දැව භාවිතයෙන් මංගල ඇරියුම්පත් සකසන මේනකා

ජුනි 17, 2020

ඕනෑම අයකුට තම මංගල දිනය යනු සදා මතකයේ රැඳෙන දිනයකි. තමනට හැකි අයුරින් එය අලංකාරවත් ලෙස හැඩ වැඩ කරවා ගැනීමට මනාල යුවළක් මහන්සි ගන්නේ එනිසාය.

තම මංගල දිනය වර්ණවත් කර ගැනීම සඳහා මංගල ආරාධනා පත්‍රයේ සිට ම අනෙකුත් කාරණා සියල්ලම තමන්ගේ කැමැත්ත පරිදි සූදානම් කරගන්නට බොහෝ දෙනෙක් වෙහෙසෙති. මේ අතරින් මංගල ආරාධනා පත්‍රය(Wedding Invitation)  සහ කේක් පෙට්ටිය(Cake Box)වඩා අලංකාරවත් ලෙස නිර්මාණය කර ගැනීමට ඔවුන් කල්පනාකාරී වන්නේ බොහෝ විට ඒවා සිහිවටනයන් ලෙස ද තබා ගත හැකි නිසාවෙනි.

කොතෙකුත් කාඩ්පත් නිර්මාණය කරන්නන් සහ කේක් බොක්ස් නිර්මාණය කරන්නන් සිටියද ඒවා නව මානයකින් මෙන්ම සාම්ප්‍රදායිකත්වයෙන් බැහැරව එළිදක්වන විට බොහෝ දෙනකුගේ අවධානය ඒ වෙතයොමු වේ. එය බොහෝ විට හැඳීන්වෙන්නේ නැවුම් නිර්මාණයන් ලෙසටය. මේ සටහන ද මෙවන් දෑ වෙනත් ම ආකාරයකින් නිර්මාණය කරන තරුණියක් සම්බන්ධයෙනි. ඇය නමින් මේනකා අමරසිංහ.

මේනකා මංගල ආරාධනා පත් සහ කේක් බොක්ස් නිර්මාණය කිරීම ආරම්භ කර දැනට වසර 6 ක කාලයක් ඉක්ම ගොස් ඇත. ඇය මූලික අධ්‍යාපනය හැදෑරුවේ ගාල්ල ශ්‍රී හෘදය න්‍යාරාමයෙනි. ව්‍යාපාර කළමණාකරන ආයතනයෙන් වැඩි දුර අධ්‍යාපනය හැදෑරීමෙන් පසුව රජයේ රැකියාවක් හා සම්බන්ධව පසුකාලීනව පූර්ණ වශයෙන් විවාහ ඇරියුම්පත් නිර්මාණය කිරීම ඇරැඹුවාය.

ආරම්භක අවධියේදී fairy hopes.lk  නමින් අන්තර්ජාලය ඔස්සේ තම ව්‍යාපාරයන් ඇරැඹූ ඇය පසුකාලීනව ඉන් පරිබාහිරව ද තම ව්‍යාපාර ඉදිරියට ගෙන යාමට සැලසුම් කළා ය. අන්තර්ජාලය ඔස්සේ තම ව්‍යාපාරය සිදුකරගෙන යාමේදි බොහෝ විට ඉල්ලුම ලැබෙන්නේ විදේශ රටවලින් බව පවසන මේනකා ඒ ඔස්සේ ව්‍යාපාරය කරගෙන යාමේදී වාසි සැලසෙනවා මෙන්ම තම කාලය ඉතිරිකර ගැනීමට හැකි වූ බව පවසන්නීය. එමෙන්ම මුල් කාලයේ දී තම රැකියාවත් සමග ව්‍යාපාර කටයුතු කරගෙන ගිය නිසා අන්තර්ජාලය ඔස්සේ සියලු දේ සිදුකලත් පසු කාලීනව එය ව්‍යාප්ත කිරීමට අදහස් කළ බවයි ඇය පවසන්නේ. විවාහ මංගල්‍ය උත්සවයක් යනු ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවක් නිසා සිය උපරිම අලංකාරවත් ලෙස කර ගැනීමට තමාට ලබා දියහැකි උපරිම සහයෝගය ලබාදෙන බවය. මුල්ම කාලයේ රිබන් වර්ග සහ කාඩ් වර්ග මගින් අත්කම් ලෙස තම නිර්මාණයන් කිරීම ආරම්භ කළ ද පසුකාලීනව ඒවා සියල්ල යන්ත්‍ර සූත්‍ර මඟින් කිරීමට ඇයට හැකි වූයේ තම සියලු දෑ ප්‍රමිතියකින් යුතුව ඉදිරිපත් කළ නිසා බව ඇය විශ්වාස කරයි.

2020/06/17 තරුණි පුවත්පත බලන්න.