තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2017 අගෝස්තු 15, අඟහරුවාදා 11:49

නිරෝගී කෙස් කලඹක හිමිකාරියක් වෙන්න විශේෂාංග

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම
අගයන්න
(1 මනාපය)
දුටුවන් නෙතු බඳිනා මොනර පිලක් වැනි කෙස් කලඹක් යනු කාන්තාවකට නම් වටිනා ආභරණයක් හා සමානයි. ඇයගේ සොඳුරු රුව වඩාත් ඔප් නංවන මේ කේශ කල්‍යාණය, පංච කල්‍යාණයේ තවත් ප්‍රබලතම කල්‍යාණයකි.

 

ඕනෑම යුවතියක් වඩාත් ප්‍රිය කරන්නේ හිස් මුදුනේ සිට ඒකාකාරීව පහළට ගලා හැලෙනා දිගු කෙස් කලඹකටයි. හිසකෙස්වල ස්වභාවය, පැහැය, දිගුබව, ප්‍රමාණය මේ ආදී බොහෝ දෑ තීරණය කරන්නේ ජානමය සාධක මඟින් වුවද ඔබගේ උනන්දුව, කැපවීම හරහා නිරෝගී අලංකාර කෙස් කලඹක් පවත්වාගෙන යාම එතරම් අසීරු කරුණක් නොවේ. එබැවින් රුව වඩන අසිරිමත් වෙදකම යටතේ අද අපි නිරෝගී කෙස් කලඹක් හිමි කරගන්නා ආකාරය සොයා බලමු.

සාමාන්‍යයෙන් හිසකෙස්වල නිරෝගීබව සඳහා බාහිර සත්කාර කිරීම පමණක් නොසෑහේවි. මන්ද මේ බාහිර සත්කාර සමඟම අභ්‍යන්තර පෝෂණය ලබාදීමත් අනිවාර්යෙන්ම කළයුත්තකි.

නිරෝගී කෙස් කලඹකට ගතයුතු ආහාර

කැල්සියම්

විශේෂයෙන්ම හිසකෙස් වර්ධනය සඳහා කැල්සියම් අත්‍යවශ්‍යයි. එබැවින් එම පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කුඩා මාළු වර්ග මෙන්ම හාල්මැස්සන් ද ඔබේ ආහාර වේලට එකතු කරගන්න.

ඛනිජලවණ

අයන සහ සින්ක් යන ඛනිජලවණ වර්ග ද හිසකෙස්වල නිරෝගී වර්ධනය සඳහා බලපානු ලබයි. එබැවින් මස්, මාළු ආදිය මෙන්ම ගෝවා වැනි එළවළු වර්ගත්, පරිප්පු වැනි ධාන්‍ය වර්ගත්, බිත්තර කහමද වැනි දෑ හරහා එම ඛනිජලවණ ඔබේ සිරුරට ලබාගත යුතුයි.

ප්‍රෝටීන් සහ විටමින්

හිසකෙස්වල ශක්තිමත් බව රඳා පවත්වා ගැනීමට සහ මනා වර්ධනය උදෙසා ප්‍රෝටීන් මෙන්ම විටමින් ච් සහ ඕ සංකීර්ණය ද අවශ්‍ය වේ. අප ආහාරයට ගන්නා විවිධ ධාන්‍ය වර්ග, වට්ටක්කා

ඇට, හතුවර්ග, පිරිසුදු කොකෝවා සාරය, අලිගැටපේර වැනි ආහාර හරහා මේවා ලබාගත හැකියි.

අකලට හිසකෙස් ගැලවී යාම

පෝෂණ දුර්වලතා නිසා දුර්වල කෙස් කලඹක් හිමිවනවා සේම අකලට හිසකෙස් පැසීම, ගැලවීයාම වැනි දෑ ද සිදුවේ. විශේෂයෙන්ම ජීවිතයේ විවිධ අවස්ථා සහ විවිධ සෞඛ්‍ය ගැටලු නිසා ද මේ තත්ත්ව උදාවිය හැකියි.

උදාහරණයක් ලෙස ගැබිනි සමයේදී සේම දරුවන්ට කිරිදෙන අවධියේ දී ද හිසකෙස් ගැලවීයාම දැකිය හැකියි. ඊට අමතරව හෝමෝන අසමතුලිතතාවයන් නිසා ද අධික ස්ථුලභාවයෙන් පෙළෙන අය ද පිළිකා වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන විට මෙන්ම මානසික පීඩනය නිසා ද අකලට හිසකෙස් වැටීයාම සිදුවේ.

රාත්‍රී කාලයේ ස්නානය සහ හිසකෙස් තෙත්ව පැවතීම නිසා ද සැමවිටම පෝෂණ ගුණයෙන් යුත් එළවළු, පලතුරු, පලා ආහාර වේලට එකතුකර නොගැනීම නිසා ඇතිවන මන්දපෝෂණ තත්ත්ව නිසා ද මේ හිසකෙස් ගැලවීයාම දැකිය හැකියි.

මෙවැනි අභ්‍යන්තර ගැටලු නොමැති වුව ද අප විසින් දිනපතා කරනු ලබන වැරැදි චර්යා රටා නිසා ද අකලට හිසකෙස් වැටීම දැකිය හැකියි. විශේෂයෙන්ම හිසකෙස් සේදිම සඳහා යොදන විවිධ සේදුම් කාරක සහ විවිධ වර්ණ ගැන්වීම්, හිසකෙස් සඳහා යොදනු ලබන විලාසිතා වැනි දෑ නිසා හිසකෙස්වලට හානි සිදුවිය හැකියි.

හිස් කබලේ වියළිබව හිසකෙස්වල පෝෂණයට දැඩිව බලපානු ලබයි. ආයුර්වේදයේ දින චර්යාව සඳහන් වන්නේ කේශ කල්‍යාණයේ නිසි පැවැත්ම රැක ගැනීම සඳහාය. එය හිසට පමණක් නොව ඔබේ මනසට ද අපූරු සත්කාරකයක් වේවි.

මේ දේවල් පිළිපදින්න

* ඉර අවරට යෑමට ප්‍රථම (දහවල් 1.00 ට පෙර) දිය නෑම කරන්න. හැකි සෑම දිනයකදීම දියනාන්න.

* නමුත් සෑම දිනකදීම ෂැම්පු නොයෙදිය යුතු අතර දින තුනකට වරක් ෂැම්පු යොදා හිස සේදීම ප්‍රමාණවත් වේ.

* සෑම දිනකම දෙහි ගෙඩියක් සහ උළුහාල් මිටක් තම්බා පොඩිකරගත් යුෂ හිසේ ගල්වා විනාඩි 10 - 20 ක් තබා සෝදා හරින්න. මෙයට වෙරළු කොළ ද සුදුසුයි.

* දිය නෑමෙන් අනතුරුව හොඳින් හිසකෙස් වියළෙන්නට හරින්න. හිසකෙස් වියළීමට කෘත්‍රිම ක්‍රම භාවිත නොකරන්න.

* උදය කාලයේදී එරඬු තෙල්, පිරිසුදු පොල්තෙල් හිස ගල්වන්න. මෙහිදී තෙල් ස්වල්පය මඳක් රත් කරගතයුතු අතර හිස් මුදුනට තෙල් යොදා ඇඟිලි තුඩින් මුළු හිස්කබලම සම්බාහනය කරන්න.

* විනාඩි කිහිපයක් තිබෙන්නට හැර පනාවකින් මෘදුව හොඳින් පිරන්න.

ඔබ හිරු එළියේ ගමන් කරනවිට ආවරණයක් භාවිත කරන්නටත්, හිසකෙස් එකතුකර ගැටගසා හෝ ගොතාගෙන යන්නටත් පුරුදු වන්න.

 

උපදෙස්

ආයුර්වේද සහ දේශීය රූපලාවණ්‍ය ක්‍රම පිළිබඳ අධ්‍යාපන පියසේ ආයුර්වේද වෛද්‍ය

ආර්. ජී. එස්. සාරංගා

1562 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 15, අඟහරුවාදා 11:51
අදහස් එක් කිරීමට ලොග් වෙන්න