තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2012 ජූනි 23, සෙනසුරාදා 08:41

මේ තියෙන්නේ ඔබ සොයන සිහින සාරිය විශේෂාංග

ලිව්වේ  අනුෂා පතිරණගේ
අගයන්න
(17 මනාප)
මල් පිපෙන තාරුණ්‍යයේ සුවඳ ඉහිරෙන හෝරාවත් සමඟ ඇයට උදාවන්නේ හිත ගිය සිහින කුමාරයා හා එකට එක්ව කූඩු වන මොහොතයි. යුවතියක් ඒ වෙනුවෙන් නොපුරනා පාරමිතාවක් තිබේද? ඒ නිසාම තම සිහින මන්දිරයේ රජවන ලස්සන මංගල දිනයේදී තවත් හැඩ කරවන්නට මංගල සාරිය උසස්ම අයුරින් තෝරා ගන්නට ඇය තව තවත් සිහින මවනවා.

ඔබ ජීවිතයේ පතන අති සුන්දරම මේ සිහිනය සැබෑ කරන්නට මඟ පෙන්වන සාරි මන්දීර් හි අධිපතිතුමන් ඔබේ ඒ අමරණීය දවස සදා මතකයේ රඳවන්නට ගන්නා වෙහෙස අපමණයි. ඒ දැනුම අත්දැකීම මේ ේයෙන් සුවහසක් වූ සිහින මනාලියන් ඉදිරියේ මෙසේ පෙළගස්වන්නේ ඔබට සුබ මංගලම්! යැයි හදවතින්ම ප්‍රාර්ථනා කරමිනුයි.

දවසක වටිනාකමක් ඇති මංගල සාරියකට මෙතරම් විශාල මුදලක් වැය කරන්න ඕනෑද?

වටිනාකම තිබෙන්නේ දවසක් වුවත් එහි මතක ස්මරණයේ වටිනාකම දවසකට සීමා වන්නේ නෑ. ඒ නිසා බොහෝදෙනා මංගල සාරිය අල්මාරියේ දමා කාලෙන් කාලෙට ඒ දෙස බලමින් කිසියම් සතුටක් ලබනවා.

ඒ නිසා එය එකිනෙකාගේ රුචිකත්වය මත වෙනස් වන දෙයක්. සමහරු තමන්ගේ මංගල දවසේ තමන්ව ලස්සනට තබන මංගල ඇඳුමට වඩා වියදමක් වෙන වෙන දේවල් වෙනුවෙන් කරනවා. ඒ නිසා තමන්ගේ මංගල සාරියට දෙන වටිනාකම තීරණය කරන්න පුළුවන් වන්නේ තම අභිමතයටම තමයි.

කුමන භාණ්ඩයක මිල අඩුවීමක් සිදුවුවත් මංගල සාරි මිල දිනෙන් දින ඉහළ යනවා. හේතුව මොකක්ද?

ජීවිතයේ වටිනාම අවස්ථාවේ දී ඔබට තවත් වටිනාකම් එකතු කරන මංගල සාරියක වටිනාකම කෙතරම්ද කියා අපේ සිහින මනාලියන් දන්නවා. ඒ නිසා ඔවුන් ඉහළම වටිනාකමක් තිබෙන මංගල සාරියකින් හැඩ වෙලා එදිනට සිහින කුමාරියක් විදියට ඉන්න සිහින දකිනවා.

කිසිදා නොමියෙන මේ වටිනාකම නිසාදෝ මංගල සාරිවල මිලගණනුත් බොහෝ විට අඩුනොවන තරම්. නමුත් මම කියන්නට ඕනේ බොහෝ දෙනා මේ කාරණය පිළිබඳ නොදන්නවා වුවත් ඉන්දියානු රුපියල ඩොලරය සමඟ සැසඳීමේදී අවප්‍රමාණ වුණා. ඒ නිසා ලංකාවේ සාරි සාප්පු බොහොමයක සාරි මිල ගණන් අඩු වුණා. සියයට තිහක ප්‍රමාණයක්. එය අපේ සිහින මනාලියන්ට ඇගේ සුන්දර මංගල සිහිනය තරමටම සුන්දර දෙයක් වන්නට ඕන.


විවාපත් වන දිනට මනාලියක් වඩාත් හැඩවැඩ කරවන්නේ සාමාන්‍ය මිලකින් යුතු චාම් සාරියක්ද, ඉහළ වටිනාකම් ඇති කැපී පෙනෙන සාරියක්ද?

එය තමන්ගේ සිරුරේ වර්ණය, විලාසිතාව හා උත්සවය පැවැත්වෙන ස්ථානය හා සම්බන්ධ වෙනවා. සමහර අය කෙතරම් මිල මුදලින් වත්කම් තිබුණත් ඒවා පෙන්වන්න කැමැති නෑ. තවත් සමහර අයගේ සිහිනය ඉලක්කම් මත රැඳෙනවා.

ඒ කොහොම වුණත් ‘කෝ අනේ මනමාලි පේන්නවත් නෑනේ...” යන තැන නොඉඳ ‘අද මගේ දවස...’ යන සුබ පණිවුඩය අනෙකුත් අයට පැහැදිලිවම සන්නිවේදනය වන ආකාරයේ ලස්සන පෙනුමක් තිබෙන සාරි විලාසිතාවක් තෝරා ගැනීම තමයි නුවණැති මනාලියක් කළ යුතු වන්නේ. ඒ තෝරාගැනීම මනාලියගේ රූ සපුව අනෙකුත් අයට පෙන්විය යුතුයි. එම වටිනාකමට සාරියේ චාම් බව හෝ කැපීපෙනීම බලපාන්නේ නෑ.

සමහර වෙලාවට එකම සාරියට එක එක සාප්පුවල ලොකු මිල වෙනස්කම් තිබෙනවා. ඇත්තම කියන්න. ඔබේ අත්දැකීම අනුව හොඳම දේ තෝරා ගන්නේ කොහොමද?

ඔව්, මිල ගණන් වෙනස් නමුත් හොඳ සාරියකට ඩුප්ලිකේට් වර්ග කිහිපයකුත් තිබෙනවා. දැන් බලන්න... ඔය ජනප්‍රිය නාමවලින් ඇති විදුලි උපකරණවලට මොනතරම් ව්‍යාජ ඒවා තිබෙනවාද? සාරියටත් ඒ වගේ. පාරිභෝගිකයින් ලෙස හොඳ දැනුවත්භාවයකින් ඔබේ තෝරා ගැනීම කළ යුතු වන්නේ ඒනිසයි.

එහිදී විශේෂයෙන්ම සාරියේ වටිනාකම මෙන්ම ගුණාත්මකභාවය පිළිබඳ ඔබ අවධානය යොමු කරන්නට ඕනේ. ඒ අනුව සාරියේ උස, දිග හා එකම නූලකින් සාරිය ගොතා තිබේද යන්න කෙරේ ඔබේ ඇස ගැටෙන්නම ඕන. ඒ ගැන ඔබේ දැනුවත්භාවය අල්පනම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකුගෙන් ඔබට ඒ ගැන දැනුවත් වන්නට පුළුවනි. නැත්නම් ඔහු හෝ ඇයව මිල දී ගන්නා ස්ථානයට එක්ක යන්න පුළුවනි. ඒ උපදෙස් වැඩි මුදලක් ගෙවා ගුණාත්මක බවින් අඩු යමක් මිලට ගන්නවාට වඩා දහසකුත් ප්‍රයෝජන වේවි. සිතන්න.

දැන් සත්‍යපෝල් නම් සාරි විශේෂය අධික මිලකින් යුතුයි. එය ඉතා උසස් ප්‍රමිතියක් ඇති ලස්සනම සාරි විශේෂයක්. ඒ කොතරම් නම් මිල අධික වුවත් එම සාරිය ඒ නමින්ම ලංකාවේ සාප්පු බොහොමයක මුල් සාරියේ වටිනාකමටත් හරි අඩකටත් වඩා අඩුවෙන් මිලට ගන්නට තිබෙනවා. ඉතින් අපේ පාරිභෝගිකයෝ මේ අනුකාරකවාදී ව්‍යාජ ඒවා මිල දී ගන්නවා. ඒ බොහෝ දෙනා නාමය හා මුදල හැරුණුවිට ගුණාත්මකභාවය පිළිබඳ සලකන්නේ නෑ. ඒ නිසයි ප්‍රමිතිගත නොවුණු දේ ඔබ අතට පත් වන්නේ. නමුත් ඔබ බලන්නට ඕන මුල් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඔබේ තෝරාගැනීම තුළ තිබෙනවාද යන්නයි.


අනෙක් කාරණය තමයි ඔබේ ඒ වටිනා සිහින සාරිය විශ්වාසවන්තම වූ තැනකින් මිල දී ගන්නටත් ඕන.

එම ස්ථාන ගැන දන්නා අයකුගෙන් උපදෙස් ගෙන ඔවුන් කිවූ ඒ සාප්පු කිහිපයකටම ගොඩ වැදී ඔබේ සිතැඟි සාරිය මිලට ගන්නට ඔබට පුළුවනි. කිසිම දිනක එකම සාප්පුවකින් ඔබේ ඒ වටිනා සිහිනය මිලට ගන්නට එපා. ඒ සඳහා ඔබ වෙනම වේලාවක් වෙන් කොට ගෙන නිදහසේ තෝරා බේරා ගනිමින් විශ්වාසවන්ත සාප්පු කිහිපයකට යෑමට වගබලාගන්න. එහිදී ඔබට හිත ගිය සාරි ගොඩාක් හමුවේවි.

ඒ අතුරිනුත් වඩාත්ම සිත්ගත් සාරිය මිලට ගන්නට ඔබට පුළුවන් වන්නේ විශ්වාසවන්තභාවය දිනූ සාප්පු කිහිපයකට ගොඩ වැදුණොත් පමණයි. ඒ නිසා ගුණාත්මක වටිනාකමක් තිබෙන හොඳම සාරියක් ඔබේ ඇඟේ දැවටෙන්නට මෙකී කාරණා පිළිබඳ දැනුවත්භාවය ඔබට අතා්‍යවශ්‍ය වෙනවා.

මංගල සාරියක් මිල දී ගැනීමට සාප්පුවක් සමඟ ගනුදෙනු කළයුත්තේ කුමන ආකාරයකටද...?

මෙය ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. ඔබේ මංගල සිහින සාරිය මිල දී ගැනීමට සාප්පුවට යෑමේදී සියල්ලන්ටම පෙර ඔබ ඒ පිළිබඳ පැහැදිලි තීරණයකට එළඹිය යුතු වනවා. මේ පූර්ව නිගමනය වෙනුවෙන් ඔබට ඔබව හැඩගන්වන රූපලාවන්‍ය ශිල්පිනියගෙන් වුවත් උපදෙස් ගන්නට පුළුවනි. එහිදී ඔබේ උස, මහත හා ඔබේ සිරුරේ පැහැය අනුව ඔබට වඩාත් ගැළපෙන්නේ කවර වර්ණයක සාරියක්ද යන වග අවබෝධ කරගන්නට පුළුවනි.

එමෙන්ම ඔබ එදිනට සැරසෙන්නේ කවර විලාසිතාවකටද? ඔබේ කොණ්ඩා මෝස්තරය හා මල් කළඹේ ස්වරූපය කවරාකාරද? යන දේවල්ද මංගල සාරිය මිලදී ගැනීමේ දී වැදගත් වනවා. එමෙන්ම ඔබේ මංගල සාදය පැවැත්වෙන වේලාවද මෙහිදී ප්‍රයෝජනවත්. මොකද අපේ සිංහල සම්ප්‍රදායට අනුව පෝරුවේ චාරිත්‍ර කෙරෙන්නේ උදෑසන කාලයේ වුවත් සාමාන්‍යයෙන් සමහර අය රාත්‍රි කාලයේ මංගල සාදය පවත්වනවා. ඉතින් එවැනි අවස්ථාවකදී ඒ ඒ වෙලාවට කැපී පෙනෙන වර්ණයන්ගෙන් මංගල ඇඳුමක් තෝරා ගැනීම ඔබට වැදගත් වනවා. උදෑසනට අඳින මංගල සාරියේ වර්ණය රාත්‍රී මංගල ඇඳුමට ගැළපෙන්නෙ නෑ.

ඒ නිසා මේ සියල්ල එකිනෙක හොඳින් ගළපාගෙන ඔබේ සුන්දර සිහිනය මිලට ගත යුතුªවනවා.

ඔබ සාප්පුවට ගිය පසු සාප්පු හිමියාට ඔබ ප්‍රථමයෙන්ම පැවසිය යුත්තේ ඔබේ හිතේ ඇඳි ඒ මංගල සිහිනයයි. එදාට මම ඉන්න ඕන මෙහෙමයි යනුවෙන් ඔවුන්ට සුහදව පවසන්න.

එවිට ඔවුන්ගෙන් උදව් ලබාගැනීමට ඔබට පුළුවන් වේවි. නමුත් අපේ බොහෝ දෙනා සාප්පු හිමියා මත යැපෙනවා. “මිස් මේක නම් මිස්ගෙ වෙඩින් එකටම කියාපු සාරිය. මිස්ගේ ඇඟේ පාටට හරියටම හරියනවා” කියපු ගමන් ඒ වෙළෙන්දාට හසුවන මිස්ලත් අපේ රටේ ඕනෑ තරම්. නමුත් ඔවුන් තුළ තිබෙන්නේ හුදෙක් වෙළෙඳ අරමුණු මිසක් ඔබේ සිහිනය නෙමෙයි. ඒ නිසා ඔබේ සිහිනයට වටිනාකම් දෙන්නට හා එහි ලස්සන තීරණය කරන්නට ඔවුන්ට තිබෙන අවබෝධය අඩුයි. ඔබේ මංගල දිනයේ අයිතිය මෙන්ම ඒ වටා ගෙතුණු සුන්දර සිහින දන්නේ ඔබම පමණයි. ඒ නිසා වෙළෙඳ ගැට වලට හසුනොවී ඔබ පතන සිහින මනාලිය වන්නට නම් මෙම කරුණු දැන ගෙන සූදානම් සිරුරෙන් සාප්පු ගනුදෙනුව කළ යුතු වනවා.

 ඡායාරූප – නිරෝෂ් ප්‍රියංක බටේපොල

16450 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 09, සඳුදා 10:10

1 ප්‍රකාශය

අදහස් එක් කිරීමට ලොග් වෙන්න