තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2017 සැප්තැම්බර් 18, සඳුදා 14:32

ඉතිරි වන කෑම වලින් හදන රසවත් කෑම මෙන්න විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
වස විසවලින් තොර, අඩු මිලට මෙන්ම නොමිලයේ ගෙවත්තෙන් ද සපයාගත හැකි ආහාර බොහෝය. ඒ පිළිබඳ අපි ඔබව දැනුවත් කරන බව පැවසූ නිසාම අද අපේ කතාබහට යොමු වන්නේ ලාංකේය ගැමියන් අතර බෙහෙවින්ම ජනප්‍රිය ආහාර යුගලකි. ඒ කොස් සහ දෙල්ය.

 

වස විසවලින් තොර ආහාර පිළිබඳ කතා කරන විට දෙල්, කොස් වැනි ආහාරවලට හිමිවන්ේන් සුවිශේෂී ස්ථානයක්. වර්තමානයේ කාර්යබහුල බව සමඟ මේ ආහාර භාවිතය ගිලිහෙමින් පවතින බවක් දක්නට ලැබෙනවා. කොස්, දෙල් වාරයට ගම්බදව මෙම ආහාර අපතේ යන ප්‍රමාණය වැඩියි. ඉදිලා, කුණු වෙලා ගස් යට වැටිලා තියෙනවා.

ඒත් අපේ අත්තම්මලා නම් එහෙම කොස්, දෙල් අපතේ යැව්වේ නැහැ. ඒ කාලයට යහමින් දෛනික ආහාර වේලට මේවා එකතුකර ගත්තා. වේලක් පිරිමහ ගන්න යොදා ගත්තා. උදේට, දවාලට, රාත්‍රියට, තේ වෙලාවට කොස් දෙල් තම්බා පොල් සමඟ ලුණු මිරිස් සමඟ රසවත් ආහාර වේලක් සාදා ගත්තා.

එසේම විවිධ පිසීමේ ක්‍රමවලට කොස්, දෙල්, කොස් ඇට ව්‍යාංජන විදියට සකස් කරගත්තා. කිරට, මිරිසට, තෙලට ඔය කොයි විදිහට පිසගනු ලැබූවත් හරිම රසවත්. ශරීරය වෙහෙසා වැඩ කරන අයට කදිම ශක්තිජනක කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර විදිහටත් මේවා හඳුන්වා දෙන්න පුළුවන්. මේවා ස්වාභාවික කෙඳි සහිත ආහාරයි. ඒ කාලේ අයට බෝ නොවන රෝගවලින් එතරම් පීඩාවක් නොවුණේ මෙවැනි ආහාර නිතර ආහාරයට එක් වූ නිසයි.

කල් තබා ගැනීමට

කොස්, දෙල් වාරයේදී හොඳින් ප්‍රයෝජනයට ගත්තා වාගේම අවාරයේදී ගන්නත් ඒ වැඩි වශයෙන් තියෙන කොස්, දෙල් සංරක්ෂණය කර කල් තියාගෙන ඒවයින් රසවත් කෑම වර්ග හදා ගන්නවා. කොස් දෙල් තියාගන්න සරල ක්‍රමය තමයි සූර්ය තාපය මඟින්

වියළීම.

මෙහිදී කළ යුතු වන්නේ කොස් හොඳින් පැසුණු විට මදුලු ගලවා, තීරු විදිහට ඉරා, ඇට ඉවත් කර, හොඳින් නටන ලුණු මිශ්‍ර උණු වතුරේ දා, විනාඩි 5 ක් විතර තියා වතුර ටික පෙරා හැර, පිරිසුදු පැතලි මතුපිටක දමා (පැදුරු, වට්ටි, බන්දේසි වැනි) හිරු එළියෙන් හොඳින් වියළා ගැනීමයි. එසේම දෙල් හොඳින් පැසුණු ගෙඩි තෝරාගෙන පොතු ඉවත් කර සිහින් තීරුවලට කපා ඉහත ක්‍රමයටම උණු වතුරේ බහා තබා හොඳින් වේලා ගත යුතුයි. කොස් ගැට (පොලොස්) වගේම හොඳින් පැහුණෙ නැති දෙල් ගැටත් පෙති වශයෙන් කපා ඉහත ආකාරයටම වේලාගෙන සුළං නොවදින සේ අසුරා තබා ගත හැකියි. අවාරයේදී හෝ අවශ්‍ය ඕනෑම වෙලාවක මෙසේ වියළන ලද දෙල් / කොස්වලින් රසවත් අතරුපසක් සාදා ගැනීමට ඔබට පුලුවන්. මේ වියළි දෙල් / කොස් අවශ්‍ය පමණ ගෙන ගැඹුරු තෙලේ බැද පැණි හෝ සීනි උණුකර එම බදින ලද දෙල් / කොස්වල දවටා තේ පානයට රසවත් අතුරුපසක් වියදමකින් තොරව ඔබටම සකස් කරගත හැකියි. පොඩිත්තන් සහ පවුලේ හැමෝටම රස විඳිය හැකියි. වස විස නැති, පිරිසුදු, නැවුම්, අඩු වියදම්, පෝෂණීය අතුරුපසකි.

මැල්ලුම්

ඒ වගේම මේ වියළි දෙල් හෝ කොස් මදුලුවලින් රසවත් මැල්ලුමක් සාදාගෙන ප්‍රධාන ආහාර වේලකට එකතු කරගන්නත් පුළුවන්. එය සකස් කරගන්නේ මෙහෙමයි. වියළි දෙල් හෝ කොස් අවශ්‍ය පමණ ගෙන පැය 2 - 3 ක් පමණ වතුරේ දමා පෙඟෙන්නට හරින්න. ඉන් පසු වතුර බේර හැර කහ සහ ලුණු මිශ්‍ර වතුර දමා තැම්බෙන්නට තියන්න. තැම්බුණු පසු කොච්චි මිරිස්, කරපිංචා, සුදුලූනු, ගම්මිරිස් ස්වල්පයක්, අබ ස්වල්පයක් මිරිස් ගලේ දමා හොඳින් අඹරා, එයට ගාගත් පොල් අවශ්‍ය පමණ දමා තරමක් අඹරාගෙන මේ මිශ්‍රණය තැම්බුණ කොස් හෝ දෙල්වලට දමා කූරු ගා හොඳින් කලවම් කර මඳ ගින්නේ තවත් ස්වල්ප වේලාවක් තබා ළිපෙන් බා ගන්න. මෙය තෙම්පරාදු කර ගන්නත් පුළුවන්. හරිම රසවත්.

ඉහත ආකාරයට පෙඟෙන්නට දමාගෙන මේ වියළි කොස්, දෙල්, කිරි එකතු කර ව්‍යංජන විදිහටත් සකස් කරගන්න පුලුවන්. ඔබගේ නිකරුණේ ගත කරන වටිනා කාලය මෙවන් වූ දේවල් සඳහා යොදාගන්න. ඔබ කරන දේවල් ඔබේ දූ දරුවනුත් ඉගෙන ගනීවි. පවුලේ ආහාර සඳහා වන වියදම අඩු කරගන්නත් හැකි වේවි. වත්තේ පිටියේ හැදෙන කෑම වර්ග අපතේ නොයා නැවුම්ව සෞඛ්‍යාරක්ෂිතව, පවුලේ සාමාජිකයන්ගේ රුචිකත්වය අනුව පිළියෙළ කර දී ආස්වාදයක් ලබා ගැනීමටත් හැකි වේවි නේද?

සාමාන්‍යයෙන් අපි කොස් වාරෙට කොස් තම්බා, කිරිකොස් ව්‍යාංජනය, කොස් මැල්ලුම සකස් කරනවා. ඒ වාගේම කොස් ඇටවලින් බැදලා අග්ගලා හදනවා, කළුපොල් මාළුව සකස් කරනවා, සම්බෝල හදනවා, ව්‍යාංජනය සකස් කරනවා. නමුත් මෙම කොස්වලට වෙනත් ආහාර වර්ගත් එකතු කරලා පෝෂ්‍යදායී කොස් මිශ්‍රණයක් සකස් කරන අන්දම නැතිනම් සමබල පෝෂණීය ආහාරයක් පිළියෙල කරගන්නා අන්දම පාසලේදී ප්‍රායෝගික තාක්ෂණ විෂයේදී අපි අත්හදා බැලුවා. හරිම රසවත්, ගුණවත් ආහාරයක්. බලන්න ඔබත් මෙය සකස් කරගෙන රස විඳින්න. අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ද්‍රව්‍ය.

කොස් මදුලු ග්‍රෑම් 300 ක්

කොස් ඇට ග්‍රෑම්

100 ක්

වියළි හාල්මැස්සන් ග්‍රෑම් 100 ක්

ලොකු ලූනු ග්‍රෑම්

50 ක්

කැරට් ග්‍රෑම් 100 ක්

කතුරුමුරුංගා හෝ මුරුංගා කොළ ග්‍රෑම් 30 ක්

බෝංචි ග්‍රෑම් 25 ක්

රතුලුනූ ග්‍රෑම් 25 ක්

ඉඟුරු කැබැල්ලක්

සුදුලුනු ගෙඩි 1 ක්

වියළි මිරිස් කරල් 5 - 6 ක්

රම්පෙ කොළයක්

කරපිංචා කිනිති 3 ක්

ලුණු රස අනුව

තෙල් අවශ්‍ය පමණ

ඉහත ද්‍රව්‍ය ඔබට සපයාගත හැකි ප්‍රමාණ අනුව අඩු වැඩි වූවාට ගැටලුවවක් ්නොවේ. සාදා ගන්නේ මෙහෙමයි. කොස් මදුළු සහ කොස් ඇට තම්බා ගන්න ඕනේ බෙරි වෙන්නේ නැතිව. හාල්මැස්සෝ ටික පිරිසුදු කරලා හෝදගෙන ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනතරු බැදගන්න. ඉන්පසු කැරට්, බෝංචි, ලොකු ලූනු සිහින්ව කපාගන්න. තාච්චියක් ළිප තබා එයට තෙල් ස්වල්පයක් දමා රත් වූ පසු එයට සුදුලූනු, රම්පෙ, කරපිංචා, රතුලූනු, ඉඟුරු සිහින්ව කපා දමා බැද ගන්න. මෙය බැදීගෙන එන විට එයට සිහින්ව කපාගත් බෝංචි, කැරට්, ලොකු ලූනු මිශ්‍රකර වර්ණය වෙනස් නොවෙන්න බැදගන්න. ඉන්පසු වියළි මිරිස් කැබලි කර මෙයට එකතු කර බැද ගන්නා ලද හාල්මැස්සන් ද එකතු කර ගන්න. මුරුංගා කොළ එකතුකර ඉන් පසුව තම්බාගත් කොස් සහ කොස් ඇට එකතු කරන්න. රස අනුව ලුණු ද එකතු කරගෙන උණුසුම්ව ආහාරයට ගන්න. මේ ආකාරයට වෙනත් එළවළු සහ ආහාර එකතු කරමින් කොස් සකස් කරගත හැකියි. පරිපූර්ණ ආහාරයක් සකස් කරගත හැකියි. අත්හදා බලන්න. ඒවා අපටත් ලියා එවන්න අමතක කරන්න එපා.

 

 

ඉදිරිපත් කිරීම

එච්. එම්. ඉන්ද්‍රානි විජයබණ්ඩාර

ගෘහ ආර්ථික විද්‍යා හා උපදේශන හා මාර්ගෝපදේශන ආචාරිනී

(ශාස්ත්‍රවේදී උපාධි, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා, පශ්චාත් උපාධි අධ්‍යාපනපති පේරාදෙණිය විශ්වවිද්‍යාලය)

1288 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 18, සඳුදා 14:33
අදහස් එක් කිරීමට ලොග් වෙන්න