ප්‍රමිතියෙන් උසස් මංගල කේක් කල් තබා ගත හැකියි

ජුනි 10, 2020

ලොව හැඟුමන් අතර අග්‍රතම හැඟුම ආදරයයි. යොවුන් ආදරයේ සුවිශේෂී සංධිස්ථානය විවාහයයි. "වෙඩිං කේක් එක කපනදාට අපටත් කියන්න" යොවුන් වියේ පසුවන යුවතියකගෙන් මෙන්ම තරුණයකුගෙන් හතරවරිගයේ ඥාතීන්ගේ හා හිතමිතුරන්ගේ පොදු ළෙන්ගතු ඉල්ලීම වන්නේ මෙයයි.

විවාහ මංගල උත්සවයකදී ලස්සනට හැඩවැඩ දාපු තරමක් විශාල කේක් එකක් මනාල යුවළ මහත් ආඩම්බරයෙන් කපන්නේ ඒ නිසාය. ඒ විතරක්ද පැමිණි ආරාධිතයන් වෙනුවෙන් ප්‍රණීත රසැති කේක් කෑල්ලක් තිළිණ කරන්නත් අමතක කරන්නේ නැහැ.

කේක් එක හදන්නේ මංගල්‍යයට සති කීපයක් තිබියදී යි. එහෙත් මේ වගේ කාලයකදී රටේ පවතින ඇඳිරිනීති තත්ත්වයත් එක්ක මංගල්‍යයට යොදා ගත් දිනවකවානු කල් යන්නට ඇති ඉඩ වැඩියි. එවන් අවස්ථාවකදී කේක් නිර්මාණ ශිල්පිනිය වගේම මනාලියටත් පාඩු විඳින්න සිදු වෙනවා. එහෙම වුණොත් මේ ගැටලුව විසඳාගන්නේ කොහොමද?

විවාහ මංගල්‍යයකදී මංගල කේක් වර්ග දෙකක් හදනවා.ඉන් එකක් උත්සව ශාලාවේ ප්‍රදර්ශනය කෙරෙන තරමක් විශාල කේක් එක. මෙය නිර්මාණය කරන්නේ මංගල උත්සවය ලස්සන කරන්න වගේම විශේෂ ආකර්ෂණයක් ගෙන දෙන්නට සමත් වන ලෙසයි. අනෙක අමුත්තන්ට තිළිණ කරන පුංචි කේක් කෑල්ල. මෙවැනි කාල වලදී මනාල යුවල කපන්න තෝරාගන්න කේක් එක සෑදිය යුත්තේ ආකෘතියක් පමණි. එහිදී මංගල්‍යයට ඉතා ආසන්නයේදී කැපීමට හැකි පරිදි පුංචි කේක් කොටසක් තැබිය හැකියි. දක්ෂ කේක් නිර්මාණ ශිල්පිනියකට මෙම කේක් ආකෘතිය සැබෑ කේක් එකක් සේ නිර්මාණය කරන්නට පුළුවන්. ඒ සඳහා කෘත්‍රීම විස නොවන මල්, කොළ, විවිධ වර්ණක යොදා ගන්න පුළුවන්. අමුත්තන්ට පිළිගැන්වීමට සාදන කේක් එක එතීම කළ යුත්තේ මංගල්‍යයට දින කීපයක් තිබියදීයි. කේක් එකේ ප්‍රමිතිය අනුව එතීමකට ලක් නොකළ කේක් එකක් මාස 06ක් කල්තබා ගත හැකියි. මෙවැනි විසඳුමකදී කේක් නිර්මාණ ශිල්පිනිය හෝ පාරිභෝගික ඔබ අපහසුතාවයකට ලක් නොවෙයි. අත්තිකාරම් මුදල් හෝ අමුද්‍රව්‍ය වෙනුවෙන් වැය කළ මුදල් අපතේ නොයයි.

 

 

උපදෙස්:- ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී, සූපවේදිනී සර්වදර්ශනී අප්සරා