තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2015 ජූනි 15, සඳුදා 16:07

සිරි විසිතුරු මවන රිබන් එම්බ්‍රොයිඩරි ඉගෙන ගනිමු

Written by 
අගයන්න
(6 මනාප)
සියුමැලි කාන්තා අතැගිල්ලක දැවටුණූ ඉඳිකටුවක් සහ නූල් පොටක් මවන නේක විසිතුරු විටෙක පුදුමු සහගතය. දැහැනකට සමවැදුනු පරිද්දෙන් ගෙත්තම් කරනා මෙම නිර්මාණයන් තුළින් තම නිවෙස කළඑළි කරන්නට ඇයට එතරම් මිලක් හෝ විශාල කාල වේලාවක් වැය නොවේ.

තමා දුටු දෙයක් හෝ මනසේ මැවුනු සිතුවමක් ඇසුරෙන් සකසනා නිර්මාණයකින් විටෙක කාන්තාව ලබනා ප්‍රයෝජනය මෙන්ම මානසික ප්‍රබෝධයද අතිමහත්ය.

මෙලෙසින් නිවෙසකට සිරියාව කැන්දන මේ අපූරු නිර්මාණ සියල්ලම නිර්මාණය කරන්නේ හෑන්ඩ් එම්බ්‍රොයිඩරි ක්‍රමය යොදා ගනිමිනි. රිබන් එබ්බ්‍රොයිඩරි, බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි, නීඩ්ල් පොයින්ට්, පැච් වර්ක්, කතිර මැහුම් ආදී එකී මෙකී නොකී විවිධ එම්බ්‍රොයිඩරි ක්‍රම මෙම ගණයට අයත් වන අතර මේ ආශ්‍රිත නිර්මාණ සිදුකිරීමේ දී ඔබට මුහුණ පාන්නට සිදුවිය හැකි ගැටලු හා ඒවාට පිළියම් මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට අප අදහස් කළෙමු.

මෙහි දී පළමුවෙන්ම රිබන් එම්බ්‍රොයිඩරි කලාවේ නිරතවීමේ දී ඔබ දැන සිටිය යුතු කරුනු කීපයක් ඇත.

විශේෂයෙන්ම රිබන් එම්බ්‍රොයිඩරි නිර්මාණ සඳහා තෝරාගනු ලබන්නේ ලිනන් රෙදිය. එමෙන්ම ඔබ තෝරාගන්නා රිබන්වල තත්ත්වය පිළිබඳව ද සැලකිලිමත් විය යුතුමයි. බොහෝ විට අද වෙළෙඳපොළේ සායම් යන රිබන් වර්ග කොතෙකුත් දැකිය හැකිය. ඒනිසා ඔබ රිබන් තෝරා ගැනීමේ දී හොඳම තත්ත්වයේ රිබන් තෝරා ගැනීමට උනන්දු විය යුතුය.

ෆ්‍රේම් එක පිළිබඳ කතාකරන විට ලී සහ ප්ලාස්ටික් යන වර්ග දෙකෙන්ම ෆ්‍රේම් වර්ග වෙළඳ පොළේ දැකිය හැකියි. එහෙත් නිර්මාණයක් ඉතා සාර්ථක ලෙස නිර්මාණය කිරීමට නම් ලී ෆ්‍රේම් යොදාගත යුතුය.

එසේම රිබන් සඳහා භාවිත කරන ඉඳිකටු පිළිබඳ ද සැලකිලිමත් විය යුතුයි. බොහෝ විට රිබන් නිර්මාණ සඳහා යොදාගනු ලබන්නේ ටැපැස්ට්‍රි ඉඳිකටුය. මෙය ද නොම්බර් 18 - 28 දක්වා විවිධ ප්‍රමාණයෙන් ලබාගත හැකියි. නමුත් අඟලේ හෝ අඟල් භාගයේ රිබන් යොදා ගනිමින් කරන්නා වූ නිර්මාණ සඳහා තෝරා ගත යුත්තේ නොම්බර 18 ටැපැස්ට්‍රි ඉඳිකටුවයි.

එමෙන්ම බේබි රිබන් වලින් සිදු කරන්නා වූ නිර්මාණ සඳහා නොම්බර 20 හෝ නොම්බර 21 ඉඳිකටු භාවිතා කළ යුතුය. රිබන් එම්බ්‍රොයිඩර් නිර්මාණ සඳහා මුවහත් පුංචි කතුරක් භාවිතා කළ යුතු අතර එය කොළ වර්ග කැපීම සඳහා භාවිතා නොකළ යුතුය.

නීඩ්ල් පොයින්ට් කලාවේ නිරතවන ඔබ පලමුව කළ යුත්තේ නූලට ගැටයක් නොදමා නූල අඟලක් පමණ දිගට සිටින සේ තබා ගැනීමයි. ඉන් පසු පළමු මැහුම් මසනවිට නූල එම මැහුම් අතරට යන සේ මසාගන්න. මැහුම අවසානයේ දී ද මැහුම් අතරින් නූල රිංගවා ගැට නොදමා අවසන් කළ යුතුය. මෙහි දී මැහුම අවශ්‍ය ප්‍රමාණයට වඩා තද වුවහොත් අවසානයේ දී මුළු මැහුමම හැකිලී යා හැකිය.

නීඩ්ල් පොයින්ට් කලාව කැන්වස් රෙද්ද වැසෙන සේ මහන නිර්මාණයක් බැවින් රෙද්දේ අඟලකට තිබෙන කොටු ප්‍රමාණය අනුව නූල් පොටවල් ප්‍රමාණය අඩුවැඩි කළ හැකිය.

මේ සඳහා කැරලි නූල් වඩාත් සුදුසුවන අතර තුඩ උල් නැති ඉඳිකටුවක් භාවිත කිරීමෙන් නිර්මාණය සාර්ථකව සිදුකළ හැකියි. මෙම නිර්මාණ සිදුකර ගැනීමේ දී පළමුව මෝස්තරය තෙල් කඩදාසියක පිටපත්කර පසුව කාබන් කොළයක් මගින් කැන්වස් රෙද්දට පිටපත් කරගන්න. මෙලෙසින් ඉතා අපූරුවට නීඩ්ල් පොයින්ට් නිර්මාණ සිදුකළ හැකිය.

ඒ වගේම නිවෙසක හුදකලාව සිටින මවට දියණියට විවේකීව කළ හැකි නිර්මාණ කලාවක් ලෙස පැච්වර්ක් හඳුන්වා දිය හැකියි. අඩු මුදලක් වැය කරමින් ඉවතලන ද්‍රව්‍ය වලින් ඉතාමත්ම පහසුවෙන් වැඩි අලංකාරයකින් මෙවැනි නිර්මාණ කිරීමට හැකියාව තිබේ.

වැඩිහිටියන්ට මෙන්ම කුඩා දරුවන්ටත් අධ්‍යාපනය හමාර කර නිවෙසට වී සිටින තරුණියන්ටත් කළ හැකි මේ අපූරු අත්කම් කලාව ඇසට සෞම්‍යවර්ණ එකතු කර ගනිමින් පැරැණී හා නූතන මෝස්තර යොදාගෙන නිර්මාණය කළ හැකිය.

මේ සඳහා අවශ්‍ය වන්නේ රෙදි කැබලි සහ පහසුවෙන් සපයාගත ද්‍රව්‍යයන් කීපයකි. ඒ වගේම මේ සඳහා රෙදි තෝරාගැනීමේදී සැමවිටම පොප්ලින් රෙදි භාවිතා කළ යුතුය. එයට හේතුව එම රෙදිවල ඇති ඝනකම නිසා නමන නැවුම් පාරවල් පිළිවෙළකට තබා ගැනීමට හැකියාවක් ඇති බැවිනි.

පැච්වර්ක් නිර්මාණ බොහෝවිට ක්වීල්ටි කළ යුතු අතර එය හැමවිටම මැසීම භාවිතා නොකර අතේ කළ යුතුය. එයට හේතුව අතේ ක්වීල්ට් කිරීමෙන් නිර්මාණයේ අලංකාරය සහ වටිනාකම වැඩි වන බැවිණි.

කතිර මැස්මෙන් නිර්මාණ සිදුකිරීමේ දී අයිඩා, ජාවා සහ කැන්වස් ආදී රෙදි භාවිතා කළ හැකි අතර ප්ලාස්ටික් කැන්වස්වල ද මැසීම කළ හැකියි. අඟලට කොටු 14 ක් සහිත අයිඩා රෙදිවල කතිර නිර්මාණ සිදුකරන අතර නොම්බර 23 ටැපැස්ට්‍රි ඉඳිකටුව යොදාගනු ලබයි.

තවද මේ සඳහා කැරළි නූල් ඩී.එම්.සී. කපුනූල් මෙන්ම සිල්ක් නූල් වර්ග භාවිතා කරනු ලබයි. සැමවිටම මෝස්තරයක් මැසිය යුත්තේ මැද සිටය. රෙදි කොටසේ මැද සොයාගනු ලබන්නේ තෝරා ගන්නා රෙදි කොටස හතරට නැමීමෙනි.

මෙවැනි හැන්ඩ් එම්බ්‍රොයිඩරි මැහුම් ක්‍රමයක් නිර්මාණය කරන ගෘහණියක තුළ පිළිවෙළ ඉවසීම වර්ණ ගැලපීම සහ පිරිසුදුකම යන ගුණාංග අනිවාර්යයෙන්ම තිබිය යුතුය. විශේෂයෙන්ම තමන් කරන නිර්මාණයේ සාර්ථකත්වය රැදී පවතින්නේ එහි පිරිසුදුකම අනුවයි. ඔබ නිර්මාණය සඳහා කොතරම් කැපවූවත් එහි පලුද්දක් ඇතිවුවහොත් එම නිර්මාණයේ වටිනාකම අඩුය. එනිසා සැමවිටම නිර්මාණයක් මැසීම ආරම්භ කිරීමට පෙර හොඳින් අත්සේදීම කළ යුතුය.

 

උදයංගනී ලියනආරච්චි

17937 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 ජූනි 15, සඳුදා 16:11
අදහස් එක් කිරීමට ලොග් වෙන්න