උදාවුණා. අද හැමෝම වාගේ මුල් ඇඳුම අඳින්න පුරුදු වෙලා ඉන්නවා. මේ මුල් අඳුම් සැපයීමේ කලාව කූට වෙළෙඳාමක් කරගෙන. අද හැම තැනම මුල් ඇඳුම් කඩ. මුදල් ඉපයීමේ පරමාර්ථයම නිසා පාරම්පරික ගෞරවය නැති වෙලා.

* මුල් ඇඳුමේ වැදගත්කම ගැන කතා කරමුද?

එදා මුල් ඇඳුම් සීමාවෙලා තිබුණේ උඩරටට පමණයි. මෙය බෞද්ධාගම හා සබඳුණක් ද වෙනවා. ඒ නිසා ආවට ගියාට මුල් ඇඳුම අන්දවන්නේ නෑ. එය ඇන්දවීමේ කලාවක් තියෙනවා. අදාළ පුද්ගලයාගේ දේහ ලක්ෂණත් එයට බලපානවා. හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. ඒ වාගේම චරිතවත් බවත් ඉතාම වැදගත්. දුසිරිතෙන් තොර පිරමියෙක් තමා මේ ඇඳුම් ඇඳිය යුත්තේ. මුල් ඇඳුම ඇන්ද පසු රූපය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මේ ඇඳුමේ වස් තිබෙනවා. මුල් ඇඳුම අඳින පුද්ගලයා ජය පිරිත් දේශනයකින් ආශිර්වාද ලබාගන්නවා නම් හොඳයි.

මුල් ඇඳුම් අඳින්න දින තුනක සිටවත් නිර්මාංස වීම හරිම වැදගත්. තමන්ගේ ඇඟට දාගන්න යන්නේ සුළු පටු ඇඳුමක් නොවන බව සිතිය යුතුයි. මුල් ඇඳුම් අඳින මොහොතේදී විශේෂ ගාථා සජ්ජායනාව කරලා මේ හා සම්බන්ධ චාරිත්‍ර කිහිපයක් ඉටු කරන්න ඕනේ. මේ වත් පිළිවෙත් නිවැරැදිව කිරීම වැදගත්. නිවැරැදි නොවුණොත් එය තමුන්ගේ ජීවිතයට බලපානවා. එය ඇසට නොපෙනෙන බලවේගයක්. මේවා නොහිතන නිසා තමා පසුව යම් යම් කරදර ඇතිවන්නේ.

* ගරු ගාම්භීරත්වය ගැනත් කතා කරමුද,

මුල් ඇඳුම්ි ගාම්භීරත්වය ඉස්මතු වෙන්නේ බොහෝ විට එහි වර්ණවලින්. රන්වන් පැහැය. ඇත් දළ පැහැය. ගුරු පැහැයට හුරු රතු පැහැය. තද නිල් පැහැය ළා රතු පැහැය වාගේ වර්ණ මේ සඳහා යොදා ගන්නවා. වර්තමානයේ නම් සුදු පැහැය කළු හා රෝස පැහැය යොදාගෙන නිර්මාණය කෙරෙන මුල් ඇඳුම දකින්න පුළුවන්. ඒත් ගාම්ිභීර පෙනුම ඉස්මතු කරන්න ඒ වර්ණවලට ඒ තරම් හැකියාවක් නෑ. උඩරට මුල් ඇඳුම් නිර්මාණයේදී ශ්‍රී ලංකාවේ ඒ ඒ පළාත්වලට ආවේණික කලා නිර්මාණ මෙන්ම පළාත් කොඩි හා සත්ත්වයන්ගේ රූප ලියවැල් ආදී සංස්කෘතිකාංග ඇතුළත් කෙරෙනවා.

මේ මුල් ඇඳුමත් සමඟ යටි කයට තුන්පොට්ටිය හා රුලි කරන ලද කලිසමකුත් අඳිනවා. මේ කලිසමේ සිරිත රාජකීය ඇඳුමෙන් වෙනස් වෙන්නේ සුළු වශයෙන් විතරයි.

* අද මුල් ඇඳුමට විශාල ඉල්ලුමක් තිබෙනවා නේද...?

ඔව්.... මේ ඉල්ලුම නිසාම මේ ක්ෂේත්‍රය වානිජකරණය වෙලා. එහි සෑම එක් එක් අයගේ හිතුමනාපෙට මුල් ඇඳුමට යම් යම් නොගැළපෙන අංග එකතු කරන අවස්ථා දැකගන්න පුළුවන්. මේ නිසා ඇඳුමේ අනන්‍යතාවයට වගේම ගෞරවයටත් විශාල හානියක් සිද්ධ වෙනවා. සමහරු විලාසිතාවක් කරගෙන තිබෙන හැටිත් අපට දක්නට පුළුවන්. මුල් ඇඳුම ඇන්දවීමේදී මනා අවබෝධයකින් ඒ දේ කළ යුතුයි.

විශේෂයෙන්ම මුල් ඇඳුම සැහැල්ලු ඇඳුමක් නොවන නිසා මනාලයා මංගල දිනයේදී පීඩාවට පත් නොවන ලෙස ඇන්දවීම කළ යුතුයි.

‘ඒත් හැම පිරිමි අයකුටම මුල් ඇඳුම නොගැළපෙන්න පුළුවන් නේද...?’

ඔව්... බාහිර රූපයට වඩා ඔහුගේ චරිතවත් බව තමා මෙහිදී බලපාන්නේ. කෙට්ටු අයකු මහත් කරන්නටත්.... මහත අයකු කෙට්ටු කරන්නටත් මුල් ඇඳුම ඇන්දවීමේ ප්‍රවීණයකුට නම් ඉතා පහසුවෙන් කළ හැකි දෙයක්. අප ආයතනය එදා වාගේම අදත් මුල් ඇඳුම් නිර්මාණ ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන්නේ කිසිම විටෙක මුදල් විශේෂ කරගෙන සේවාවන් සිදු නොවුණු නිසයි. එදා සිටම පෞරුෂත්වය හා ගාම්භීරත්වය ඔප් නැංවෙන විදියට මුල් ඇඳුම් ඇන්දවීමේ කලාව නිසා අදටත් අපේ ජනපි‍්‍රයත්වය එක හා සමානව සුරැකිලා තියෙනවා.

නමුත් මුල් ඇඳුමේ අනාගතය ගැන නම් ප්‍රශ්නයක් තිබෙනවා. අභියෝගයක් තිබෙනවා. ඒ මුදල් පසු පස යන බොහෝ දෙනා මුල් ඇඳුමේ ගෞරවය නැති නාස්ති කරලා ඇති නිසා.

ඒ ගැනත්.... හෙට දිනයේ මනාලයෙක් වෙන්න ඉන්නා ඔබ නොකළ යුතු වැරැදි ගැනත් හදාගත යුතු අඩුපාඩු ගැනත් අපි ලබන සතියේ කතා කරනවා...

ජනාධිපති සම්මානලත් පාරම්පරික මුල් ඇඳුම් සපයන්නේ පී.වී.එස්. ජයරත්න

මේ පාරම්පරික උඩරට මුල් ඇඳුම් කලාවේඅභිමානවත් හිමිකරුවන්ය අද සමීර ජයරත්න

ඡායාරූපය ශාන් ප්‍රභාත් රඹුක්වැල්ල

10648 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 ජනවාරි 19, සඳුදා 17:08
අදහස් එක් කිරීමට ලොග් වෙන්න